Friday, February 7, 2014

ළමුන් කෙරේ සංවේදී බවින් කටයුතු කල යුතු පාසැල...

වැඩිහිටියකු වශයෙන් විදුහල්පතිවරයා කරන්නට ඇත්තේ ළමයාට මතුවට අනතුරක් වන්නට ඉඩ ඇති බවට සිතා ඒ ගැන ඇයගේ දෙමාපියන් දැනුවත් කීරිමට උත්සාහ කිරීම විය යුතුය. එහිදී අනවශ්ය මට්ටමින් ළමයා තැතිගන්වන අයුරින් ක්‍රියාත්මක වූවා විය හැකිය, එසේ වූවා නම් එය මිස එම උත්සාහ කල ක්‍රියාවේ වරදක් කියන්නටද නොහැකිය...

අවවාද දීම හා දෙමාපියන් කැදවාගෙන එන්නට කියූ ආකාරය ළමයා තැතිගන්නාවූ ආකාරයෙන් වූවා නම් එය වැරදිය. විශේෂයෙන් පාසැල් යන වයසේ ගැහැණු ළමයෙකු ඉක්මනින් බියපත් වන්නට ඉඩ ඇති බව සිතිම වැඩිහිටියකු ලෙසින් කල යුතුව තිබුණු දෙයක් වන නිසාය...

පෙම් සබදතා ඇතිකරගැනීමට උත්සාහ කිරීම හා ඇතිකරගැනීම පාසැල් වයසදී සාමාන්ය කාරණයකි. ඒ අනුව තමන් යටතේ සිටින ළමයකු සම්බන්ධව වුවත් මිතුරු කමට එහා ගිය සබදතාවලදී අනවශ්ය පීඩනයන් ළමුන් මත එල්ල කිරීම නොකල යුතුය. මන්ද විශේෂයෙන් එම වයස් වල සිටිනාවූ ඔවුන් ඇතිවන හැගීම් මත ඉක්මන් තීරණ ගත හැකි මට්ටමේ අය නිසාමය. ළමා වයසේදී මිතුරු කමට එහා ගිය සබදතා පවත්වා ගැනීම සම්බන්ධව දෙමාපියන් ඇතුළුව වැඩිහිටියන් සංවේදීව බැලිය යුතුය. ඔවුන්ද එම වයස පසු කලා නොවේදැයි හැරි බලමින් මිතුරු සබදතා සේම ඉන් ඔබ්බට ගියා ආදර සබදතා වේ නම් ඒ තුලින් එම පාර්ශවයන් දෙකින් එකකට හෝ කිසියම් වරදක් සිදුවන්නට ඇති ඉඩ පමණක් වැලක්වීමට කල්පනාකාරීව කටයුතු කල යුතුව ඇත.

ඇයගේ පෙම් සබඳතාවයට අදාල ඡායාරූපයක් ෆේස් බුක් සමාජ ජාලයේ පළවීම විදුහල්පතිවරයා දැන ගත්තේ කෙසේදැයි ගැටළුවකි. කිසිවකු විසින් විහිළුවක් ලෙසින් ඇයව බියපත් කිරීමේ අරමුණින් කලා හෝ යම් අනතුරක් වැලැක්වීමේ සත්භාවයෙන්ම කිසිවකු විසින් කීවා විය හැකිය. කෙසේ නමුදු හුදු ඡායාරුපයක් පලවීමම වරදක් යැයි කියා කලබල වන්නට සාධාරණ හේතුවක් නැත. එය අශිෂ්ඨ මට්ටමේ එකක් නම් වරදකි.

අනිත් අතට දෙමාපියන් පැත්තෙන්ද වගකීමක් ඇත්තේ සිය ළමුන් කුඩා කල සිටම සුළු කාරණයකදී පවා ඉක්මන් තීරණ නොගන්න තත්වයට ලගා වීමට උපකාර කිරීමයි. එය මානසික මෙහෙයුමකි. එවැන්නක් සිදු නොවී තිබුණා විය හැකිය.

එසේම අවුරුදු 16 ක් වන ළමයකු වශයෙන් කල්පනා කරන්නට තිබ්බේ තදින් අවවාද කලත් තමුන්ගේ යහපතට වැඩිහිටියකු ක්‍රියාත්මක වන්නට ඇති බවත්ය... දෙමාපියන්ට කියූ පසුව බැනීම හෝ පහර කීපයක් ගැසීම හෝ වැඩිම උනොත් පාසැලෙන් අස් වන්නට වීම මිස අන් කවරක් සිදුවන්නේද ?

කෙසේ නමුත් කොතනක හෝ කවුරුන් අතින් වුව ඉටු වෙන්නට තිබූ වගකීමක් ඕනෑකමින් සිතා නොකිරීම හෝ නොසැලකිල්ලෙන් ඉටු නොවීම හේතුවෙන් වරදක් සිදුව ඇත. එය නිවැරදි කරන්නට නොහැකි එකකි. එය හුදෙක්ම තමා විහින්ම කරගත් මෝඩ කමකැයි දිවි තොරකරගත් ඇයටම දොස්පවරා අත හෝදා ගැනීමට නොහැකිය. මන්ද අත්පුඩි ගැසීමකට නම් අත් දෙකේම සහය අවශ්ය වන නිසාය. කිසිවකු තවත් මොහොතක් හෝ ජීවත් වන්නට ආසා කරනවා මිස සිය දිවි තොර කරගැනීමකට ආසා කාරන්නේ යැයි සිතිය නොහැකිය. ඒ අනුව එවැන්නකට කිසිවකු යොමු වන්නේ නම් එයට අවශ්ය පරිසරය සකසා දීම පැත්තෙන් ඔහු හෝ ඇය ඇසුරු කල සමාජයේ පුරවැසියන්ද යම් පමණක වග කිව යුතුය.

මෙකී සිදුවීම හුදු සියදිවි නසා ගැනීමකැයි නම්කොට නවතින්නේ නැතිව සදාචාර සීමාවෙන් ඔබ්බට ගිය නීතිමය වගකීමක් කා අතින් හෝ කඩ වී ඇත්දැයි සොයා බලා එසේ ඇත්නම් වගකීම පැවරීම වැදගත්ය.කෙසේ නමුදු කිව යුත්තේ නැවත මෙවැන්නක් සිදු නොවීමට වග බලා ගැනීම කොයි පාර්ශවය අතින්ද විය යුත්තක් බවයි. මන්ද මෙලෙසින් නිරපරාදේ අහිමිවී යන්නේ අපගේ අනාගත පරම්පාවේ වටිනා පුරුක් වන නිසාය.

http://lankacnews.com/sinhala/news/109820/
 
මේ සිදුවීමට අදාලව වගකීම පැවරීමට හැකි පාර්ශවයක් පිළිබදව තොරතුරක් මේ පුවතින් දක්වා සිටී. (http://www.33000.in/2014/02/facebook-photos-ends-in-suicide.html) එනම් විදුහල්පතිවරයාගේ ක්‍රියාකාරිත්වයයි. මේ කියනා අන්දමට ගුරුවරියක් විසින් මේ බව දැන ( ගුරුවරිය මේ බව දැනගත්තේ කෙසේ දැයි තවත් පැණයකි ) විදුහල්පතිවරයා දැනුවත් කල පසුව විදුහල්පතිවරයා ඇයව අපහසුතාවයට පත්වන ලෙසින් බැන වැදී ඇත.සියදිවි නසා ගැනීමට අදාලව ලිපියක්ද ලියා ඇති බව දක්වා තිබේ. ඒ අනුවද ඒ බව සනාථ වේ. මෙකී පුවතේ සත්යතාවය අවශ්යම නම් තව දුරටත් සොයා බලා වගකීම පවරන්නට දැන් බාධාවක් නැත. වරදකදී වුවත් එය කියා දෙන විදියක් තිබේ, සාමාන්යෙන් පාසැල් වයසේ ළමුන් සංවේදී නිසා ඉක්මන් තීරණ ගන්නවා විය හැකිය. එවැනි දෑ ගැනද සිතා ඉවසීමෙන් කටයුතු කල යුතුව තිබුණි !

ප්‍රශ්නයකට / ප්‍රශ්න වලට සියදිවි නසා ගැනීම කෙලෙසින්වත් අනුමත කල නොහැකි වුවත් එක් එක් අය ප්‍රතිචාර දක්වන්නේ එක් එක් ආකාරයෙනි. එකග වන්නට නොහැකි වුවද තමන්ට වූ අසාධාරණකමකට සාධාරණයක් සොයා යන්නට කෙනෙකු ගන්නාවූ පියවරක් හාස්යට ලක් නොකල යුතුය. ඇය කියා සිටිනා පරිද්දෙන් ඇයට සිදුවූ අසාධාරණයට පිළියම් යෙදීම ඇය සමාජයට බාර කර ඇත. ඇය පත්වූ තත්වයට තවත් කිසිවකුත් පත්වීම වැලැක්වීම පිණිස ක්‍රියාකාරීවීම සමාජයේ වගකීමයි.

ලමුන්ගේ අනාගතය යහපත් කරන්නට යවන්නාවූ පාසැල තුලදී ලමුන්ට වන නොයෙකුත් පීඩාවන් ගැන පුවත්පත් වාර්තා කරන්නේ සෑහෙන කලක පටන්ය.ඒ අනුව එවායින් පීඩාවට පත්වීම මත ළමුන් පත්වන පීඩනයන්ට හා දක්වන ප්‍රතිචාර වලට වගකිව යුතු ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුය.

අන් අයට යමක් අවබෝධ කරවීම පිණිස සිය ජීවිත පරිත්යාගයෙන් කටයුතු කිරීම නම් අද කාලේ සමාජයට මතක හිටින්නේ එහෙමත් කාලයකි. 'අනේ අපොයි' කියා සිතූ සමාජය දැන් දකින්නට නැති තරම්ය. දැන් බොහෝ විට දකින්නට ලැබෙන්නේ 'මෝඩ වැඩක්' කියා හාස්යෙන් බැහැර කොට අනික් අත බලා ගැනීමයි. ඉතින් එවැනි සමාජයක් හමුවේ අන් අයට යමක් අවබෝධ කරවීම පිණිස හා පිට පිට පැමිණෙන ප්‍රශ්න හමුවේ ඉක්මන් විසදුමක් නොමැති වුවද සිය වටිනා ජීවිතය නාස්ති කරගැනීමට සිතීම පවා අවශ්ය නැත...

සිදුවූ අසාධාරණයට සාධාරණයක් ඉෂ්ඨ කරගනිමින් වරද කල අයහට නීතිය තුලින් පාඩමක් උගන්වන්නට කල් යා හැකිය. එහිදී නොයෙක් ගැටුම් වලටද මූණ දෙන්නට විය හැකිය, එහෙත් අවසාන ප්‍රතිපලයක් ලබන තුරා අමාරුවෙන් වුවත් ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත් කාරණයයි...

අවසාන වශයෙන් කිව යුත්තේ කණගාටු වෙන්න ඕන කාලේ ගෙවි ඉවර වී ඇති බවත් දැන් උදා වී ඇත්තේ යුක්තිය ඉෂ්ඨ කරන්නට කාලය බවත් ඒ අනුව මේ සිදුවීමට වගකිව යුතු අය හට නීතියෙන් දඩුවම් කල යුතු බවත්ය...

No comments:

Post a Comment