Saturday, November 24, 2018

අගමැතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ මතයේ අදාලත්වය

"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ...." ලෙසින් එහි සදහන්‍ ය.

මෙහිදී "පාර්ලිමේන්තුවේ "විශ්වාසය යන්න සමග "පාර්ලිමේන්තුවේ බහුතරය" අනිවාර්යෙන් බද්ධ වී ඇති බවක් අදහස් කර ඇති බවක් පෙනෙන්නට නැත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුවත් අගමැතිවරයෙකු පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇත.
අනික් අතට "පාර්ලිමේන්තුවේ බහුතරය" ඇති අයෙකුට "පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය" ද තිබිය යුතු යැයි අදහස් කල බවක් දකින්නටද නැත.

ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් සිදුවන්නේ නම් බහුතර බලයක් ඇතැයි පැහැදිලිව පෙනීයන හෝ සැලකෙන ( බහුතර බලයක් ඇතැයි පෙන්වා දිය යුතු බවක් ව්‍යවස්ථාවේ දක්වා නැත ) මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ මතය අනුව අගමැතිවරයා ලෙස තෝරා ගැනීමය.

ඒ අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා පත් කිරීමේ සැලකිය යුතු අභිමතයක් ඇති බවත් අදටද අදහස් වේ. විශේෂයෙන් මේ තත්වය මතුවන්නේ මහ මැතිවරණයකින් මෙහා අගමැතිධූරය යම් හේතුවක් මත හිස් වූ / හිස් කල අවස්ථාවක ය.
( උදාහරණයක් වශයෙන් වත්මන් සිදුවීමේදී වූවා බඳු පැවැති ආණ්ඩුවේ වෙනසක් වීමෙන් ආණ්ඩුව විසිරී යාමේදී )

ඒ අනුව එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉතිරි ධුර කාලයට ජනාධිපතිවරයා විසින් සිය මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමව ඇතැයි සිතනා මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා ලෙස පත් කරනු ඇත.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් එවකට තිබූ, ඔය කියනා පාර්ලිමේන්තුවේ විශ්වාසය කියනා එක ඕනෑවටත් වඩා තිබූ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්ම බැලූවද ඒ අනුවත් හරියන ලෙස පත්කර සිටි දි මු ජයරත්න අගමැතිවරයා ඉවත් කොට ( අද අගමැතිවරයා පත් කිරීමේ ව්‍යවස්ථානුකූලභාවය ගැන මහා ඉහලින් ප්‍රශ්න කරනා සමහරක් ඒ ඉවත් කිරීමේ කාර්ය පටිපාටියේ ව්‍යවස්ථානුකූලභාවය ගැන නිකමට හෝ ප්‍රශ්න කලේ නැත ) පාර්ලිමේන්තුවේ ආසන හතළිස් ගණනක් තිබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගන්නා ලදී.
එදා ඒ කළ දේ හරියටම හරි යැයි කිසිවකු කියන්නේ නම් ඒ අයට ඒ ජනාධිපතිවරයාම ගිය 26 වැනිදා කල දේ වැරදියි කියන්නට අයිතියක් ද නැත!

මන්ද එසේ කියන්නේ නම් ඒ වනාහී ඔවුන් පැහැදිලිවම බොහෝ දුරට එකම ආකාරයේ සිදුවීම් දෙකකට අදාළව එකම ස්ථාවරයක් නොගෙන වෙනත් ස්ථාවරයන් ගැනීමක් වන නිසා එවැන්නවුන් පැහැදිලිවම පක්ෂපාතීත්වයක් පෙන්වන අය ලෙස නම් කල හැකි නිසාවෙනි.

සාමාන්‍ය වචනයෙන් කියන්නේ නම් "ස්වාධීනයි" "මධ්‍යස්ථයි" කියාගෙන කඩේ යෑමකි.

අනෙක් කාරණය නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා ව තෝරා ගැනීමේදී "මතයක්" ගැනීමේ හැකියාව ය.
අහවලා නම් නැවත අගමැති ලෙස පත් කර ගන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එවැන්නක් කළ හැක්කේ එය ජනාධිපතිවරයාට "මතයක්" ගැනීමේ හැකියාව ගැබ්ව තිබීම තුලය. ඒ මතය යුක්ති සහගතව ගත යුතු යැයි සලකන මුත් ඒ තුළ විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ හැකියාව ද වළක්වා නැත.

බදු ගෙවීම

අප මහන්සියෙන් උපයා ගන්නා මුදලින් බදු ( tax ) ගෙවිය යුත්තේ මන්ද සහ එසේ නම් ඒ කොපමණක් යන ප්‍රශ්නය මතු කිරීම සාධාරණ ය.

සෑම පුද්ගලයෙකු ම වාගේ

01. රජය විසින් ලබාදෙන නිදහස් අධ්‍යාපනය තුලින් යම් කාලයක් හෝ ප්‍රතිලාභ ලබා ඇතුවාට සැක නැත.
02. රජය විසින් ඉදිකරන ලද මහා මාර්ගවල ගමන් කර ඇතුවාට සැක නැත.
03. රජයේ ආරෝග්‍ය ශාලාවක ප්‍රතිකාර ලබා ගෙන ඇතුවාට සැක නැත.
04. රජය විසින් ජනතාව වෙනුවෙන් පාලනය කරනාවූ අලුත් වැඩියා කරනාවූ පොදු දේපල පරිහරණය කර ඇතුවාට සැක නැත.
05. රජය විසින් ලබා දිය හැකි වෙනත් සහනාධාර / පහසුකම් ලබාගෙන ඇතුවාට සැක නැත.
06. රාජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කර ඒවායේ පොලී ආදායම් ද ලබනවාට සැක නැත.
07. රජය විසින් අවකාශය ලබාදී ඇති පරිදි අනිකුත් පෞද්ගලික බැංකු, ණය දෙන ආයතන වල ගනුදෙනුකරුවන් වී ඒවායේ ප්‍රතිලාභ ලබනවාට සැක නැත.
08. රජයේ සේවය නිරත වී එයින් ලැබිය හැකි විශ්‍රාම වැටුප, වෙනත් පහසුකම්, ශිෂ්‍යත්ව, දීමනා ආදිය ලබනවාට සැක නැත.
09. රජය විසින් ලබා දෙන නීතියේ රැකවරණය ප්‍රායෝගිකව එක් වරක් හෝ ලබාගෙන ඇතුවාට සැක නැත.
මෙලෙස සඳහන් කළ හැකි කාරණාවලින් අවම වශයෙන් එක කාරණයකින් හෝ ප්‍රතිලාභ ලබා ගෙන ඇතුවාට සැක නැත.

ඒ අනුව එලෙස ප්‍රතිලාභයක් ලබා ගැනීම තමාට ලැබෙන වාසියකි. ඊටත් වඩා එය ජනතාව වශයෙන් තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් යැයි නිතැතින්ම සඳහන් කරනා දෙයකි.
ඒ අනුව කාසියක දෙපැත්ත බදු අයිතිවාසිකම් සහ යුතුකම් සැලකීමේදී අයිතිවාසිකම් ඇති තැන ඉටු කළ යුතු යුතුකමක් ද ඇත්තේය.

බදු ගෙවීම හරහා ඉටු කරන්නේ එම යුතුකම යි.

ඒ අනුව තමන් උපයන මුදලින් බදු ගෙවීම අවශ්‍යද ‍යන ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක්ද ලැබේ.
ඒ අනුව බදු ගෙවන්නා තමන් ලබාගන්නා සේවාවලට සිය යුතුකම ඉටු කරමින් සමාජ ආරක්ෂණයට ද දායකත්වය සපයනු ලබන අතර එසේ බදු නොගෙවා පැහැර හරින්නෙකු වේ නම් හෙතෙම ඒ යුතුකම පැහැර හරින්නෙකු වේ.

බදු ගෙවන්නා තමන් ලබාගන්නා සේවාවලට සිය යුතුකම ඉටු කරමින් ලබා දෙන බදු මුදල් අය කරගත යුත්තේද යුක්තිසහගත ලෙසිනි. ( උදා: ආදායම් ඉපයීමට සාපෙක්ෂව )

එසේම ඒ ලබා ගන්නා බදු මුදල් මහජන භාරයක් ( public trust ) ලෙස තබාගෙන පෙරලා බදු ගෙවන්නන්ගේ යහපත පිණිසම යෙදවිය යුතුද වේ.

Thursday, November 22, 2018

අධිකරණයට අපහාස කිරීම

"අධිකරණයට අපහාස කිරීම" වරදක් වන්නේ සහ එසේ විය යුත්තේද එයට වග කිව යුත්තන්ට නීතියෙන් දඩුවම් කරන්නේ ද අධිකරණයේ ප්‍රතිරුපයත්, ස්වාධීනත්වයත් වඩ වඩාත් ශක්තිමත් කිරීම හරහා අධිකරණය පිලිබදව මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීම තුලින් ජනතාවගේම යහපත වෙනුවෙනි.

ඒ අනුව අවැසි අවස්ථා වලදී එසේ කල යුතුද වෙයි.

අධිකරණයට අපහාස කිරීම කිසියම් අයකු කිසියම් මාධ්‍යයකදී අධිකරණය / ඊට සම්බන්ධ කාරනා සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේදී අධිකරණය සම්බන්ධව ඇති යම් බැදීමක් කඩ කිරිමේදී සිදුවේ.

* අධිකරණයට අපහාස කිරීම යන්නට හසුවීම අදහස් පල කිරීමට ඇති බාධාවක්ද ?

කොහෙත්ම නැත !!! ( එසේ නොවන්නට වගබලා ගන්නා තාක් කල් )

පොදුවේ සෑම දෙනාම සහ විශේෂයෙන් විවෘතව අදහස් පල කිරීමට මනාප කවුරුත් පැහැදිලිව මතක තබා ගත යුතු කරුණ නම් අදහස් පල කිරීමට මුලික අයිතිවාසිකමක් ඇති මුත් එය සිමා සහිත එකක් බවය. ඒ අනුව එම අයිතිය සිමා කල හැකි බවත් අවශ්‍ය අවස්ථා වලදී නීතියට අනුව එසේ කරනු ලබනු ඇති බවත්ය !!!

හෝෆීල්ඩ් න්‍යාය අනුව අයිතිවාසිකමක් ඇති තැන යුතුකමක්ද ඇත්තේය. ඒ අනුව තමන්ට ලැබී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නෛතික අයිතිවාසිකම භාවිතා කල යුත්තේ නෛතික යුතුකම්ද සලකමිනි. එම නෛතික යුතුකම් සිමා කිරීම් මගින් දක්වයි.

පොතට අනුවම දැක්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) මගින් දී ඇති ඔය කියනා අදහස් ප්‍රකාශ කරන්නට ඇති මුලික අයිතිවාසිකම 15 (2) සහ 15 (7), (8) ව්‍යවස්තාවල සීමාවන්ට යටත්ව භාවිතා කල යුතුවේ. නො එසේ නම් ඒ අවශ්‍යතාවයන් උදෙසා සිමා කල හැකිය. ඒ සිමාවන් තුල අධිකරණයට අපහාස කිරීම වලක්විමද ඇත!

ඒ අනුව අදහස් ප්‍රකාශ කරන්නට තමන්ට මුලික අයිතියක් ඇතැයි සිතා තමන්ට හිතෙන ඕනෑම දෙයක් කියන්නට ලියන්නට හෝ වෙනත් යම් ආකාරයකින් ප්‍රකාශ කර දක්වන්නට ( විශේෂයෙන්ම අධිකරණය සම්බන්ධව ) නීතියෙන් අවකාශය නැත!!!

අධිකරණයට අපහාසයක් ලෙස සලකන, එනිසාම නොකළ යුතු දේ.

01. අධිකරණයේ චර්යාව විවේචනය කිරීම.

අධිකරණය කෙරේ මහජන විශ්වාසය බිද වැටෙනා ලෙසින් / ඒ වෙත නැබුරු වෙමින්, ස්වාධීනව අධිකරණයට නඩු විසදීමේ හැකියාවට බලපෑමක් එල්ල වෙන / එල්ල කල හැකි වන ලෙසින් විනිසුරුවරුන්ට, නඩු කටයුතු වලට සහය දක්වන අධිකරණ නිලධාරින් ( නීතිඥවරුන්ද ඇතුළුව ) විවේචනයේ යෙදීම මෙයට ඇතුලත් වනු ඇත.

02. අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතු ගැන ප්‍රසිද්ධියේ විවේචනය කිරීම.

නඩු තීන්දුවට බලපෑමක් එල්ල වන ලෙසින් / එල්ල විය හැකි ලෙසින් විවේචනයන් එල්ල කිරීම.

03. අවිචාරමත් අන්දමින් නඩු තීන්දු විවේචනය කිරීම.

අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකම අයිතිය තුල ද්වේශයෙන් තොරව, අර්තසාධනිය / ශාස්ත්‍රීය මට්ටමේ විවේචනයේ බාධාවක් නැති මුත් තමා විනිශ්චයාරුඩ වෙමින් ද්වේශසහගතව, කිසිදු හරවත් / නෛතික පදනමක් නොමැතිව උසාවි තීන්දු විවේචනයේ යෙදෙන්නට අයිතියක් නැත. උසාවි තීන්දුවකට පළමුව අවනත විය යුතුය. (Comply and compel ) එයින් තෘප්තිමත් නැති නම් නීතියෙන් ඉඩ දී ඇති / පිළිගත් පරිද්දෙන් අභියාචනා / ප්‍රතිශෝධනය වෙත යොමු විය හැකිය.

04. අධිකරණයට තමා විසින්ම දුන් පොරොන්දුවක් කඩ කිරීම.
05. අධිකරණ තීන්දුවක් / අතුරු නියෝගයක් අනුව කටයුතු නොකිරීම.
06. අධිකරණ ශාලාව තුල අධිකරණ කටයුතු වලට බාධාවන ලෙසින් ක්‍රියාත්මක වීම ( වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් )
07. අධිකරණයේ අධිකරණ බලය පහත හෙලන ලෙසින් ක්‍රියාත්මක වීම ( වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් )

උක්ත කාරනා පමණක්ම නොව අවස්තානුකුලව අධිකරණයේ ස්වාධිනත්වය / බලය ආරක්ෂා කරගැනීම සදහා අවශ්‍ය විය හැකි යැයි සලකනු ලැබිය හැකි කරුණුද තිබිය හැකි අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමක්ද නැද්ද යන්න තීරණය කරනු ඇත ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයේ ඉත්තෙක් විය යුතුද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයක සාමාජිකයකු වූවද හෙතෙම මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාගත් පසුව හෙතෙම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටම නියෝජනය කරනා අයෙකු / නියෝජිතයකු බවට පත්වේ.
ඒ අනුව හෙතෙම තම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට වන මූලික බැඳීමක් තිබුණද එම ප්‍රතිපත්ති රටේ, ජාතියේ, ආගමේ, සංස්කෘතියේ තවත් සරලව කිවහොත් ජනතාවගේ හිතසුව සමග පක්ෂයේ ප්‍රතිපත්ති ගැටෙන්නේ නම් එතනදි පක්ෂයෙන් තෝරා ගත්තා වුවත් තව දුරටත් ඔහු ඒ පක්ෂයේම ඉත්තෙකු / ගැත්තෙකු / පක්ෂය නම් දැති රෝදයේ දැත්තක්ව සිටිය යුතුද යන්න සැබැවින්ම යුක්තිසහගත ප්‍රශ්නයකි.

එසේම

පක්ෂ ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර යම් කාරණයක් සම්බන්ධව ගැටුමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පැහැදිලිවම මුල් තැන ලැබිය යුතුය. එහිදීද මන්ත්‍රීධූරය අහිමි විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරිද්දෙනි.

ඒ අනුව මන්ත්‍රීවරයෙකු පක්ෂය මාරු කිරීම සිදු කළේ පෙර කී පරිදි යුක්ති යුක්ති සහගත තත්වයක් මත නම් එවැනි අවස්ථාවකට ආන්ඩුකම විවස්තාවේ 99(13) බාධාවක් නොවිය යුතුය. එනම් හුදෙක් පක්ෂ ව්‍යවස්ථාවට / ප්‍රතිපත්තියට එකඟ නොවීම මතම පක්ෂයෙන් නෙරපා හරිනු ලැබිය හැකි වුවද එනිසාම එවන් මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී අසුන හිස් නොවිය යුතුය.

එවැනි මාරුවකට එරෙහිව පක්ෂය විසින් එම මන්ත්‍රීවරයා නෙරපීමට ගත් තීන්දුවට එරෙහි වූ නඩුවේදී යුක්ති සහගත හේතුවක් පෙන්වීමට අදාල පක්ශය සමත්වීම / එම මන්ත්‍රීවරයා විසින් එවැනි හේතුවක් පෙන්වා දීමට නොහැකිවීම මත පමණක් මන්ත්‍රී අසුන අහිමිවිය යුතුය!

මා එසේ දැක්වූ නිසාම මා පක්ෂ මාරු කරන්නන්ට පක්ෂව කරුණු දැක්වූවා යයි හෝ පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් කලා යැයි මෙය කියවූ ඔබ සිතන්නේ නම් ඔබ එහෙම පිටින්ම වැරදිය !!!

මන්ද මා සිදු කලේ ජනතා පරමාධිපත්‍යයේ එන ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනා ජනතා නියෝජිතයකුගේ එම බලය හුදෙක් පක්ශය හැර ගියා හෝ පක්ශයේ ප්‍රතිපත්ති අනුව සිටියේ නැතැයි කියූ පමණින් අහිමි කිරීම නොකල යුතු බව යන්න වෙනුවෙන් පෙනී සීටිම පමණකි!

සවස දුම්රියෙන් බැස යාමට පෙර විවෘත කල ජනේලය වසා යාමට කාරුණික වන්න

"සවස දුම්රියෙන් බැස යාමට පෙර විවෘත කල ජනේලය වසා යාමට කාරුණික වන්න"
ලෙසින් කාරුණික ඉල්ලීමක් කර තිබෙනු මා දුටිමි.

එහෙත් සැබවින්ම එසේ කිරීම අවශ්‍යද ?
එසේ නම් මන්ද ?
නො එසේ නම් ඒ මන්ද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඈ) අනුව පොදු දේපල සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමේ පුරවැසියන් සතු යුතුකම යටතේ වුව නෛතික බැදීමක් ( legal obligation ) දක්වා පුළුල් කිරිම කර නැති සහ එසේ කිරීම අවශ්‍යද නොවෙන ඉල්ලීමකි.

මන්ද යත් ,,,

දුම්රිය දෙපාර්තුමෙන්තුවක් තියෙන්නේ / එහි සේවකයින් සිටින්නේ සහ ඔවුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ ඔය කටයුතුද කිරීම පිණිසය. ඒ කටයුතු මුලිකව / පළමු කොටම ඇත්තේ ඔවුන්ගේ භාරයේය. ඒවා පිලිබදව නිරන්තර සොයා බලා අවශ්‍ය පියවර ගත යුත්තේ මුලිකව ඔවුන් ය.

ජනතාව වන අපට යුතුකමක් වශයෙන් ඇත්තේ ඒ රජයේ දේපල හානි නොකොට ප්‍රවේශමින් භාවිතා කිරීමේ යුතුකම පමණි. නඩත්තු කටයුතු සහ හානි වීමෙන් වලක්වා ගැනීමට පියවර ගැනීමේ යුතුකම ඇත්තේ අප අත නොවේ. ඒ අනුව මාස් පඩි ගෙවමින් ඒ වගකීමට බැද ඇත්තේ රජයේ සේවකයින් ය ...

01. අප ඔවුන්ගේ ක්‍රියාකාරකම් යටතට අයත් දේ / වගකීම් විහින් කරට බාරගෙන ඔවුන්ට නිකං පඩි ගන්නට ඉඩ හැරිය යුතු නැත.
02. එසේ කරන්නට පටන් ගත හොත් ඔවුන් සැමදා ඒ කාරිය අපටම බාර දී නිකම්ම සිටිනු ඇත.

අප ගෙවනා ගාස්තුවට හරියන්නට පහසුවට සහ කලට වෙලාවට සේවය තෘප්තිමත් ලෙසින් ලැබුනා නම් එනම් අපේ නෛතික අයිතිවාසිකම හරිහමන් ලෙස ඉටු වුවා නම් ඒ ගැන සිතා හෝ සදාචාරය පැත්තෙන් හෝ සිතා ඔය ඉල්ලීම අනුව කටයුතු කරන්නට හෝ අවම වශයෙන් එය සලකා බලන්නට හෝ තිබුණි ...
මේ කාරණය සම්බන්ධව ධනාත්මකව සිතන්නට බැරි කමක් මා හට නැත. ඒ පැත්තට අදහසක් දක්වන්නටද නොහැකියාවක් නැත. එහෙත් මා ඕනෑකමින්ම එසේ කරන්නේ නැත.

මන්ද යත් සරල කාරණයක් නිසාවෙනි.

යුතුකම් ගැන කතා කරන්නේ නම් / ක්‍රියාත්මක වන්නේ නම් අයිතිවාසිකම් වලින් ස්වායත්ව කතා නොකළ යුතු / ක්‍රියා නොකළ යුතු වන නිසාවෙනි. ඒ අනුව ඒ තාක් කල් ඔය ස්ථාවරය පවත්වා ගැනීම යුක්තිසගත යැයි මා නම් සත්භාවයෙන් විශ්වාස කරනා කාරණයකි.

මේ කාලයේ පාර්ලිමේන්තුව කැදවීම අත්යාවශ්යමද

ජනතාව සාමකාමිව සිටිද්දී පාර්ලිමේන්තුව රැස් වන හැම විටදීම වාගේ නොසන්සුන් ව තිබෙන්නේ නම් ජනමතයට පැහැදිලිවම පටහැනි සහ එය නියෝජනය නොවෙන තත්වයක් ලෙස සදහන් කල හැකි තත්වයකි.

එසේ නම් කල යුත්තේ කුමක්ද ...

කල යුත්ත එනම් පාර්ලිමෙන්තුව විසුරුවා හරිනු ලැබූ මුත් එය ගරු අධිකරණය ඉදිරියේ අභියෝග විය. ඒ එහි නීතිමය තත්වය හරියටම උසාවියෙන්ම පැහැදිලි කරගැනීමටය. එනිසා එතෙක් බලා සිටිය යුතුව ඇත.

කෙසේ නමුත් එම අවසන් තීන්දුව ගරු අධිකරණයෙන් එනතුරු පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා කැදවීමට ජනාධිපතිවරයා දී තිබු බලය යටතේ කැදවුවා යැයි කීවද එම රැස්වීම් අවසන් වන්නේ පාසැල් සමිතියක රැස්වීමකටත් වඩා අසාර්ථක තත්වයෙන් වෙද්දී සහ සහ රැස් වෙන වාරයක් පාසා තත්වය ඔයාකාර නම් ඒ අවසන් උසාවි තීන්දුව එනතුරු හෝ ඔය පාර්ලිමේන්තුව නැවත නැවත රැස් වීමෙන් ඇති ඵලය කීම ???

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සෑම වසරකට වරක් හෝ කැදවිය යුතුව ඇත.
ඒ අවශ්‍යතාවය මේ වෙද්දී තෘප්ත කර ඇතුවාට සැක නැත.

වි. සැ. යු: මෙයින් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනා පාර්ලිමේන්තුව කැදවීමේ වරදක් ඇතැයි කිසිසේත්ම අදහස් නොකෙරේ ...

( මෙහිදී නැවත යුක්ති සහගත ප්‍රශ්නයක් මතුවේ ... )

එසේ වුවද ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාදායක බලයක් ක්‍රියාත්මක කිරීමට තබා යෝජනාවක් සම්මත කරගන්නට නොහැකි මට්ටමට නොසන්සුන් වන කල්හි එවැන්නක් නිතර නිතර කැදවීමේ ඵලය කීම???
- ආණ්ඩුව එමගින් හෝ අප්‍රසාදයට පත් කල හැකිදැයි බලන්නටද ?
- තවදුරටත් පාර්ලිමන්ට් ජෝක්ස් බලන්නටද ?
- දේපල ජිවිත හානි කරගන්නටද ?
- ඒ හරහා හෝ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්නටද ?

කෙසේ නමුත් ගිය 19 වැනිදා නම් පාර්ලිමේන්තුව රැස් වුයේ විනාඩි කීපයකි. කාරක සභාවක සංයුතිය ගැන ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් කල ඉල්ලීම විය. ඉන් පසුව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබන ලදී. එදා පෙරදී මෙන් ගැටුමක් නොවිය. හෙට දිනයේ (23) නැවත පාර්ලිමෙන්තුව නැවත කැදවනු ඇත.

මෙම පුවතෙන් හෙළි කරනා පරිද්දෙන් සැලකිය යුතු මුදලක් වැයකරමින් පාර්ලිමේන්තුවේ කැදවන්නේ නම් එය කල යුත්තේ හරවත් අවසන් ප්‍රථිපලයක් අපේක්ෂා කරගෙනමය. නො එසේ නම් හරවත් හේතුවක් නැතිව හානි වන්නේ ජනතා මුදල්ය.

පිල් මාරුවේ නීතිමය තත්වය

"පක්ෂය මාරු කල විටදී මන්ත්‍රීධුරය අහෝසි වන ලෙස තිබු නිතිය හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ කාලයේදී අහෝසි නොකලා නම් " ...
ලෙසින් අදහසක් දුටිමි.

පළමුව කිව යුත්තේ නිතියක් අහෝසි කරන්නට [ මෙහිදී Article 99(13) ] අගවිනිසුරුවරයෙකුට / ශ්‍රේෂ්ඨාධිකරණයට / උසාවියකට නම් නොහැකි බවය.

එය අහෝසි කරනවා නම් කල යුත්තේ පාර්ලිමෙන්තුවෙනි.

~ නීති ඇති කරන අයුරින්ම නීති නැති කරනු ලබයි ~

පාර්ලිමේන්තුව එසේ කර නැත ...

තවම නිතිය ඇත ...

සිදුව ඇත්තේ කුමක්ද ...

ජනතාවගේ ව්‍යව්ස්තාදායක බලය ක්‍රියාත්මක කරන්නට තෝරා එවන මන්ත්‍රීවරයෙකු යම් හේතුවක් මත පක්ෂය මාරු කලේ නම් එනයින්ම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නට ඇති අයිතිය නැති කරමින් ඔහුගේ / ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කල යුතුද යන ප්‍රශ්නය සලකමින් පක්ෂය මාරු කිරීම නිසාම මන්ත්‍රීධුරයක් අහිමි කිරීමට දේශපාලන පක්ෂයකට ඇති හැකියාව බෙහෙවින් සිමා කිරීමය ...

එය තනිකරම සිදු කලේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාම නම් නොවේ. ඊට පෙර එම උත්සාහය නඩු තීන්දුවල ඇතුලත්ව තිබුණි. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා එය වඩාත් තහවුරු කළා පමණි.
එහෙත් හිතුමනාපෙට පක්ෂ මාරු කරන්නට එරෙහිව 99 (13) යටතේ පක්ෂයෙන් නෙරපා හැරීමට ඇති අයිතිය තවම එහෙමම ඇත. ඒ සදහා ක්‍රියාත්මක විය යුත්තේ මන්ත්‍රීවරයා අයත් ව සිටි දේශපාලන පක්ෂය / ස්වාධින කණ්ඩායමය.

පක්ෂ කීපයක් සන්ධාන ගත වීම / ජාතික ආණ්ඩු සංකල්පය හරහා ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනා කල්හි ඒ සන්ධානයේ පක්ෂයකින් ඒ සන්ධානයේම තවත් පක්ෂයකට යම් හේතුවක් මත මන්ත්‍රීවරයෙකු මාරුවූවද, පෙරදී මෙන් එසේ සන්ධාන ගත නොවී සිටිද්දී එක් පක්ෂයකින් තවත් පක්ෂයකට මන්ත්‍රීවරයෙකු මාරු වුවද ක්‍රියාත්මක වනවා දකින්නට නැති එනම් නිදාගෙන සිටිනවා බදු ඒ නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

~ ඇතැම් විට නීතියක් නිදයි. එහෙත් එය කිසිවිට නොමැරෙයි ~

කෙසේ නමුත් පක්ෂ විනය සලකද්දී පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුගත විය යුතුය යන සංකල්පය අනුව මන්ත්‍රීවරයෙකු පක්ෂය නම් දැති රෝදයේ දැති මෙන්ම කටයුතු කල යුතුය යන අදහසද 100 % ක්ම බැහැර නොකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ හෘද සාක්ෂියේ / නිදහස් අදහසක් ද දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යව්ස්තානුකුල අයිතිය ද මන්ත්‍රීවරයෙකුට ඇති බව මේ වෙද්දී නීතියෙන් පිළිගෙන ඇත.
එහි වරදක් නැත, එසේ විය යුතුද වේ.

පාර්ලිමේන්තුවද නිසි කාර්ය පටිපාටිය අනුගමනය කරනා බවට වග බලා ගැනීම පරික්ෂා කල යුතුව ඇත

"ශේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන අතුරු තහනම් නියෝග මගින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 A යටතේ ගන්නා ක්‍රියාමාර්ග නොබැදේ" යන අර්ථය ඇතිව වර්ෂ 2001 දී එවකට කතානායකවරයා විසින් ලබා දුන් නියමය පාර්ලිමේන්තුවේ ස්වාධිනත්වයට හොදය.

එවැන්නක් අවස්තානුකුලව අවශ්‍යද විය හැකිය.

එසේ වුවද එය අවභාවිතා කොට හෝ ඊට මුවාවී පාර්ලිමේන්තුව විසින් ගන්නාවූ ක්‍රියාමාර්ග වලදී නිසි කාර්ය පටිපාටිය අනුගමනය නොකොට ( without following the due procedure ) මග හරින්නට හෝ ජනතාව නොමග යවන්නට හෝ පාර්ලිමේන්තුවට ඉඩ දිය යුතු නැත!

එසේ කරන්නට පාර්ලිමේන්තුවට බලය නොතිබිය යුතුය.

පාර්ලිමේන්තුවේ ස්වාධිනතාවය හෝ ඔවුන්ගේ වරප්‍රසාද පමණක් තිබී හරියන්නේ නැත. ජනතාවට තිබිය යුතු ඔවුන්ගේ වගකීම එලෙසම ඉටු කරන්නේදැයි අවැසි විට නීතියට අනුව පරික්ෂා කරන්නට මැතිවරණයකින් මෙහා ද අවස්ථාව තිබිය යුතු වෙයි.

මන්ද යත්

එක් අතකින් ජනතාව විසින් ලබා දුන් බලය ( විධායක, ව්‍යවස්ථාදායක හෝ අධිකරණ ) භාවිතා කල යුත්තේ යථා පරිද්දෙන් භාවිතා කරන බවට පොරොන්දුව සහිතව භාරයක් ( the power must be held as a public trust ) ලෙසින් වගකීමට බැදෙමිනි. එය ඉක්මවන්නට පාර්ලිමේන්තුවටද නොහැකිය.

එම වගකීමෙන් පාර්ලිමේන්තුව බැහැර වන්නේ නම් එවන් පාර්ලිමේන්තුවක් පිලිබදව තීරණයක් ගන්නට ක්‍රියාත්මක වන්නට ජනතාවට අවස්ථාව ලැබිය යුතුය.

අනෙක් අතින් ,,,

~ නියමිත උපචාර අනුගමනය නොකිරීමෙන් කාර්ය කාර්යය පටිපාටිය නො වලංගු වෙයි ~
යන්නාවූ නෛතික මුලධර්මයෙන් පාර්ලිමේන්තුවද බැදෙන නිසාවෙනි.

ඒ අනුව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 35 වැනි විවස්තාව අනුව විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ ක්‍රියා මුලික අයිතිවාසිකම් නඩුකර යටතේ එනම් රීතිය වන නඩු පැවරිය නොහැකිය යන්නට ව්‍යාතිරෙකි අවස්ථාව යටතේ අධිකරණ විමර්ශනයට ( judicial Review ) බදුන් කලා මෙන්ම පාර්ලිමේන්තුවේ කාර්ය පටිපාටින් ( විශේෂයෙන් නීති සම්මත කිරීම / විශ්වාසභංග වැනි ) පාර්ලිමේන්තු කාර්යන් අනවශ්‍ය ලෙසින් අතරමග අනහිටින තැනට නොයන පරිද්දෙන් අවම එක් ව්‍යාතිරේකි අවස්තාවක් යටතේ හෝ අධිකරණ විමර්ශනය ලක් කල යුතු තැනට යා යුතු කාලය එළඹ ඇති ආකාරයකි.

කාර්යක්ෂම විය යුතු රාජ්‍ය සේවය

අධිකරණයේ එක්තරා කාර්යාලයකට මා යම් අවශ්‍යතාවක් උදෙසා ගියමුත් එහි දොර වසා තිබුණි ( ස්ථිරව වසා නොතිබුණි, මද වේලාවකට එම ස්ථානයෙන් බැහැරව ගිය වගක් ඒ අනුව පෙනෙන්නට තිබුණි )

රාජකාරි වේලාවේ එහි සිටිය යුතු අය එයින් බැහැරට ගොස් ඇත්තේ කවර හේතුවක් මතද නැවත පැමිණෙන්නේ කීයටද ලෙසින් කිසිදු දැන්වීමක් ද සටහන් කිරීමක් හෝ නොතිබුණි.
අහලින් පහලින් විමසීමක් කළ ද හරියටම තොරතුරක් ලබා ලබා ගැනීමට ද නොහැකි විය.

ඒ අනුව එතැන රැදී සිටිම ආරම්භ කරන ලදි.

සේවයක් ලබා ගැනීම වෙනුවෙන් අවස්තාව එනතෙක් රැදී සිටීමේ ගැටලුවක් නැතත් ඒ සේවය ලබා ගැනීමට හැකිවේදැයි දෙගිඩියාවෙන් යුතුව රැඳී සිටීමට සිදුවේ නම් එය කණගාටුදායක තත්වයකි.

එම කාර්යාලයෙන් සේවය ලබා ගැනීම සඳහා තවත් පිරිසක් පැමිණ සිටි අය අතර නීතීඥතුමියක් ද විය. ඇය තවත් ස්ථානයකට ගොස් ඒ පිළිබඳව විමසීමක් කර තිබුණි.

ඒ අනුව රෙජිස්ට්‍රාර් මහත්මියක් පැමිණ සිදුවූ ප්‍රමාදයට කනගාටුව පළකර කරුණු පැහැදිලි කල අතර ඒ අනුව අපගේ කාර්යයන් අද දින සිදු කරගැනීමට නොහැකිව යන බව පෙනී ගිය නිසාවෙන් ඊළඟ සතියේ දිනක ඒ කාර්යය සඳහා පැමිණීමට තීරණය කළෙමි.

ආ කාරණය අද කරගැනීමට නොහැකිව තව දිනකට කල් යෑම එක් ගැටලුවකි.

එයත් සමග තවත් කාරණා 2 ක් විශේෂ අවධානයට ලක් කළයුතුව ඇත.
1. එම කාර්යාලයට සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන අයට අද දින සේවය ලබා ගැනීමට ප්‍රමාදවීම ගැන හෝ නොහැකිව යාම ගැන හෝ පූර්ව දැනුම්දීමක් කර නැත.
එනිසා ,,,
2. කාර්යාලය ස්ථිරව වසා නොමැති වීමෙන් අද දින සේවය ලබා ගැනීමට හැකිවනු ඇතැයි යන විශ්වාසයෙන් එහි පැමිණෙන අය නිකරුණේ කාලය වැයකරමින් රැදී සිටීම.
කාලය නම් කාගෙත් කාලයයි ...

මෙවැනි දෑ පිළිබඳව රජයේ ආයතන / කාර්යාල විශේෂයෙන් අධිකරණය ආශ්‍රිතව පවතින කාර්යාල වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත.

ඒ මන්ද යත් ,,,

තමාගේ අයිතීන් කඩ විමකදී ජනතාව අවසාන වශයෙන් පිලිසරණ පතා එන ස්ථානය වෙද්දී එයට සම්බන්ධ සියලුම අංශ, ආයතන සාමූහිකව එවැනි ජනතාවගේ ප්‍රශ්න කෙරේ සංවේදීව බැලීමත් ඒ වෙනුවෙන් දිය යුතු උපරිම දායකත්වයත් ලබා දිය යුතු වන නිසාවෙනි!!!

අගමැතිවරයාට එරෙහිව නිවැරදිව විශ්වාසභංගය සම්මත කරනු ලැබුවේද

අගමැතිවරයෙකුට එරෙහිව ගෙන එන විශ්වාසභංගයක් සදහා ඡන්ද විමසීම කිරීමේදී ස්ථාවර නියෝග අත් හිටුවා ඇති අවස්ථාවක සාමාන්‍ය කාර්ය පටිපාටිය ලෙස අනුගමනය කල යුතු යැයි දක්වන ලද පියවර අනුගමනය කිරීම අවශ්‍ය නොවෙන බවත් හඩින් සම්මත කිරීම කල හැකි බවත් අදහසක් ලෙසට ඇත. එයම හිටපු පාර්ලිමේන්තු මහලේඛම්වරයෙකුද දක්වා ඇත.

පළමු කාරණය නම් අගමැතිවරයෙකුට එරෙහිව ගෙන එන විශ්වාසභංගයක් වැනි වැදගත් අවස්ථාවක එනම් ආණ්ඩු පෙරලියක් සිදුවන අවස්ථාවක එවැන්නක් ස්ථාවර නියෝග අත් හිටුවා එය සිදු කිරීම කොතරම් යෝගයද යන්නයි. අනෙක් අතින් එසේ කිරීමට ඇති බලවත් වූ සහ යුක්ති සහගත කල හැකි අවශ්‍යතාවය කුමක්ද යන්නයි. එවන් කිසිදු යුක්ති සහගත හේතුවක් අපට දකින්නට හෝ අවම වශයෙන් විපක්ෂයෙන් අහන්නට දකින්නට හෝ ලැබුණේ නැත.

විශ්වාසභංග යෝජනාවේ නිත්‍යානුකුලබව පරික්ෂා කල යුතුය. එසේ කල බවක් පෙනෙන්නට තිබුණේ නැත. එහි ඇතුලත් කරුණු මොනවාද යන්න දක්වුයේද නැත. ඒවා විවාදයකට බදුන් කලේද නැත ( අවම වශයෙන් දිනක් ගෙන එය සාකච්ඡා කල හැකිව තිබුණි ) දෝෂාරෝපණයක් කිරීමේදී පළමුව එය විධිමත්ව ඉදිරිපත් කල යුතු අතර එයට පිළිතුරු දෙන්නට අවස්ථාව දිය යුතුය. එය උසාවියේ පමණක් නොව තීන්දුවක් ගන්නා වූ යම් විනිශ්චය සභාවක / අමාත්‍යංශයක / කාර්යාලයක පමණක් නොව පාර්ලිමේන්තුවේද විය යුතුය. 

විනිසුරුවරයෙකුට චෝදනා එල්ල කිරීමේදීද එසේ කරුණු දක්වන්නට අවස්ථාව දීම සිදුවේ. හඩ අනුව නම් තීරණය දිය යුත්තේ "පක්ෂයි" / "විපක්ෂයි" ලෙසින් ඡන්ද ගණන් කිරීමෙන් පසුව එම ප්‍රථිපලය අනුවයි.
එවැන්නක් දකින්නට ලැබුණේද නැත. දකින්නට ලැබුනේ හඩ වැඩි පැත්තට ප්‍රථිපලය දීමකි. ඔය හඩ අතර බාහෙදා කටහඩ පමණක්ම නොව වෙනත් හඩවල් ද ඇතුලත් විය හැකිය, හඩ වැඩියෙන් ආවේ පක්ෂ පැත්තටද විපක්ෂ පැත්තටද කියා වෙන්කරගන්නට නොහැකි මට්ටමට සභාව නොසන්සුන් වූ අවස්ථාවකදී බහුතරයෙන් යෝජනාව සම්මත වුවා යැයි කිම යුක්ති සහගත ද නැත. එසේම ආණ්ඩු පක්ෂ කණ්ඩායම සහ විපක්ෂ කණ්ඩයම යන දෙකම ආසන්න වශයෙන් සමාන පිරිසක් වෙද්දී එලෙස තීන්දුවක් ගැනීම යන්තමින් හෝ යුක්ති සහගත නැත.

විශ්වාසභංග යෝජනාව සම්මත කරගැනීමට තිබුණේ වෙන කවරදාකටත් වඩා විශාල කුලප්පුවකි.
කතානායකතුමාද සියල්ල සභාවට කරගෙන යන්නට බාර දී සිටි බවක් දකින්නට තිබුණි. ඒ අනුව ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විශ්වාසභංග යෝජනාවක් බදු අවස්ථාවක තමාගේ භූමිකාව නිසියාකාරව ක්‍රියාත්මක කලාද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවේ. හඩ අනුව හෝ පක්ෂ විපක්ෂ ඡන්ද ගණන මෙතරම් යැයි දක්වා එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වුවා යැයි ඔය කොයි කාටත් වඩා සද්දෙන් කිව යුතු දේ වුවත් එවැන්නක් කියූ බවක් ඇසුනේද නැත. මේ කාරනා සැලකු කල්හි එතුමාගේ ස්වාධිනත්වය / අපක්ෂපාතිත්වය ගැන යුක්තිසහගත ප්‍රශ්නයක් මතුවේ, මන්ද යත් තීන්දුවක් ගැනීමේදී පක්ෂපාති නොවෙනා අයකු හරහා එය ලබා ගත යුතු වීම නීතියට අනුව විය යුතුම දෙයක් වන නිසාවෙනි.

ඒ අනුව ඔය කියනා ස්ථාවර නියෝග පසෙකින්ම තැබුවත් තීන්දුවක් ගැනීමේදී නීතියට අනුව අනුගමනය කල යුතු සාමාන්‍ය කාර්ය පටිපාටිය උල්ලංගණය කිරීමක් බව / ස්වභාවික යුක්ති මුලධර්ම කඩ කිරීමක් බව දැක්වීමේ වරදක් නැත. එලෙස ගත් තීන්දුවක බලාත්මක බවක් / බැදීමක් නැත !!!

පාර්ලිමේන්තුව නොසන්සුන් වන්නට ඇත්තේ මන්ද

//ස්තාවර නියෝගවලට නොතකා කතානායකවරයා කටයුත කිරීම හා ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට ආයුද ගෙන ආ පාලිත තෙවරප්පෙරුම, රන්ජන් රාමනායක යන මන්ත‍්‍රිවරුනට එරෙහිව වහා නීතිය ක‍්‍රියාත්මක කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී//

//අද දිනයේදීද කතානායකවරයා ස්ථාවර නියෝග අත්හිටුවා පාර්ලිමේන්තුව පවත්වාගෙන පවත්වාගෙව යාමට තීරණය කිරීමත් සමගම පක්‍ෂ නායක හමුවද දැඩි උණුසුම් විය//

//කතානායකවරයා අද නීති විරෝධීය රීති විරෝධීව ස්ථාවර නියෝග නොතකා කටයුතු කල නිසා අද මෙම තත්වය ඇති වූ බවද කී ඔහු කතානායකවරයා එසේ කටයුතු කරන තාක් පාර්ලිමේන්තව පවත්වාගෙන යාමට නොහැකි වනු ඇතැයිද ඔහු සදහන් කලේය//

මේ අන්තර්ජාලයේ පලවූ උපුටා ගත් පුවත් කීපයක අන්තර්ගතව තිබුණු කාරණාය.

පාර්ලිමේන්තුවේ ඇතිවුණා යැයි කියනා තත්ත්වයට හේතු මේවා නම් එසේ වීම අරුමයක් නැත.

නීතීය බිහිවන වන තැන යම් කිසි ක්‍රියාමාර්ගයක් හෝ ක්‍රියාමාර්ග ගන්නා කාර්ය පටිපාටිය අනෙක් ස්ථාන වලදීටත් වඩා පාරදෘශ්‍ය අන්දමින් සිදුවිය යුතුය.

කතානායකවරයාගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් එල්ලවෙන විවිධාකාරයේ චෝදනා ආවාට ගියාට එල්ලවනවා විය නොහැකිය. කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝග වලට අනුව ක්‍රියාත්මක විය යුතුව ඇත.

පාර්ලිමේන්තුවේ බහුතරය සම්බන්ධ කාරණය විශේෂයෙන් සිදුකළ යුත්තේ පාරදෘශ්‍ය ලෙසිනි.
එසේ නොවන්නේ නම් එයට විරුද්ධත්වය පළකිරීම සාධාරණය. එසේ කළ යුතු ද වේ.

අතුරු තීන්දුව බලපවත්වෙද්දී පාර්ලිමේන්තුව කැදවිය හැකිද

පාර්ලිමේන්තුව විසිරුවා හැරිම සම්බන්ධව යම් පාර්ශව විසින් ගරු ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඒ නඩුව අසන්නට තීරණය කල පසුව ඒ නඩුවේ අතුරු තීන්දුවක් ලෙසින් පාර්ලිමේන්තුවේ ගැසට් පත්‍රය තාවකාලිකව අත් හිටුවීම ( suspension ) පමණක් වී තිබියදී ගැසට් පත්‍රය අවලංගු කලාක් සේ සලකා පාර්ලිමේන්තුවද කැදවා මෙලෙස විශ්වාසභංගයක් වැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ හැකිද යන කාරණයේ විසදිය යුතු නෛතික ප්‍රශ්නයක් ඇතැයි කිව හැකි තැන ඇත.

එය පිලිබද කාරණය මේ වෙද්දී අධිකරණයේ අවධානයට යොමු කර ඇතැයි වාර්තා විය.

කිසියම් නඩුවකට විෂය වූ වස්තුවක් සම්බන්ධව ( subject matter ) තහනම් නියෝගයක් ( stay order ) අධිකරණයෙන් ලැබී තිබියදී එහි තත්වය / හරය / අන්තර්ගතය ( status quo ) වෙනස් නොකළ යුතු බව පිළිගැනීමය. එනම් තහනම් අධිකරණ නියෝගයේ වෙනසක් වන තුරු එය කිසිදු පාර්ශවයක් විසින් වෙනසක් නොකොට ඒ වන විට පැවති තත්වයේ එලේසින්ම තැබිය යුතු බවට පිළිගැනීමය.

මෙහිදී ප්‍රශ්නගත ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව සම්බන්ධවයි. ඒ අනුව එය විෂය වස්තුව බවට පත්වන අතර ඒ අනුව අතුරු තීන්දුව එද්දී පාර්ලිමේන්තුව තිබුනේ අක්‍රිය තත්වයේ ය.

එසේ නම් මේ සිදුවන්නේ ඒ නොවෙනස්ව තැබිය යුතු විෂය වස්තුව සක්‍රිය කරගෙන ( එසේ කලේ කුමන නීතිමය තත්වයක් මතද යන්න පැහැදිලි නැත ) ඊට අමතරව ඒ තුල සැලකිය යුතු වෙනසක් සිදු කිරීම නොවේද යන්න සහ එමගින් නඩු කටයුත්තට කිසියම් බලපෑමක් එල්ල විය නොහැකිද යන ප්‍රශ්න මාගේ මතකය නිවැරදි නම් මෙවැනි සිදුවීමක් මතුවූ ප්‍රථම අවස්ථාව නිසා පළමුව ඒවා විසදා ගත යුතු ප්‍රශ්නයන් යැයි කීමේ වරදක් නැත ...

මන්ද මේ ගන්නාවූ ක්‍රියාමාර්ගවල වලංගුතාවය පාර්ලිමේන්තුව විසිරුවා හැරිම සම්බන්ධව ගරු ශේෂ්ඨාධිකරණයේ අවසන් නඩු තීන්දුව අනුව වෙනස් වන්නට ඉඩ ඇති නිසාය ...
පාර්ලිමේන්තුව සහ විධායකය අතර යම් මත ගැටුමක් ඇති වී ඇත්නම් එයට පැහැදිලිව වගකිව යුත්තේ අධිකරණ තීන්දුව එන තෙක් බලා නොසිටි පාර්ලිමෙන්තුවය!

පාර්ලිමේන්තුව අද කවරාකාරයෙන් ක්‍රියාත්මක වුවත් එදාට පාර්ලිමේන්තුවට පිළිගන්නට වන්නේ ගරු ශේෂ්ඨාධිකරණයේ අවසන් නඩු තීන්දුව ය.

ඒ දක්වා ,,,

- ඉවසීමෙන් බලා සිටින්නට හැකියාව නැත්තේ මන්ද ?
- ආප්ප පුච්චනවා බදු ලෙසින් ක්ෂණික නොවී විධිමත්ව කාර්ය පටිපාටියට අනුව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නට හැකියාව නැත්තේ මන්ද ?
- වෙනත් කරන්නටම හරවත් දෙයක් නැත්නම් තුනෙන් දෙක පෙන්නා ස්ව කැමැත්තෙන් විසුරුවා ගෙන පාර්ලිමේන්තුව විසින් ඇති කල අවුල පාර්ලිමේන්තුව විසින්ම නැති නොකරන්නේ මන්ද ?
- එලෙස සිදු කර ජනමතය උරගා බලන්නට යොමු නොවන්නේ මන්ද?

උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍යයයි

උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. උත්තරීතර නිතිය ලෙස සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලය ලැබ ඇත්තේ ජනතාවගෙනි. පාර්ලිමේන්තුව වනාහි ඒ තුලින් නිර්මාණය කල අංගයක් පමණි.
එහෙත් උත්තරීතර යැයි කියා ගන්නාවූ පාර්ලිමේන්තුවේ ඇතැම් සාමාජිකයින්ගේ ක්‍රියාකාරිත්වය අපිට දකින්නට ලැබුණි.

ඒ ප්‍රජාතන්ත්රාවාදය යැයි කියා ගන්නා එක ස්ථාපිත කරගන්නට වෙහෙසුණු ආකාරය විය හැකිය. ඒ තුලින් ඒ කියා ගන්නා උත්තරීතර තත්වය කොතරම් පැහැදිලි වුවාද යන්න සැක නැත.
බාධා මධ්‍යයයේ වත්මන් අගමැතිතුමා හරවත් ලෙසින් කතා කල අතර හිටපු අගමැතිතුමා නම් නිසොල්මන්ව තැන්පත්ව සිටිනු දකින්නට ලැබුණි.

ලේ සෙලවෙන ලද බවක් සහ පිහියා අතැතිව සිටීමක් ගැන මාධ්‍යවාර්තා විය. ඔය තත්වය කල් තියා පුර්වෙක්ෂණය එනම් දුටු නිසාදෝ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවන්නට ඇත ( එතුමාගේ කතාවේ අන්තර්ගතය අනුව ද එවන්නක් අදහස් විය ) එහෙත් ජනාධිපතිවරයාගේ වගකීම වඩාත් දක්වන්නට / වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නට යැයි ව්‍යවස්ථාවට කලා යැයි කියනා 19 වන සංශෝධනය නිසාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාවට කල වෙනස නිසාවෙන් අත්‍යාවශ්‍ය යැයි පෙනී යන අවස්ථාවක ඔවැනි තත්වයක් කල් තියා වලක්වා ගැනීමට සිය විධායක බලය දැන් පෙර මෙන් භාවිතා කල හැකිදැයි උසාවියේ ප්‍රශ්න කරන්නට හැකි තැනට පත් කර ඇත.

එකක් ලිවිය යුතුය. ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියනා එකට නීතියෙන් අවකාශය වැඩියෙන් දෙන්නට දෙන්නට එය අවභාවිතා කරන්නට / පාලන තන්ත්‍රය එමගින් අවුල් කරන්නට උත්සාහ දරනා පිරිසක් වේ නම් ඒ වනාහි එවන්නවුන් අතට ආයුධ දුන්නා බදු විය හැකි බවය ...

ඒ අනුව වගකීම පවරන්නට ඕනෑ ඒ ප්‍රායෝගික කාරණයද සැලකීමට ලක් කරමිනි!
ඔය දකින්නට ලැබුනාවූ තත්වය අනුව නව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය නැවත මැනවින් විද්‍යාමාන වී ඇතැයි කීමේ වරදක් නැත. දැන් ඇත්තේ ඒ සංශෝධිත පොතේ හැටියට කා කොටා ගැනීම වෙනුවට එක්වී ඒ ඇත්තන් ගේ 2/3 න් යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය, බල කල යුත්තේ එයටය, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය අභියෝග කර ඇති මුලික අයිතිවාසිකම් නඩු වලින් ඊට බාධාවක් නැත!

එයින් පසුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයද සලකමින් මහා මැතිවරණයක් සදහා අවස්ථාව ලබා ගත යුතුය.

"රටකට ඕනෑ අපමණ අගයක්, හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්" යැයි එදා කියමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව බලයට ගෙන එන්නට වෙර විරිය ගත් ඇතැමෙකුට දැන් එතුමන් පෙන්වන්නට බැරි තැනට පත්ව ඒ කොතරම්ද යත් ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස කියා සිටි. එහෙත් එසේ කරන්නට අවශ්‍ය නැත. මන්ද එයින් වනු ඇත්තේ තව තවත් අස්ථාවරත්වයක් උදාවීම පමණි. අනික් අතට තමන්ට හොද වෙද්දී "එනු" සහ තමන්ට ඇලජික් වෙද්දී "යනු" ලෙස කියන්නට හැකි තැන ඇති මුත් පත් කරගත යුත්තේ නම් සහ පහකළ යුත්තේ එක එක්කෙනාගේ පෙර වූ මතය මේ වෙද්දී ඇලජික් වීම නිසා නම් නොව නීතියට අනුව වරදක් කර ඇති නම් එය ඔප්පු කරගැනීම තුලින්ම පමණි.

වැඩි සද්දෙන් සම්මත කරගත්තා යැයි කියනා එහෙත් පාරදුශ්‍යභාවයක් දකින්නට නොලැබුණු පක්ෂව ලැබුණු සහ විපක්ෂව ලැබුණු ඡන්ද ගණන හෝ දැනගන්නට නොලැබුණු මට්ටමේ විශ්වාසභංගයකි. එහි නෛතික වලංගුතාවය ගැන විවිධ මත පළවේ. පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණක් උසාවියේ තිබියදී පාර්ලිමේන්තුවේ එවැනි යෝජනාවක් ගෙන එම නඩුවට යම් බලපෑමක් ඇති විය හැකිය යන මතයද බැහැර කල නොහැකි තැන ඇති කාරණයකි.

එසේම අගමැතිවරයාගේ කතාවට විරෝධය පලවිමකි. ඉන් පසුව ගැටුමක් ඇතිවූ ආකාරයකි.
මේ අනුව පාර්ලිමේන්තුව අවුලක් වී ඇති බව පෙනෙන්නට ඇති කල විධායකයේ හෝ ස්ථාවරබව තිබිය යුතුය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉතිරි ධුර කාලයට නැවත පක්ෂ එක්ව කටයුතු කරන්නටම බැරිම නම් දැන් කල යුතු හොදම දේ පාර්ලිමේන්තු යෝජනාවක් අනුවම පාර්ලිමේන්තුව විසුරුවා හැර වත්මන් ජනමතය නියෝජනය වන බහුතර බලයකින් හෙබි සහ ඒ සමගම ජනමතය නියෝජනය වන විපක්ෂයක් ද තෝරා ගැනීමය. ඒ වෙනුවෙන් සාමකාමිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකට එක් විය යුතුව ඇත. ඔවුන්ව උනන්දු කල යුතුවද ඇත.

පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඉන් පිටත ජනතා ප්‍රජාතන්ත්‍රවාදය

ගරු ජනාධිපතිතුමන් සිය ජාතිය ඇමතීමේ කතාවලදී එළි කළාක් මෙන් ව්‍ය්වස්තාදායකය හෙවත් පාර්ලිමේන්තුව තුළ කිසියම් අර්බුදකාරී තත්වයක් වේ නම් එය නොසලකා සිටිය හැකි / යුතු තත්වයක්ද නොවේ. පිලියම් යෙදිය යුතුය.

ඒ පිළියම් යෙදිය යුතු සුදුසුම විදිය මහ මැතිවරණයකට ගොස් ජන මතය විමසා බැලීම ය.
( අවැසි නම් ඒ දක්වා අවශ්‍ය වන පරිද්දෙන් ව්‍යවස්තානුකුලව පාර්ලිමේන්තුව කල් තැබීම කළ හැකිය )
එයට අවුරුදු 5 සම්පූර්ණ වන තුරු සිටිය යුතු බවට කොහේවත් සදහනක් නැත.

එසේ ඡන්දයකට ගියා කියා ජනතාවගේ කිසියම් වූ අයිතියක් කඩ වන්නේ ද නැත.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ව සිටින අය ගේ ඒ ධුර අහිමිවීම නිසා හෝ ඊටත් වඩා නැවත ඡන්දයකින් එවැනි ධූරයකට පත් විය හැකි ද යන සැකය නිසා මහා ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය කඩ වේ යැයි දක්වමින් පාර්ලිමේන්තුවම ඕනෙයි කියන්නේ නම් / මැතිවරණයක් අනවශ්‍ය බව දක්වන්නේ නම් එය ජනතා මතය යැයි කිව නොහැකිය.

එය වනාහි එසේ කියනා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මතය යැයි කිව හැකි එකක් පමණි.
අනෙක් අතට එය වනාහී අපට ඇති අහවල් ආදරේකට කියන කතාවක් නොව පාර්ලිමේන්තුවේ ඉතිරි ධුර කාලය සම්පූර්ණ කර ගැනීමට බැරි වීම නිසා කියන කථාවක් යැයි සැලකිය හැකි තැන ඇති නිසාවෙන් සහ ඒ නිසාවෙන්ම එය ජනතාවගේ කිසියම් මූලික අයිතිවාසිකමක් කඩ වූවා යැයි කිව හැකි තැන නැති මට්ටමේ කාරණයකි.

එහෙත් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම හෝ කල් තැබීම හේතුවෙන් සිය මුලික අයිතිවාසිකමක් කඩ වූවා යැයි කියා පුරවැසියෙකු විසින් කියන්නේ නම් බාගෙදා එහි හරවත් කරුණක් තිබිය හැක. එහෙත් එසේ නම් එයද "කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය" යන්න සලකා සැබැවින්ම සත්‍යයක් ද යන්න විශේෂයෙන් තීරණය කළ යුතු කළ යුතු දෙයකි / සිද්ධිමය කරුණකි!

මන්ද අවස්ථානුකූලව විධායකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සහ පරිපාලන නීතියද අනුව ගත හැකි යුක්ති සහගත තීරණයක් නම් අනවශ්‍ය ලෙස අභියෝග කිරීමට අවස්ථාව නොදිය යුතු නිසාවෙනි.
මන්ද නොඑසේ නම් හැම විධායක කාර්යයක්ම උසාවිය ඉදිරියට ගෙනගොස් ප්‍රශ්න කරන්නට ඉඩ දෙන්නේ නම් එනයින්ම රටක, ආර්ථිකය සංවර්ධනය සහ ආරක්ෂාව ආදී ක්ෂේත්‍රයන් හැම එකකම වාගේ යථා පැවැත්ම පවත්වා ගැනීම ඇතැම්විට දී අසීරු වනු ඇත.

එහෙත් වරදක් යැයි යුක්ති සහගත ලෙසින් පෙනී යන අවස්ථාවක විධායකයේ ක්‍රියා උසාවියේ අභියෝග කිරීමකින් වැළකිය යුතු බවක් මෙයින් අදහස් නොකෙරේ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගරු කල යුතුය.

මන්ද යත් එය තෝරාගෙන ඇත්තේ ජනතාව විසින් වන නිසාවෙනි.

එහෙත් එසේ වුවා කියා ඒ මත නැහෙන්නට අවශ්‍යද නැත.

මන්ද පාර්ලිමේන්තුවේ සංයුතිය තීරණය කරනා තිරකයින් සිටින්නේ එයින් පිටත් වන නිසාවෙන් සහ තිරකයින් වන ජනතාව නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් මහමැතිවරණය හරහා හෝ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය හෙවත් ජනමතවිචාරණය හරහා පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරන්නට බලය දරන්නවුන් වන නිසාත් අවැසි නම් එසේ කල යුතුද වන නිසාත් ය.

ඒ අනුව විධායකය ව්‍යවස්ථා විරෝධී යැයි කියමින් පාර්ලිමේන්තුව සිය බල සීමාවෙන් ඔබ්බට ක්‍රියාත්මක වන තැනට පත්ව ඇත්නම්, නියම ජනතා මතය නිරුපනය නොවෙන තත්වයකට පැමිණ ඇත්නම්, පාර්ලිමේන්තුවේ එක් එක් පක්ෂ එකිනෙකාට එරෙහිව තමන්ගේ හැකියාව පෙන්වන්නට උත්සාහ කරමින් සිටිනවා විනා ව්‍යවස්ථාදායකයේ කාර්යන් ඉටු නොකරන තැනට පත්ව ඇත්නම් අවස්තානුකුලව වඩා සුදුසු වන්නේ එහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම නොව ජනතා පරමාධිපත්‍යයෙන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උරගා බලා ඒ මතය පාර්ලිමේන්තුව තුල නියෝජනය වන තැනට යාමය !!!

එසේ කරන්නට ඇතැමුන් කියන පරිද්දෙන් වත්මන් පාර්ලිමේන්තුව අවුරුදු 5 ක් ආයු වළදා අවසන් හුස්ම හෙලන තුරු ඉන්නටම අවැසි නැත.

අමුතුවෙන් නොකිව්වාට වත්මන් පාර්ලිමේන්තුව මේ වන විටද සිටින්නේ එබදු තත්තවයක නම් අවස්තාව දුන් විගස ජනතාව ඊට අවශ්‍ය ඔක්සිජන් ලබා දී අවශ්‍ය නම් ඒ වෙනස් කම්ද කරමින් සිය කතිරය හරහා පාර්ලිමේන්තුව ප්‍රකෘතිමත් කරනු ඇත!

තත් කාලයේ ජනතා මනාපය පැහැදිලිව නියෝජනය වන, රටේ පාලන රාමුව වඩාත් ශක්තිමත් කරමින් ජනතා අයිතීන් බලාත්මක කරනා ව්‍යවස්ථාදායක කාර්යට යොමුවූ ප්‍රකෘතිමත් පාර්ලිමේන්තුවක් තිබීම අවශ්‍යය.

මුලික අයිතිවාසිකම් හරහා තමන්ගේ අයිතීන් කඩවුවාදෝ කියා පරික්ෂා කරගත්තද කවර පක්ෂයකදී වුවද සැබෑ ජනතා නියෝජිතයන් නම් එයට අවස්තාව බිය නැතිව දිය යුතුය!
එහිදී ජනතාව අනිවා සලකනු ඇත.

ඒ කෙසේද යත් ,,,

එහිදී පාර්ලිමේන්තුවට අලුතින් යා යුතු හෝ දැනටම සිටිනා තව දුරටත් සිටිය යුතු අයව නලවා ඇතුල් කරගැනීමෙන් සහ ඉවත් කල යුතු අයව දොට්ට දැමීමෙනි.

එදා වර්ණනාව අද අදෝනාව

එදා මෛත්‍රීපාල සිරිසේන මහතාව ඉහළින්ම තියාගෙන වර්ණනා කල සමහරක්, එදා එතුමාව දැඩි ලෙස විවේචනය කල අයටත් වඩා අද එතුමන්ව හෙලාදකිමින් අමතන ආකාරයකි. ඒ ජනවරමට පිටුපෑවා යැයි කියමිනි.

ඔය කියනා ආකාරයට හැට දෙලක්ෂයක් යැයි කියන ජනතාව එදා මෛත්‍රීපාල සිරිසේන මහතාත් එක්කරගෙන යහපාලනයක් වෙනුවෙන් කළ තෝරා ගැනීමත් ඉන්පසුව මහ මැතිවරණයේදී එක් දේශපාලන පක්ෂයකටවත් බහුතර බලය නො දී එකතුවී ආණ්ඩුවක් පිහිටුවාගෙන හෝ යහපාලනයක් ඇති කොට එය ඉදිරියට ගෙන යා හැකි දැයි සොයා බලන ලෙසට කළ දැනුම් දීමත් සමග, ඒ සම්බන්දව රටේ ජනාධිපතිවරයා වශයෙන් අන් කවරකුටත් වඩා සංවේදී වෙමින් වගකීමක් අතැතිව සිටි තැන සිටි එතුමා, එතුමා ළඟට වැඩිම මනාප එම ජනාධිපතිවරණයේදී ලබාගත් අපේක්ෂකයා වූ සහ මහමැතිවරණයේදී නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජනතාව විසින් තෝරාගෙන අගමැති ධූරයට පත්විමට අවශ්‍යතා සම්පූර්ණ කළ අයෙකුව ඒ ධූරයේ තබමින් ඔය ගත්තා වූ පියවර ගන්නට ඇත්තේම මූලික වශයෙන් ඒ හැට දෙලක්ෂයක් වූ ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ පක්ෂ ඒකාබද්ධ වීමකින් හෝ ඉහළට ඔසවා තැබිය යුතු යැයි ජනතා මතය වූ "යහපාලනය" යන්න සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් විය නොහැකිදැයි මදක් නැවතී ධනාත්මකව හිතන්නට තරම් සිහි කල්පනාවක් ඇතැමුන්ට ඇත්තේ ම නැත.

සැබෑ යහපාලනයක් අගය කරනා ජනතාව සැලකීමට ලක් කල යුතු කාරනා

මේ මොහොතේ සැබෑ යහපාලනයක් අගය කරනා ජනතාව සැලකීමට ලක් කල යුතු වැදගත්ම කාරනා නම් ,,,

* අතුරු තහනම් නියෝගය ඇතුලත් අධිකරණ තීන්දුව හෝ අධිකරණය කිසිලෙසකවත් විවේචනයට ලක් නොකළ යුතුය.

* දැන හෝ නොදැන එය අවසානාත්මක තීන්දුව යැයි සිතා හෝ නඩුව අවසාන වුවා යැයි සිතා අතිශය ප්‍රීතියට පත්ව ඇති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියනා කිසිවකුගේ ඒ සතුටට බාධා නොකිරීම ( ආතල් එක නොකැඩ්ම )

* අධිකරණය වෙත ගිය පෙත්සම්කරුවන් අධිකරණය වෙත ගියේ ඔවුන්ගේ අයිතියක් කඩවූ බව විශ්වාස කරමිනි. එසේ වුවත් එය පිළිබද විවේචන තිබිය හැකිය. එහි වරදක් ද නැත.
කෙසේ නමුත් එයට පිළිතුරු දෙන්නට හොදම අවස්ථාව ලැබුණු විගස හෙවත් ජනතා අධිකරණය ඉදිරියේ කතිරයෙන් පිලිතුරු දීම බව කල්පනාවේ තියා ගැනීම.

* එතුලින් සැබෑ යහපාලනයක් සහිත සුභ අනාගතයක් බලාපොරොත්තු වන පරමාධිපත්‍යය දරණ ජනතාවගේ මනාපයෙන් එම ජනතාව නියෝජනය වෙන බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් බිහි කරගෙන සැබෑම ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගැනීම.

දේශපාලන ක්ෂේත්‍රයට එන්නේ නම් ...

අදහස් අනුව පෙනී යන්නේ ඇතැම් මිතුරන් ඉදිරියේ දී දේශපාලන ක්ෂේත්‍රයට සක්‍රීයව ප්‍රවිෂ්ඨ වී එහි ඉදිරියට යාමට මනාපයෙන් පසුවන බවයි.

එවන් අදහසක් ඇතැයි හිතෙන එක් මිතුරෙකු ට මා කිව්වේ ඔයා මන්ත්‍රී කෙනෙක් හෝ ඇමතිවරයෙක් උනොත් මම විශේෂයෙන් එළියෙ ඉඳන් පුරවැසියකු වශයෙන් ඔයාගේ ක්‍රියාකාරකම් ගැන උසාවි යන්න බලාගෙන සැලකිල්ලෙන් ඉන්න බවයි.

මිතුරා ගේ ප්‍රතිචාර බැලීමේ අපේක්ෂාව ද ඇතිව එසේ කියූ විට මද සිනාවට එහා එයට පක්ෂව හෝ විපක්ෂව ප්‍රතිචාරයක් නොලැබුණ මුත්ප්‍රතිචාරය වෙනස් වේ දැයි බැලීමට මා ඉන්පසු ව කීවේ මා එය විහිළුවට කියනා ලද දෙයක් බවය.

මිතුරාව තවත් පරීක්ෂාවට ලක් කිරීමට හිතාගෙන මා නැවත කීවේ "දැන් මේවා කියල මේවා මතක තියාගෙන ඉඳලා ඔයා ඇමතිතුමෙක් එහෙම උනොත් මට ප්‍රශ්නයක් වෙයිද දන්නෙත් නෑ නේද " ලෙසිනි ...
එවිට හෙතෙම කීවේ " නෑ එහෙම වෙන්නේ නෑ" ලෙසිනි.

ඒ අනුව මා නිගමනය කළේ පදනමක් සහිත විවේචනයට ලක්වීමට අමනාපයක් නැති සහ ඒ අනුව පෙන්වා දෙන වරදක්වේ නම්නිවැරදි කරගැනීමට උනන්දු අය අතරට එක්වන අය මතුවට සිටිනු ඇති බවය. එය දේශපාලන පක්ෂය කවරක් වුවත් වැදගත්ම ම මට්ටමේ කාරණයකි.

පාර්ලිමේන්තුව උණුසුම් වන්නේ මෙහි පමණක්ද

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව සම්බන්ධව මේ දිනවල ඇත්තේ ප්‍රසාදයක් නොවේ. ඊට හේතුව එහි දකින්නට ඇති නොසන්සුන් බවය. එම තත්වය අනිකුත් රටවල් දුටුවහොත් කුමක් සිතනු ඇතිද යන්න ඇතැමුන් විමසති. එහෙත් එහෙත් මෙහෙත් කොහෙත් එක ආකාරයක් බවට උදාහරණ අන්තර්ජාලයෙන්ම සොයා ගත හැකිය.

පාර්ලිමේන්තුව යනු ජනතා නියෝජිතයන් එක්රැස්ව අදහස් පළ කරමින් ක්‍රියාත්මක වන ස්ථානයයි.
යම් අවස්ථාවල ඒ අදහස් පළකිරීම උණුසුම්ව ආවේගශීලී ලෙසින් ක්‍රියාත්මක විය හැක. පාර්ලිමේන්තුව තුළ ජනතා නියෝජිතයින් ක්‍රියාත්මක වීම පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද යටතේ ආරක්ෂා වුවත් යම් බරපතළ තත්ත්වයක් ඇති කළා නම් ඒ පිළිබඳ පරික්ෂා කිරීම අවශ්‍ය ද වේ ...

අනෙක් අතින් සොයා බැලිය යුත්තේ එයට මූලික වශයෙන්ම හේතු වූ කාරණයක් වේ ද ඒ කුමක්ද ද කියාය.
කතානායකවරයාගේ භූමිකාව නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම ගැන අසන්නට ඇති පුවත් / වාර්තා වෙන කාරණාවන් සැලකූ කල්හි එය බැහැර කළ නොහැකි තත්ත්වයක් බව පෙනෙන්නට ඇතැයි කීමේ වරදක් නැත ...

ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන තීන්දුව එනතුරු හෝ පාර්ලිමේන්තුව කැඳවීම අත්‍යාවශ්‍යද

මේ වසරට පාර්ලිමේන්තුව එක වරකට වඩා කැඳවා ඇති බැවින් පාර්ලිමේන්තුවේ කටයුතු ( විශ්වාසභංග ගෙන ඒම හෝ වෙනත් විවස්තාදායක කාර්යයන් ) ස්ථාවර නියෝග සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සාමකාමීව සහ පාරදෘශ්‍ය ලෙසින් කර ගෙන යාමට හැකි වාතාවරණයක් නැති බව පෙනෙන්නේ නම් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසාන තීන්දුව එනතුරු හෝ පාර්ලිමේන්තුව නොකැඳවා සිටීම වඩා යෝග්‍යය.
මන්ද යත්‍ සම්මත කර ඇති නීති තිබෙන කල, එම නීති අනුව විධායකය ක්‍රියාත්මක වන කල්හි සහ සැබැවින් ම එසේ ක්‍රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කිරීමට අධිකරණය ක්‍රියාත්මකව තිබෙන කල විවස්තාදායක කාර්යන් හරිහැටි ඉටු කරගන්නට අසමත් මට්ටමක් ප්‍රදර්ශනය කරනා, නොසන්සුන් පාර්ලිමේන්තුවක ප්‍රයෝජනයක් සැබැවින්ම ම නැති නිසාවෙනි ...

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැට දෙලක්ෂයක් ජනතාවගේ ජනමතයට පිටු පෑවාද

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැට දෙලක්ෂයක් ජනතාවගේ ජනමතයට පිටු පෑවා යන්න ඇතැමුන් කියනා කාරණයකි.

පළමු එසේ කියන්නේ

"රටකට ඕනෑ අපමණ අගයක්, හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්" යැයි යහ පාලනයක් ( good governance ) වෙනුවෙන් එතුමාට චන්දය දුන් ඡන්දදායකයින් විය යුතුය.

එතුමා පත්වූයේ බහුතර එක්සත් ජාතික පක්ෂ ඡන්ද වලිනි.
එය ජනාධිපතිවරණයක් පමණක් වුවත් නව යහපාලන ජනාධිපති වරයා දිවුරුම් දුන් පසුව යහපාලන පාර්ලිමේන්තුවක් ද තෝරා ගනු ලැබීය ...

පාර්ලිමේන්තුවේ අති බහුතර ආසන සංඛ්‍යාවක් තිබූ පක්ෂය දෙවෙනි තැනට දමා සුළු ආසන සංඛ්‍යාවක් තිබූ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වරයා ලෙස දිවුරුම් දෙන ලදී ...
එලෙස කාලය ගෙවී ගිය අතර මහ මැතිවරණයෙන් පසුව යහපාලනය ප්‍රතිපත්තිය කරගෙන සිටි ඇත්තන්ට පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් තිබූ ( එහෙත් අද ඔවුන් කියනා බහුතරය ඔවුන්ට තනිවම නොතිබූ ) අතර පක්ෂ සන්ධානගතව ජාතික ආණ්ඩුවක් වශයෙන් ඉදිරියට ඇදුණි.

ඔය අතරේ යහපාලන ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාකාරීත්වයන් පිළිබඳව චෝදනා ද එල්ල වෙමින් තිබුනි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය දුන් කවුරුන් හෝ බලාපොරොත්තු වන්නට ඇත්තේ එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගෙන් දකින්නට ලැබුණාට වඩා හොඳ යහපාලනයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හරහා දැක ගන්නට විය යුතුය.
ජනාධිපතිවරයා වශයෙන් තමන් ඒ වෙනුවෙන් කළ කැපකිරීම් එතුමා විසින් මෑත දී ජාතිය අමතා කළ කතා වල පැහැදිලි ව ගැබ් වී තිබුණි.

තව දුරටත් එතුමාට එක්සත් ජාතික පක්ෂය සමග එවකට තිබුණාකාරයේ හවුලේ වැඩ කරන්නට නොහැකිව ගිය බවත් ඒ නිසා ජාතික ආණ්ඩු සංකල්පය හිටපු අග්‍රාමාත්‍යවරයාත් සමග තව දුරටත් පවත්වාගෙන යාමේ ප්‍රයෝජනයක් නැතැයි එතුමා තීරණය කොට එයින් ඉවත් ව අග්‍රාමාත්‍ය ධූරය හිස් වන්නට ඉඩ හැර අග්‍රාමාත්‍ය ධුරයට විකල්පයක් සොයා යන්නට සිදු වූ බවත් එහි දී ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජනයක් නොමැතිව ගිය කල මහින්ද රාජපක්ෂ මහතාගේ කැමැත්තෙන් අග්‍රාමාත්‍ය ධූරයේ හිස් තැන පිරවූ බව ප්‍රකාශ කරන ලදී.

ඒ අනුව එදා යහපාලනය පැත්තෙන් වෙනසක් සොයා ජනතාව එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ට දුන් ජනවරමට හෙතෙම පිටුපා නැත.

ආශිර්වාද මධ්‍යයේ, මනාප මධ්‍යයේ දෙදෙනෙක් විවාහ වන්නේ මියෙන තුරාවටම එකට සිටිනා අදහසින් වුවත් යම් සාධාරණ හේතු මත ඒ දෙදෙනාගේම ඔහු එක් අයෙකුගේ යහපත මත විවාහ බන්ධනයෙන් අතරමගදී ඉවත් වන්නට සිදු විය හැක. අත්‍යවශ්‍ය නම් එසේ කළ යුතු ද වේ. මුලදී දෙදෙනාට එක් වන්නට ආශිර්වාද කල අය වුවත් පසුව ඒ දෙදෙනාට වෙන්වන්නට සහයෝගය දෙනවා විය හැක. හරි නම් ඔවුන් ගේ යහපත වෙනුවෙන් එසේ කළ යුතු ද වේ. ඉන් පසුව ඔවුන් තම තමන්ට ගැලපෙන සුදුසු අය තෝරාගතහොත් ඒ අය සමග එක් වන්නට ඔවුන් උනන්දු කළ යුතුයි.

වඩා වැදගත් වන්නේ සීමාවක් නැති කරදර පීඩා බාධක දුක් කම්කටොලු මධ්‍යයේ බන්ධනය සේම පවත්වා ගන්නේ ද නැතිනම් එයින් මිදී පෙරට වඩා යහපත් තත්වයක් හෝ යහපත් බැඳීමක් ඇති කරගන්නේ ද යන්න තීරණය කිරීමට එම බැඳීමෙන් නිමක් නැති මට්ටමේ පීඩා විදින අයකුට අයිතියක් ඇත / තිබිය යුතුද වේ.
යහපාලන දීගය ද එසේ මය.

මෙහි වෙනසකට ඇත්තේ ඒ බන්ධනයෙන් සෙතක් වන්නේ / විපතක් වන්නේ පක්ෂ වලට / නායකයින්ට වඩා රටේ ජනතාවට ය ...

ඒ අනුව යහපාලන සංකල්පය එසේම පවත්වා ගැනීම සඳහා අතරමගදී ගන්නට සිදු විය හැකි සාධනීය පියවර ගැනීම අවශ්‍ය ය. ඒ අනුව යහපාලන සංකල්පය පවත්වා ගැනීම සඳහා යම් පියවරක් ගත්තේ නම් එය පෙරදී ජනතාව දුන් ජනවරමට පිටුපෑමක් ලෙස සැලකිය නොහැක. මන්ද ඒ වෙනුවෙන්ම / එය තවදුරටත් පවත්වා ගැනිම පිණිස කල වෙනසක් නිසාවෙනි. එය සැබැවින්ම සැලකිය හැක්කේ ඒ ජනවරමට ඒ වෙනස සිදු කල මොහොතේද ගරු කිරීම පවත්වා ගැනීමක් වශයෙනි.

අනිත් අය හට මධ්‍යස්ථව බලන්නැයි කියා ආරාධනා කරනා, හිටං, හුටන්, ගමයා, ගමරාල, ග්‍රාම සේවකයා, පඹයා යැයිද එතුමන් අමතන, තමන් නම් මධ්‍යස්ත යැයි කියා ගන්නා අය සිටී නම් අවැසි නම් තොප්පිය නිහඩවම දමාගෙන විශේෂයෙන් ඔය කාරණය සැලකීමට ලක් කීරිම වටිනු ඇත!

2002 දී ශ්‍රේෂ්ඨාධිකරණය දැක්වූ මතය 19 වන සංශෝධනයේ ඇතුලත් ද

එදා 2002 දී සම්මත කිරීමට බලාපොරොත්තු වූ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝග කිරීමේදී එවකට අගවිනිසුරුතුමන් වූ සරත් නන්ද සිල්වා මහතා ඇතුලත් වූ හත්පුද්ගල ( 7 judge bench ) විනිසුරු මඩුල්ලකගේ තීරණාත්මක සහ ඉතාමත්ම වැදගත් තීන්දුවේ ( Landmark judgment ) සටහන් කර තිබුණු පරිදි එවකට වසර හයක් වූ පාර්ලිමේන්තුවේ ධුර කාලය අවසන් වන්නට පෙර එය විසුරුවීමේදී ජනාධිපතිවරයාගේ එම හැකියාව වසර 3 කට වඩා දිගු කරන්නේ නම් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකට අමතරව ජනතාවගේ කැමැත්තෙන් ද සම්මත කිරීමෙන් පසුව බවය.

උපරිමාධිකරණ නඩු තීන්දු ( ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ ) නීති මූලාශ්‍රවල අංක 1 ස්ථානයේ සිටින පාර්ලිමේන්තුව හැරුණු කල දෙවැනි තැන ගන්නා නීති මූලාශ්‍රය ලෙස සැලකේ.
පාර්ලිමේන්තුව නීති සෑදුවද එම නීති ප්‍රායෝගිකව අර්ථ නිරූපණය කරමින් යොදා ගන්නේ සහ එම නීති වල තිබිය හැකි හිදැස් පුරවා එම නීති වලට අර්ථය ජීවය දෙන්නේ අධිකරණයයි.

ඒ අනුව එම කාරණයට අදාළ නීතියක් සම්මත කරන්නේ නම් එම කාරණය සැලකීමට ලක් කළ යුතු වෙයි.
2015 දී සම්මත කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේදී එම කාරණය එනම් විධායකයට ව්‍යවස්ථාදායකය කෙරෙහි සංවරණය සහ තුලනය පැවැත්වීමේ ඉතා ම වැදගත් අවස්ථාවක් වන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සමබර සහ යුක්ති සහගත හැකියාව එලෙසම පවත්වා ගත යුතුය යන්න පාර්ලිමේන්තුවේ ධුර කාලය වන වසර 5 ක් යන්න සමග සසදා ව්‍යවස්ථාවට ඇතුළත් කළේ ද යන්න පිළිබඳව මතයක් ප්‍රකාශ කරන්නට තවම කල් වැඩිය.

ඡන්දයට බිය විය යුතුද ?

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් උසාවි ගියා සේම, පාර්ලිමේන්තුවේ ආයු කාලය අවසන කවදා හෝ නැවත පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ජනවරම සොයාගෙන ජනතා උසාවියට යන්නට වනු ඇත. එදාට සැලකිය යුතු අයට කතිරයෙන් ඒ ආකාරයට ජනතාව සලකනු ඇත, එය නියතය!!!

ඡන්දයට බිය නොවන්න !!!

ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔතරම් කතා කරන්නේ නම් / ඔතරම් කැක්කුම ද ඇතිනම් එයට සූදානම්ව සිටින ජනතාවට එයට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තුවේ පෙනී සිටිය යුතුය!!!

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අභියෝග වූ පසුව සිදුවුයේ කුමක්ද

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්රය මුලික අයිතිවාසිකම් නඩු හරහා පෙත්සම්කරුවන් විසින් අභියෝග කරනු ලැබූ පසුව එම පෙත්සම් වල කරුණු තහවුරු කිරීමෙන් (support ) සහ එයට එල්ලවූ විරෝධතා ( Objections ) ගරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම පෙත්සම් විභාග කිරීමට ගරු ශ්රේෂ්ඨාධිකරණය විසින් අවසරය 2018.11.13 දින දී ඇත ( Leave Granted )

විභාගය සදහා දිනයේදී ඉදිරි දින කීපයක් දින දී ඇත. ( දෙසැම්බර් 4,5,6 )

අවසාන තීන්දුව, එනම් ජනාධිපතිවරයා විසින් 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිවැරදිද නොඑසේ නම් වැරදිද යන්න 2018 දෙසැම්බර් 07 දිනට දීමට නියමිතව ඇත.

එසේම යම් කාලයකට අතුරු තහනම් නියෝගයක් මගින් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්රය ක්රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ( suspend ) ඇති අතර මැතිවරණ කොමිෂම වෙත මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව තාවකාලික තහනම් නියෝගයක් ලබා දී ඇත.

එය ඔවැනි නඩුවක සිදුවන සාමාන්ය පියවරක් පමණි!

සිදුව ඇත්තේ එපමණකි.

ඒ මිසක ඒ නඩු කටයුත්ත පෙත්සම්කරුවන් ජයග්රහණය කර හෝ වගඋත්තරකාර පාර්ශවයන් පරාජයට ලක්ව නැත!

අවසන් නඩු තීන්දුවක් ලැබී නැත. එය ලබා දෙන්නේ දෙසැම්බර් 07 දිනයේදීය.

ඒ අනුව දේශණ ගොනු කර නඩුව ඇසීමට අවසර දී දින නියම කර ඇතුවා පමණි!
මා මෙය සදහන් කලේ අවසාන නඩු තීන්දුවද ලැබුනාක් මෙන් දකින්නට ඇති අදහස් සාවද්ය බව සදහන් කිරිමට ය.

ඒ මිසක ,,,

අවසාන නඩු තීන්දුවද ලැබුනාක් ප්රජාතන්ත්රවාදය ජයග්රහණය කළා යැයි දක්වමින්, අධිකරණයට ගෞරවය ද පල කරමින් සතුටින් ඉපිලෙන අදහස් වලින් එවැනි අය ගන්නා / ගන්නට පටන් ගෙන ඇති අහිංසක සතුට හෙවත් තේරෙන භාෂාවෙන් කියන්නේ නම් පට්ට ආතල් එක නැති කිරීමට නොවේ 🙂🙂🙂 ...

ආරවුල් විසදා ගැනීමට අතන මෙතන ලතවෙනවාට සහ මාධ්ය නිවේදනය නිකුත් කරමින් ඉන්නවට වඩා කෙලින්ම අධිකරණය ගැන විශ්වාසය තියා පැමිණ පෙත්සම් විභාග කිරීමට අවසර දීමෙන් පසුව ඒ විශ්වාසය දෙගුණ තෙගුණ වී නම් එය අපේද සතුටට හේතුවකි!

එහෙත් ,,,

යම් හෙයකින් මුල් අවස්ථාවේදීම ඔය පෙත්සම් ඉවතට විසිවුනි නම් ඒ ප්රතිචාරයද බලා ගන්නට තිබුනු අවස්තාව වාසනාවට හෝ අවාසනාවට අහිමි විය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීතිමය තත්වය

2018.11.09 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඒ වන විට නෛතික බාධාවක් තිබුණිද ?

මෙහි දී වැදගත් වෙතැයි සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ආ) ව්‍යවස්ථා,19 වන සංශෝධනය යටතේ 70(1), 70 (3) (ii) 62(2), 33(2) - (ඇ), 33(1)(අ), + අර්ථනිරුපණයේ සමස්ථ අවසන් ප්‍රතිඵලය = පාර්ලිමේන්තුව විසිරීයෑම දැයි සොයා බලනු ලැබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය යටතේ අලුතින් හඳුන්වා දී ඇති 33(2) (ඇ) හි දක්වන විශේෂ බලතලයක් / විධිවිධානයක් ( special provision ) ලෙස හඳුන්වා දිය යුතුද ...

ජනාධිපතිවරයාට ජනතාව ඒ වන විට ආණ්ඩුක්‍රම විවස්තාවෙ 3 වන ව්‍යවස්ථාවේ සඳහන් පරමාධිපත්‍යය භාවිතා කර දී තිබූ 4 (ආ) යටතේ භාවිතා කරනා ජනතාවගේ විධායක බලයට ( එයට පාර්ලිමේන්තුව විසිරුවීමේ බලයත් ඇතුලත් ය ) සීමාවක් ගෙනාවේ පාර්ලිමේන්තුවේ 2/3 න් පමණි.

එම කාරණය ව්‍යවස්ථාවකට විශේෂයෙන් දමන්නට ඇත්තේද එනිසාය.

කලකට පෙර, මාගේ මතකය නිවැරදි නම් 2002 දි වාගේ ජනාධිපතිවරයා සතු විධායක බලය පාර්ලිමේන්තුවේ අගමැතිට පවරන්නට සංශෝධනයක් කරන්නට උත්සාහ ගත් අවස්තාවේ අධිකරණය ඉතා නිවැරදිව දක්වා සිටියේ එවැනි සංශෝධනයක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් පමණක් සම්මත කරන්නට නොහැකි බවය. ඒ අනුව එම කාරණය අතහැර නීතියක් සම්මත කරන්නට නොහැකිය. ඒ අනුව ඒ කාරණය පිලිගෙන එය 32 (2) (ඇ) හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කර ඇති බවට හදුනා ගත හැකි නිසාවෙන් එය විශේෂිත අවස්ථාවකදී භාවිතා කළ හැකි විශේෂ විධිවිධානයක් ලෙසින් හඳුනගන්නට හැකි සහ එලෙස කල යුතුද වන මට්ටමේ එකකි.
( සමහරු එය පිළිගන්නේ නැත. එසේනම් කලයුත්තේ අතන මෙතන සදහන් කරන්නනේ නැතිව එවැන්නක් සඳහන් කිරීමට සුදුසු සහ අවශ්‍ය ස්ථානයේ සඳහන් කිරීමය )

19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 33(2) ව්‍යවස්ථාවේ (ඇ) සහ සංශෝධිත 62(2) එක්ව කියවූ කල්හි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඇති සුවිශේෂ හැකියාවක් ගම්‍යමාන වන අතර සංශෝධිත 70(1) සැලකූ කල්හි ඒ බලයට කළ සීමාවක් ලෙසට ප්‍රකාශ කළ හැකි තැන එනම් එය බැහැර කිරීමේ / සීමා කිරීමේ වගන්තියක්ද ( exclusion caluse / limitation clause ) නොඑසේ නම් විශේෂ විධිවිධානයක් ලෙසින් සැලකිය හැකි හැකි / යුතු වන තැනක්ද යන්න සොයා බැලිය යුතුය.

බැහැර කිරීමේ වගන්තියක් යනු පැහැදිලිවම මුලින් දැක්වූ යම් කාරණයක් දෙවනුව දක්වන යම් කාරණයක් නිසා පූර්න ලෙස බැහැර කිරීමකි.
උදාහරණයක් ලෙස "ඔබගේ මෙම කමිසයේ බොත්තමේ පැහැය ඉවත් වුවහොත් එයට අප වගකියන්නේ නැත"
සීමා කිරිමේ වගන්තියක් සැලකූ විටදී උදාහරණයක් ලෙස "ඔබගේ මේ කමිසයේ බොත්තමේ පැහැය ඉවත් වුවහොත් එයට අප ගෙවන්නේ පවුම් 10ක් පමණි. වගකීම සීමා සීමාකරන / බැහැර කරන අවස්ථාවන්ට උදාහරණ අප ආන්ඩුක්‍රම විවස්ථාවේ ඇත.

75 ව්‍යවස්ථාව අනුව නීති සම්පාදන බලය දක්වා ඇතත් එය එම ව්‍යවස්ථාවෙන් ම සීමා කර ඇත. 140 ව්‍යවස්ථාව අනුව රිට් අධිකරණ බලය ලබා දී ඇත. එහෙත් එය ක්‍රියාත්මක කළ යුත්තේ "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත්ව" සහ "නීතියට අනුව" ය. 80(3), 67 ව්‍යවස්ථාවන් තවත් උදාහරණයන්ය.
මෙහිදී සාකච්ඡාවට බඳුන් වන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා ලබාදී ඇති බලය, සහ එය සීමා කර ඇති බවට පෙනී යන 70(1) ව්‍යවස්ථාව සැලකූ කල එය පෙරදී සඳහන් කල ව්‍යවස්ථාවක් යටතේ දී ඇති බලයක් "සීමා කල ව්‍යවස්ථාවක් ද, නොඑසේ නම් එකම කාරණය සම්බන්ධ විශේෂ විධිවිධානයක් සහ සාමාන්‍ය විධිවිධානයක් ද යන ගැටළුව මතු වෙයි.

33(2) (ඇ) ව්‍යවස්ථාව 62(2) ව්‍යවස්ථාවත් සමග ( එහි සඳහන් වන්නේ පාර්ලිමේන්තුවේ ධුර කාලය වන වසර පහකට පෙර එය විසුරුවා හැරිය හැකි බවයි ) එකට කියවීමෙදී 70(1) ව්‍යවස්ථාව යනු 33 (2) (ඇ) සහ 62 (2) මගින් ප්‍රධානය කර ඇති පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය සිමා කරනා ව්‍යවස්ථාවක් ලෙස නොව සාමාන්‍ය අවස්ථාවේ භාවිතා වන සාමාන්‍ය විධිවිධානයක් ලෙසින් හදුන ගන්නට හැකි එකකි.

ඒ අනුව genaralia specialibus non derogent කියන මූලධර්මය අදාල කළහොත් අර්ථනිරූපණය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නීතියෙන් ඉඩ ඇතැයි කිව හැකිය.

19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපති වරයාගේ බලතල සීමා කිරීමක් අපේක්ෂා කර ඇති බව සැබෑ මුත් එසේ නම් ඒ කවර බලතල දැයි නිශ්චිතව අදාළ සෑම ස්ථානයන් හිදිම සඳහන් කර තිබිය යුතුය.

අර්ථනිරුපණයේදී භාවිතා වන නීති මුල්ධර්මයක් සැලකීමේදී

"ලේඛනයක් අර්ථ විවරණය කළ යුත්තේ එහි චේතනාව ක්‍රියාත්මක වන අතර මිස ක්‍රියාත්මක නොවන අතට නොවේ"

ඒ අනුව 33(2) (ඇ) ,62(2) සහ අවුරුදු හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය යන්න ඇතුලත 70(1) පවා එහෙම පිටින්ම බැහර කල නොහැකිය. එනම් එය බලරහිත යැයි කිව නොහැකිය. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 (අ) අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එහි යම් කොටසක ක්‍රියාකාරීත්වය අත්හිටුවන නීතියක් පැනවීමට පාර්ලිමේන්තුවටද නොහැකි බව ප්‍රකාශිතව පැහැදිලිවම දක්වා ඇති නිසා ය.

70 (3) (ii) ව්‍යවස්ථාව අනුව වාර අවසාන කර ඇති පාර්ලිමේන්තුවක් විසිරුවා හැරිය හැකිය. මෙහිදී සිදුව ඇත්තේ එයයි. එය ඉහතින් දැක්වූ පරිදි ව්‍යවස්තානුකුලව සිදු කලේ නම් එය නිත්යානුකුලය.
33(1) (අ) අනූව ජනාධිපතිවරයා විසින් ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාව අනුගමනය කර / ආරක්ෂා කිරීමටත් වගකීමෙන් බැදේ. එහිදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන ඇති සංවරණ තුලන පාලන ක්‍රමය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව ද ඇත. යම් අවස්ථාවක විධායකය විසින් ව්‍යවස්ථාදායකය කෙරේ සංවරණ තුලන පාලන ක්‍රමය යටතේ බලය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නම් එය එසේ කළ යුතුද වේ. එයට බලය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 ( ආ ) හි ඇත.

ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධව හේතු දැක්විය යුතු යැයි ව්‍යවස්ථාවේ සඳහන් සඳහන්ව නැතත් ව්‍යවස්ථාවේ ප්‍රකාශිතව සදහන් ලෙසින් හෝ අර්ථ නිරුපණය යටතේ හෝ ක්‍රියාත්මක වුයේ නම් සහ එසේ ක්‍රියාත්මක වීමට යුක්තිමත් හේතු / හේතුවක් ද තිබුණේ නම් එය පරිපාලන නීතිය යටතේ පවා අභියෝග කරන්නට නොහැකි වනු ඇත.

එසේම පාර්ලිමේන්තුව විසිරවීම සම්බන්ධ 70(1) ව්‍යවස්ථාව රීතිය ලෙස සැලකිය යුතුම බව කියන්නේ නම් 32(2) ඊට ඇති ව්‍යාතිරේකයක් ලෙසත් හදුනා ගැනීමටද හැකි තැන ඇත.

මෙහිදී පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව 33(2) (ඇ), 62(2), 70(1), 70(3)(ii) හි දක්වා ඇත. 33(2) (ඇ) සහ 62(2), 70(3) (ii) මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට බලය දී ඇති අතර සීමාවක් ලෙස සටහන් වන්නේ 70(1) පමණි.

ඒ අනුව එම විධිවිධානය රීතියක් වශයෙන් සැලකිය යුතුද නැතිද යන අවිනිශ්චිත තත්වයක් ද මතු වේ.
කෙසේ නමුත් "නීතිය ලේඛනවල අර්ථ විග්‍රහ කරන්නේ අයුක්තියක් සිදු නොවන ලෙසට ය" වන නිසාවෙන් ව්‍යවස්ථා අර්ථ නිරූපණය හරහා වංචාවක් අසාධාරණයක් ඔහු වෙනත් වරදක් සිදු වන ලෙසින් අර්ථ නොදැක්වීමට වගබලාගත යුතු බව දක්වයි. ඒ අනුව සැලකුවද 70(1) අතහැර අර්ථ නිරූපණයක් ගත යුතු නැත.

කෙසේ නමුත් එය සැලකීමට ලක් කල පසුවද පෙර දැක්වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නීතියෙන් ඉඩ ඇතැයි කිව හැකිය යන තත්වයේ වෙනසක් සිදු නොවේ.

ඒ අනුව සලකා බහුතරය ලැබුණා නැතා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව මේ වසර තුළදීම විසුරුවා හැරීමේ ව්‍යවස්ථානුකූල වරදක් ඇතැයි කිව නොහැකි තැන ඇත.
ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන යම් ආකාරයෙකින් රටේ ආරක්ෂාවට / ස්ථාවරත්වයට යම් තර්ජනයක් වන්නේ නම් එය වැළැක්වීම පිණිස ජනතාවගේ ඡන්දයෙන් පත්වන ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන ජනාධිපතිවරයා විසින් ඒ වැලැක්වීමට අවශ්‍ය පියවර ද ව්‍යවස්ථානුකූලව ගත යුතු ව ඇත. එම කාරණය ද මෙවැනි තැනක දී බැහැර කළ නොහැකි වැදගත්කමක් දරන සාධකයකි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4(ආ) ව්‍යවස්ථා,19 වන සංශෝධනය යටතේ 70(1), 70 (3) (ii) 62(2), 33(2) - (ඇ), 33(1)(අ), + අර්ථනිරුපණයේ සමස්ථ අවසන් ප්‍රතිඵලය වශයෙන් 2018.11.09 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ඒ වන විට නෛතික බාධාවක් නොතිබුණු අතර ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිම නිත්යානුකුලය !!!
(ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දිය හැකි අන්‍යාකාර අර්ථදැක්වීමට පමණක් යටත්ය)

අලුතින් පත්වන පාර්ලිමේන්තුවක් සැලකූ කල්හි එය අද පත්වී හෙට විසුරුවා හැරීමක් ප්‍රායෝගිකව සිදු වන තැන නැත. ඒ අනුව වසර කීපයකට පෙර පත්කරන ලද හරිහමන් බහුතර බලයක් එකතු පක්ෂයකට හෝ නොලැබුණු, පක්ෂ කීපයක් සංධානගතව ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කර ගන්නා ලද ඒ පාර්ලිමේන්තුව ඊයේ විසුරුවා හැරියා කියා එය පාර්ලිමේන්තුවක් විසුරවීම සම්බන්ධව නරක පූර්වාදර්ශයක් වන්නේ ද නැත.
Ubi jus ibi remedium නීති මූලධර්මය අනුව කඩ වූයේ නෛතික අයිතියක් නම් නෛතික පිලියමක් ලබා ගත හැකිය.

"ඔප්පු කිරීමේ භාරය ඇත්තේ යම් කරුණක / සංසිද්ධියක පැවැත්ම කියා සිටින අය මතයි"

ඒ අනුව නව අගමැතිවරයකු පත් කිරීම සම්බන්ධව මීට පෙර දී ඇතැම් අය හට මතුවුණු විසඳිය යුතු ප්‍රශ්න වලදී (issues) වාගේම මෙහිදී පාර්ලිමේන්තුව විසුරවීම සම්බන්ධව ද එවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නම් කළ යුත්තේ හැකි නම් නිසි ස්ථානයට (correct forum) ගොස් ඒ කාරණා මතු කිරීම ය.

නව අගමැතිවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව විවිධ මත ඇත්තේ මන්ද

නව අගමැතිවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව සමාජය සහ විශේෂයෙන් නීතිඥවරුන් අතර ඇති මතවද විවිධත්වය දකින ඇතැමුන්ගේ ඒ සම්බන්ධ විමසීම වන්නේ එලෙස අර්ථ අර්ථ දක්වද්දි නීතියට යන කලදසාව කුමක්ද කියාය.

එක් එක් අය වගන්තියක් අර්ථ දක්වන ආකාරය වෙනස් විය හැක. එය එකම ආකාරයෙන් විය යුතුය කියා නියමයක්ද නැත. එහෙත් බොහෝ දුරට එකම අදහස අවසන් ප්‍රතිඵලය ලෙස මතුවිය හැක. එසේ නොවිය හැක.

නීතිය සම්බන්ද කොට මතයක් ප්‍රකාශ කිරීමේදී ඒ ඒ අයගේ නීතිය සම්බන්ධ දැනුම සහ අත්දැකීම් වල ප්‍රමාණය මත ද එකම කාරණයක් සම්බන්ධව විවිධ මත ඇතිවන්නට බොහෝ ඉඩ ඇත. එසේම යම් වගන්තියක් හෝ විවස්තාවක් ඉතා පැහැදිලි නොවෙන අවස්ථාවක ඒ සම්බන්ධ විවිධ මත මතු වීම ස්වභාවිකය.

ඒ කෙසේ නමුත් මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති මූලික අයිතිවාසිකමක් වේ. ඒ මතය නීතියෙන් තහනම් කර ඇති හෝ තහනම් කළ හැකි සීමාවේ නොවේ නම් අවශ්‍ය වන්නේ එච්චරය. ඒ අනුව එම සිමාවේ තමා සිටී නම් මත වල විවිධත්වය ගැටලුවක් කරගත යුතු නැති කාරණයකි.

ඇත්ත වශයෙන්ම මතවල විවිධත්වයක් නොතිබෙන්නේ නම්, එනම් සියලු දෙනාම එකම ආකාරයෙන් යම් කරුණක් දකින්නේ නම්, විග්‍රහ කරන්නේ නම් නීති සාහිත්‍යය ද දියුණු වීමක් ද සිදු නො වනු ඇති සේම සේවාදායකයින්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ දී ද ගැටලු මතුවන්නට ඉඩ ඇත. එහිදී විවිධ පුද්ගලයන් විසින් විවිධ කෝණවලින්, තම දැනුම අවබෝධය අත්දැකීම් මත ප්‍රකාශ කරන මත වැදගත්කම ඉස්මතු වේ.
යම් ආරවුලක පැමිණිලි පාර්ශවය සහ විත්ති පාර්ශ්වය කරුණු ඉදිරිපත් කරන්නේ එක හා සමාන ආකාරයෙන් නොවේ. නමුත් එමගින් නීතියට කිසිදු කිසිඳු හානියක් සිදු නොවේ. සිදුවන්නේ ඒ ඒ පාර්ශ්වයන් විසින් නීතිය මුසු කොට ඉදිරිපත් කරන කරුණු ඇසුරින් අධිකරණයෙන් තීන්දුවක් ලැබීම ය.

එහිදී ඇතැම්විට නීතියේ සංවර්ධනයක් විය හැක. එතෙක් තිබුණු අපැහැදිලි තැනක් පැහැදිලිව දක්වනවා විය හැක. ඒ මිසක පවත්නා නීතියකට හානිවීමක් එමගින් සිදු වෙතැයි කිව නොහැකිය.

නමුත් පවත්නා යහපත් නීතියකට නිසැක වශයෙන් ම හානියක් සිදුවිය හැකි අවස්ථාවක් නම් ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අනිසි අත පෙවීමට ලක්වීමෙනි. ව්‍යවස්ථාදායකය, නීති සම්පාදනය කරන ස්ථානය හෙවත් පාර්ලිමේන්තුවට කවර පක්ෂයකින් උවත් යවන පුද්ගලයින් සම්බන්ධව දැඩි ලෙස ජනතාව සුපරීක්ෂාකාරී විය යුත්තේ එබැවිනි.

පාර්ලිමේන්තුව විසුරුවා හරිම සහ ජනතා මතයට ඉඩ ලැබීම

පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධව ඇතැමුන් විවිධ කතා කියති. ආණ්ඩුවේ බහුතරය පෙන්වා ගැනීමට නොහැකි වූ නිසා මෙම තීරණය ගත් බව දකින්නට ඇති ප්‍රධානම කතාවකි.

ඒ කතාවේ සත්‍යතාවයක් තිබුනා නැතා බහුතරය ඇතිද නැතිද යන්න පෙන් විය යුත්තේ නම් පාර්ලිමේන්තුවෙන් පිටත එක එක තැන්වල දී නම් නොව පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳ විවාදයක් ඇති වූ / විමසීමක් සිදුකරන අවස්ථාවේදී ය.

ඒ කෙසේ නමුත් ඇතැමුන් මන්තරයක් මෙන් නිතර මතුරන ප්‍රජාතන්ත්‍රවාදය යන්නට හොඳම අවස්ථාව මේ වන විට ආණ්ඩුව විසින් උදාකර දී ඇත. එනම් මහජන මතය විමසා බලන්නට අවස්ථාව උදා කර දී ඇත.
දකින්නට ඇති ඇතැම් හරසුන් / පදනම් විරහිත මට්ටමේ විරෝධතා සැලකූ කල පෙනී යන්නේ ඇතැමුන් මහ මැතිවරණයකදී ජනතාව ඉදිරියට යාමට ඇති අසීමිත බිය යි.

එසේ වන්නේ මන් ද ...

පාර්ලිමේන්තුව තුළ නියෝජනය විය යුත්තේ පරමාධිපත්‍යය දරන ජනතාවගේ මහජන මතය යි. කලින් කලට මැතිවරණ පවත්වන්නේ / පැවැත්විය යුත්තේ ද එබැවිනි.

එලෙස කලින් කලට මැතිවරණ පැවැත්වීමේ දී / එයට අවශ්‍ය පියවර ගැනීමේ දී කිසිවෙකු පදනම් විරහිත ලෙස විරෝධය පළකරන්නේ නම් හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදය අගයන තැනැත්තෙකු ලෙසින් හැඳින්විය නොහැකි තැනට නිතැතින් ම පත්වෙයි.

ඇතැමුන් ඔය කියනා පරිදි පාර්ලිමේන්තුව තුළ තුල බහුතරය පෙන්වීමට නොහැකි නම් ආණ්ඩු වෙනසක් ජනාධිපතිවරයා විසින් සිදුකරන්නට පියවර නොගන්නට තිබුණි.
ඔය කියන බහුතර බලයටත් වඩා වැදගත් කාරණයක් වන පිරිසිදු පැහැදිලි ජනමතයක් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කරගැනීම පිරිස පවත්වන මහ මැතිවරණයක් පිළිබඳ ඉඟියක් නව ආණ්ඩුවෙන් ජනතාවට ලබාදී තිබුණි.

ඒ අනුව එයට අවශ්‍ය පියවර ආණ්ඩුවෙන් ගත්තා විය යුතු ය.

ඒ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදය අගයන කවුරුත් සතුටු විය යුතු නොවේ ද ... සතුටු විය යුතුය.
එනයින්ම නව ආණ්ඩුව බලයට කෑදර ආණ්ඩුවක් නොවන බවත් ජනතා මතය විමසා බලා ඒ අනුව කටයුතු කරන්නට මනාප ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුවක් බවද ඔප්පු කර හමාරය.

දැන් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන කවුරුත් ඒ වෙනුවෙන් පෙළ ගැසීමය!

තමන්ට මේ ආණ්ඩුවෙන් කිසියම් අකටයුත්තක් වූවා යැයි සිතන්නේ නම් සහ එයට එරෙහිව කිසියම් වූ හේතුවක් මත අධිකරණයට යාමට ද නොහැකි / අකමැති තැන ඇතිනම් ඒ වෙනුවට පරමාධිපත්‍යය බලය දරන ජනතාව ඉදිරියට ගොස් ( "ජනතා අධිකරණය ඉදිරියට ගොස්" ලෙසින් කීමේ වරදක්ද නැත ) තමන් ගේ දුක කියා ජනතා තීන්දුව ලබා ගැනීමට උත්සාහ කල යුතුව ඇත.

උසාවි යන නීතිඥවරයා සැලකිලිමත් විය යුතු ඇතැම් කරුණු

එක ජුනියර් නෝනා කෙනෙක් නඩුවක් වෙලාවට උසාවියට ඉදිරිපත් කර ගන්නට බැරිවු නිසා / බාරගත්තේ නෑ කියා හැඩූ කතාවක් ආරංචි විය.
අවසාන මොහොත තෙක් නොසිට කල් තියා සියලු ලේඛන සකස් කර අවසන් කර ගත යුතුය. ඒවා නිවරදි දැයි නිකමට හෝ පෙරළා බලන්නටත් යම් කාලයක් තියා ගැනීම ඇඟට ගුණ ය ...
එයද ප්‍රමාණවත් නැත ...
ඒ ඒ අදාල තැනට කල්තියා යා යුතුය.
ඒ ප්‍රධානම කාරණා දෙකකි.
අනෙක් අතට එවැනි කාර්යයක් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු විසින් තව අයෙකුට පවරන්නේ නම් එය එයාකාරයෙන්ම කරගත හැකි අයකු ට සහ ඒ සඳහා කල් කල්වේලා ඇතිව භාරදිය යුතුද වේ.
හැකියාව තිබුණ ද කාලය යන්න ඉතා තීරණාත්මක සාධකයකි. ඒ අනුව එය තනිව අවසන් කර ගන්නට බැරි මට්ටමේ එකක් නම් තවත් අයෙකුගේ හෝ කීප දෙනෙකුගේ හෝ සහාය අමතර ගාස්තුවට යටත් කොට හෝ ලබා දිය යුතු ය.
ලේඛන සියල්ල ද රැගෙන එතනට යන අය අතේ තනිකරම / සැබැවින්ම වරදක් තිබුනා නැතා නිතියක් අනුව යම් හේතු දැක්වීමකින් පසුව එවැනි ලේඛන බාර ගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළහොත් සහ යම් හෙයකින් එසේ වූයේ එම ලේඛන ඉදිරිපත් කළ යුතුව තිබුණු අවසාන දිනයේ දී නම් සිදුවනු ඇත්තේ කුමක්ද ???
නීතිඥවරයෙකුට නඩුවක් භාර දුන් සේවාදායකයා අත වරදක් නො තිබෙද්දී ඔහුගේ හෝ ඇයගේ නෛතික අයිතියකට පහර වැදීම නොවේ ද ???
ඒ අනුව එවැනි දෑ සිදු වීම වලක්වා ගැනීමට සිය උපරිමම ශක්ති ප්‍රමාණයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමට විරෝධතා

මහින්ද රාජපක්ෂ මහතාව 2015.01.08 දින ජනතාව ගෙදර යැවූ බවත් ඒ අනුව එවැනි අයකු අගමැති තනතුරට පත් කිරීම ගැනද නොකමැත්තක් ඇතැමුන්ගේ වේ.

ගෙදර යැවීම කලේ පොතට අනුව ය!!!

 එය වුයේ වාර දෙකේ සිමාව ඉවත් කිරීම නිසා ඇතැමුන් කියූ ඒකාධිපති 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මකව තිබුණු තත්වය යටතේ ය ...
( ඒකාධිපති කතාව එනයින්ම පුස්සක් විය )

 මහින්ද රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ජනතාව විසින් නැවත පාර්ලිමේන්තුවට ඔසවා තබන ලදී ...

ඒ කලේද පොතට අනුවය !!!

ජනතා මනාපය අනුවය !!!

පසුගියදා පැවති පලාත් පාලන මැතිවරණයේදී පොහොට්ටුව නියෝජනය කල එතුමාට ලැබුණු ජනමතය අනුව එතුමාගේ ජනතා පිළිගනිම තව දුරටත් තහවුරු විය.

"නීතියට අනුව" පුරප්පාඩු වූ අගමැතිධුරයට ජනපතිතුමන් විසින් එවන් ජනමතයක් තිබුණු සහ නීතිමය අවශ්‍යතාවය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ මහින්ද රාජපක්ෂ මහතාව පත් කරනු ලැබිය.

ඒ කලේද පොතට අනුවය !!!

ඒ අනුව පහුගිය කතා වැඩක් නැත්තේ ය !!!

මුලින් කි අකමැත්තේ ද අල්පමාත්‍රයක නෛතික වටිනාකමක් නැත්තේය !!!

අගමැතිධුරය පුරප්පාඩු වීම සහ එය පිරවීම

අගමැතිධුරය පුරප්පාඩු වීම සහ එය පිරවීම:
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අගමැතිධුරය යම් හේතුවක් මත පුරප්පාඩු වූ විටකදී
එනම් ,,, 46 (2) අනුව
අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන්,
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීමෙන්,
හා විශේෂයෙන් සදහන් කිරීම අවශ්‍යද නැති "මියයාම" මගින් ,,,
හෝ
අමාත්‍ය මණ්ඩලය විසිරිමේදී එම ධුරයට නැවත පත්කිරීමක් කල හැකිය.
අමාත්‍ය මණ්ඩලය විසිරි යන අයුරු 48 ව්‍යවස්ථාවේ දක්වයි.
48 (1) අග්‍රාමාත්‍යවරයාව ,,,
- ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්
- ඉල්ලා අස් වීමෙන් හෝ
- අන්‍යාකාරයකින් හෝ අගමැතිවරයා ධුරය දැරීම නතර වූ විට
අමාත්‍ය මන්ඩලය විසිරෙන බව දක්වා ඇත.
48 (2) අනුව
- පාර්ලිමේන්තුව විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීම කලේ නම්,
- විසර්ජන පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කලේ නම්,
- ආණ්ඩුව කෙරේ විශ්වාශභංග යෝජනාවක් සම්මත කල විටදී
අමාත්‍ය මන්ඩලය විසිරෙන බව දක්වා ඇත.
ඒ අනුව අගමැතිවරයා තමන් විසින්ම ධුරය හිස් කලේ නම් සහ / හෝ අමාත්‍ය මණ්ඩලය විසිරිමේදී ධුරය හිස් කරනු ලබයි.
එවැනි අවස්ථාවකදී ජනාධිපතිවරයා විසින් නැවත අගමැතිවරයෙකු පත් කල හැකිය.
අප දන්නා පරිද්දෙන් හිටපු අගමැතිවරයා ඉල්ලා අස් වී හෝ තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවෙන තත්වයට පත්ව නැත.
ඒ අනුව වෙනත් හේතුවකින් ධුරය හිස් කලේද සොයා බැලිය යුතුය.
48 (1) හි දක්වා ඇති පරිදි "ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන්" ද අගමැතිධුරය හිස් වේ. පෙර පැවති අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබු හැකියාව 46 (2) යටතේ සෑහෙන දුරට සිමා කර ඇති බව සැබෑ මුත් එම හැකියාව සම්පුර්ණයෙන්ම ඉවත් කර ඇතැයි කිව නොහැක්කේ ජනාධිපතිවරයාගේ බලතල සිමා කරන්නට ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුයේ පාර්ලිමේන්තුවේ 2/3 න් පමනක් වන නිසා ඒ වන විටද ජනතාව විසින් ජනාධිපතිවරයාට ප්‍රධානය කල එම අගමැතිවරයා පත්කිරීමේ අභිමතය ජනතාව විසින්ම සිමා නොකළ තැන තවම ඇති නිසාය. එනම් එයට ජනමතයක් ජනතාව ලබා දී නැත. ඒ අනුව සහ එපමණක්ද නොව පාර්ලිමේන්තුවේ 2/3 න් පමනක් කල හැකි සංශෝධනයකදී පවා විශේෂයෙන් ප්‍රකාශිතව දක්වා පෙර තිබුණු බලතල සිමා කර නැත්නම් ඒ බලතල අහෝසි වී ඇතැයි නොසලකයි. එසේම අර්ථනිරුපන ආඥා පනතේ 14 (f) අනුව අගමැතිවරයාව ධුරයෙන් ඉවත් කලද එහි 19 වන සංශෝධනයෙන් ආවරණය වන ව්‍යවස්තානුකුලව වරදක් ඇතැයි කිව නොහැකි ය.
කෙසේ නමුත් ඒ කාරණය සම්පුර්නයෙන්ම වුව පසෙකින් තැබුවද ,,,

 46 (2) අනුව යම් හේතුවකින් අමාත්‍ය මණ්ඩලයේ ව්‍යවස්ථානුකූලව පැවතීම යම් මොහොතක නැවතිමක් වුවා නම් ඒ මතම අගමැතිවරයා ධුරය දැරීමද නතර වේ. එය 48 (1) හෝ දක්වා ඇති "අන්‍යාකාරයකින් හෝ අගමැතිවරයා ධුරය දැරීම නතර වූ විට" යන්නට ඇතුලත් කල හැකි තැන ඇත.
එවැන්නක් සිදුව තිබේද?

එසේ නම් එය 46 (1) අනුව සිදුවිය හැකිද ? ( මෙය අගමැතිවරයාගේ පත්කිරීම නිත්‍යානුකුල නැතැයි කියනා මතයේ සිටිනා අය එක්කෝ නොදැන හෝ නැත්නම් දැන දැනම සගවන / සදහන් නොකරන කාරණයයි )

සිදුවිය හැකිය!

ඒ කෙසේද යත් ,,,
46 (5) හි දක්වා ඇති "ජාතික ආණ්ඩුව" ක පැවැත්ම යන තත්වයේ වෙනසක් වුවහොත්
( එසේ වෙනසක් විය නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් විය, ඒ අනුව ජාතික ආණ්ඩුවට තිබු පාර්ලිමේන්තු බහුතරයද අහිමි විය. වුයේ එය පමණක් නම් අගමැතිධුරය හිස් වීමක් නොවේ )
සහ ඒ නිසාවෙන් ඒ වන විට අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරුන් ගණන 30 ඉක්මවන අවස්ථාවක, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවෙන අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ගණනේ එකතුව 40 ඉක්මවන්නේ නම් ,,, ( එයද එසේ වී තිබුණි )

 එනයින්ම 46 (1) අවශ්‍යතාවය අභිහවා / ඉක්මවා යන බැවින් ( තවත් පැහැදිලි කරගැනීමට අවැසි නම් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 46 (1) ව්‍යවස්ථාව කියවා බලන්න ) එවැනි අමාත්‍ය මණ්ඩලයක පැවැත්ම පරිපාලන නීතියේ එන බලාත්රික්රමණය ( ultra vires ) යන සංකල්පය අනුව නීතියට අනුව බල රහිත වන තැනට පත්වේ.

ඒ අනුව

46 (2) හි දක්වන ලෙසින් "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව අමාත්‍ය මණ්ඩලය යම් තාක් කල් පැවතින්නේද ඒ තාක් කල් ස්වකිය ධුරය දරන්නේය" යන්න අනුව අමාත්‍ය මණ්ඩලයේ පැවැත්ම නැතිව යෑමේන් අගමැතිධුරය හිස් වේ.

ඒ අනුව 48 (1) පරිදි "අන්‍යාකාරයෙන් අගමැතිවරයා ධුරය දැරීම නතර වීම" යන්න මත නව අගමැතිවරයෙකු පත් කරන්නට 42 (4) යටතේ අවස්තාව උදා වේ. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ අදහස් විමසීම ඇවසි යැයි සිතන අවස්තාවලදී 43 (1), (2) යටතේ පත් කරනා ලද අමාත්‍ය මණ්ඩලය 43 (3) යටතේ දක්වන පරිද්දෙන් "වෙනස් කිරීම" සහ "සංයුතිය වෙනස් කල හැක්කේය" යන්න තුල "අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බලපාන්නේ නැත" යන්න සදහන් කිරීම තුල එවැනි වෙනසකින් අගමැතිධුරයට බලපෑමක් ඇතිවන බව දැක්විය නොහැකි තැන ඇත.

 මේ සියලු කරුණු සලකා බැලු කල්හි 46(2) සීමාවන්ට යටත්ව 46 (2) ව්‍යවස්ථාව, 46(4), 46 (1), 48 (1) සහ 42 (4) ව්‍යවස්ථාව සහ අර්ථ නිරූපණ ආඥා පනතේ 14f සැලකු කල්හි ඒ අවශ්‍යතා තෘප්ත කරනා කල්හි

එමගින්,

අගමැතිධුරය ව්‍යවස්ථාවට අනුව හිස් වන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා තීරණය කොට එම තැනැත්තාව නව අගමතිවරයකු ලෙස පත් කල හැකිය.
ඒ 42 (4) යටතේ ය.

42 (4) ව්‍යවස්ථාව අනුව,
ජනාධිපතිවරයාගේ "මතය" අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙසින් පත් කල යුත්තේ ය.

එහිදී ජනාධිපතිවරයාගේ "මතය" අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති කෙනා අදහස් වන බවක් පෙනේ. එහෙත් ඒ තීරණය ඕනෑ මනාපයටම ගත හැකි බවක් ද ඉන් අදහස් නොවේ. පරිපාලන නීතියද සැලකු කල්හි ඒ තීරණය යුක්ති සහගත එකක් නම් ( reasonable decision ) / පරිපාලන නිතිය යටතේ අභියෝග කල හැකි පදනමකට හසු නොවේ නම් එය ප්‍රමාණවත් ලෙස සැලකේ.

එය ගැනීමේදී පාර්ලිමෙන්තුවේ මතය විමසා සිටීමට නෛතිකව බැදීමක් ද නැත. එසේම ඒ සම්බන්ධව කථානායකවරයාගේ හෝ වෙනත් පාර්ශවකගේ ඉල්ලීමකට සවන් දෙන්නට / මතයක් විමසන්නට නෛතික බැදීමක් ද ජනාධිපතිවරයාට නැත.

ඒ පත් කිරීමට අවශ්‍ය වන්නේ ඉහත දැක්වූ කවරාකාරයකින් හෝ අගමැතිධුරය හිස් වීමක් පමණි.
ඒ අනුව සිදුව ඇත්තේ අග්‍රාමාත්‍ය ධුරය හිස්වීමක් නිසාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (4) අනුව නව අගමැතිවරයෙකු පත් කිරීමකි. එය සිදු කරන්නේ නීතියට අනුව අගමැතිධුරය හිස්විමකින් පසුව වන නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නිත්යානුකුලය !!!

 ( සැ යු: ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මේ කරුණට අදාලව දිය හැකි අර්ථ නිරුපනයකට පමණක් යටත්ව )

පාර්ලිමේන්තුව සම්බන්ධව දැනට වඩා සංවරණය හා තුලනය අවශ්‍යය

01. කාන්තා නියෝජනය වැඩි කිරීමේ නමින් ගෙනවිත් පළාත් සභා ඡන්ද විමසීම් පනතට පසුගිය ආණ්ඩුවෙන් මැතිවරණ කල් යෑම ප්‍රථිපලය වන ලෙසින් කළා වූ සංශෝධනය සැලකු කල්හි ,,,

සහ

02. පාර්ලිමේන්තුවෙන් අගමැතිවරයාට එරෙහිව ගෙන ආවා යැයි කියනා විශ්වාසභංගය ගෙන ඒමේදී පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය සැලකු කල්හි පාර්ලිමේන්තුව ස්ථාවර නියෝග වලට මුවා වී හෝ එසේ නැතිව ක්‍රියාත්මක වීම සැලකු කල්හි ,,,

පාර්ලිමේන්තුව සම්බන්ධව විධායකය සහ ඊටත් වඩා අධිකරණය විසින් දැනට වඩා සංවරණය හා තුලනය පවත්වා ගැනීම වැදගත් තැනට පැමිණ ඇති ආකාරයකි !!!

ඒ මන්ද යත්
පාර්ලිමේන්තුව දැනට වඩා ජනතාවට වග කිව යුතු ආයතනයක් කල යුතුව ඇති බව පෙනෙන්නට ඇති නිසාත්...

මැතිවරණයකින් මෙහා ඒ පිළිබද පාලනයක් කිරීමට ඇති අවකාශය පුළුල් කල යුතුව ඇති නිසාත්ය ...

අනතුරක් වූ විටදී ...

උදව්වක් බලාපොරොත්තුවෙන් පෝස්ට් එකක් දැම්මේ වරදක් නැත.

මන්ද යත් එමගින් තවත් අයද දැනුවත්ව යම් උපකාරයක් කිරීමට හැකි අයකු හෝ සිටී නම් එය ප්රයෝජනවත් වනු ඇති නිසාවෙනි.

කෙසේ නමුත් අනතුරකදී අනතුරට පත්වූ අය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් ම උදව් පිණිස ඉදිරිපත් වන සාපේක්ෂව අඩුය. එයට ප්රධාන හේතුව නම් අනවශ්ය ප්රශ්නයක පැටලෙනු ඇතැයි යන සාධාරණ හේතුව නිසාය.

නමුත් ඒ ආකාරයට සෑම දෙනාම සිතන්නට ගියහොත් ... 🤔🤔 ...

සිදුවන්නටම ඇති දෙයක් නම් වළක්වන්නට ද නොහැකි වනු ඇත.

එසේ වුවද අනතුරකදී කළ යුතු හොඳම දේ නම් එම අනතුර දුටු හෝ ළඟ සිටින කීප දෙනෙක් හෝ එකතුවී අනතුරට ලක් වූ අයව හැකිතාක් ආරක්ෂිතව සහ හැකි ඉක්මනින් ළඟම පිහිටි රෝහල වෙත රැගෙන යාම

නිරික්ෂණයට ලක් විය යුතු 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයෙන් අගමැතිධුරය, ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව පෙර තිබුණාට වඩා ශක්තිමත් කර ඇත.

ධුරයන්ට පත් කිරීමේදී සහ පුරප්පාඩු කිරීමේදී බලාපොරොත්තු වන යහපත් අභිලාෂයන් ඉටු වන්නේ නම් සහ අනවශ්‍ය ප්‍රමාදයක් / වෙනත් ව්‍යවස්තානුකුල ගැටළුවක් මතු නොවන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට වීපක්ෂ වන්නට යුක්තිමත් හේතුවක් නැත.

එසේම ජනාධිපතිවරයා අයත් නොවෙන පක්ෂයෙන් / සන්ධානයෙන්ම පාර්ලිමේන්තුවේ බලය ලැබී නැති විටකදී ජනාධිපතිවරයා සිය ව්‍යව්ස්තානුකුල බලය වුව පාලනයකින් තොරව පාර්ලිමේන්තුවට එරෙහිව භාවිතා කිරීමේ හැකියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයයෙන් සිමා කර ඇත.

එහෙත් එය දක්වා ඇති ආකාරය සමබරද යන ප්‍රශ්නය ඇතත් අදහස නම් යහපත් ය.

නමුත් ජනපතිවරයෙකු ධුර දරණ වාර ගණන සිමා කිරීම සැලකු කල්හි එලෙස සිමා නොකළ බලය ජනතාව අතම තිබිමේ ප්‍රායෝගික ගැටළුවක් මතු නොවේ නම් ජනපතිවරයෙකු ධුර දරණ වාර ගණන සිමා කිරීමේ නෛතික තාර්කික පදනමක් ඇතැයි කිව නොහැකිය.

එසේම ඇතැම් අවස්ථාවලදී අර්ථනිරුපනය පිළිබද ගැටළු ඇති විය හැකි තැන් ඇති බව පෙනී යයි.
උදා: අගමැතිධුරය හිස් වීම සහ නැවත පත් කිරීම, ජනාධිපතිවරයාට වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට හැකියාව තිබේද
 
ගැටලුවක් මතු වූ කල උසාවිය මගින් එයට අවසන් අර්ථ නිරූපණයක් ගැනීමේ කිසිදු වරදක් නැත. අවශ්‍ය අවස්ථාවල එසේ කළ යුතුද වේ.

එසෙම ඊට පෙර අදාළ ව්‍යවස්ථා වගන්ති සාකච්ඡා කිරීමේ වරදක් ද නැත. අවශ්‍ය අවස්ථා වල එය ද කළ යුතුය.

එහෙත් ප්‍රශ්නයක් ආ කල ඉහත සාමාන්‍යයෙන් සාකච්ඡා කොට සරලව විසඳා ගන්නට හැකි එනම් උසාවි ගානේ රස්තියාදු නොවී නිරාකරණය කර ගන්නට යොමු නොවෙන තැනට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දැනට වඩා පැහැදිලිව / නිශ්චිතව සාදා තියෙන්නට තිබුණි.

ඔය මතුවූයේ ගැටළු සහගත තැන දෙකක් පමණක් විය හැක.

ඒ අනුව තවත් එවැනි තැන් තිබේ ද යන්න පූර්ණ නිරීක්ෂණයකට ලක්කර අනවශ්‍ය මට්ටමේ ගැටුම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා නැවත ඇති නොවන්නට වගබලා ගන්නා තැනට යා යුතුය.

ඔබගේ අසල්වැසියා ගැන සැලකිලිමත් විය යුතුය.

ඔබගේ අසල්වැසියා ( ලග සිටින්නා ) හදිසියේ රෝගී වුවහොත් හෙතෙම

1. හොදින් දන්නා හිතවත් තැනැත්තෙක් වේවා,
2. හොදින් නොදන්නා එතරම් හිතවත් නැති අයෙකු වේවා,
3. නොදන්නාම අයෙකු වේවා,
විශේෂයෙන්ම ,,,
4. ඇසුරින් ඉවත් කල අයකු වේවා,

හෙතෙම ගැන සොයා බැලීමේ නෛතික යුතුකමක් ඇතිවන බව අමතක නොකළ යුතුවේ.
ඒ අනුව විශේෂයෙන් 4 වන අවස්ථාවේ සිටින අයකුට වුව මනුස්සකම, සාධාරණත්වය යටතේ සැලකීම සම්පුර්ණයෙන්ම බැහැර කලද / පසෙකින් තැබුවද නිතිය යටතේ උදව් කරන්නට සිදුවනු ඇත !!!

වගකිව යුත්තන්ට කල යුත්ත

වගකිව යුත්තන්ට කල යුත්ත මා නම් කලින්ද ලියා ඇත!!!

 සැකෙවින් දක්වන්නේ නම් ,,,

- චෝදනා ගොනු කල හැකි සියලුම පනත් යටතේ චෝදනා ගොනු කොට උපරිම දඩුවම් ලබා දෙන තැනට යා යුතුය!!!
- අගතියට පත්වූ අයට සිදුවූ මානසික හානි වෙනුවෙන් වන්දි ලබා ගැනීම පිණිස වගකිවයුත්න්ට එරෙහිව විරුද්ධව සිවිල් නිතිය යටතේ ක්‍රියාත්මක විය යුතුය!
- වගකිවයුත්තන් එතෙක් එම අධ්‍යාපන ආයතනය යටතේ ලබා ගත් සියලුම අධ්‍යාපන සුදුසුකම් එම සිදුවීමේ පටන් ශුන්‍ය හා බලරහිත ( Null and Void ) කල යුතුය. තවද එම අධ්‍යාපන ආයතනය ඇතුළු වෙනත් එවැනි ආයතන වලට ඇතුල් වීම කල වරදේ හැටියට සැලකිය යුතු යම් කාලයකට නීතියෙන් තහනම් කල යුතුය!
- චරිත සහතික වල වගකිවයුත්තන්ගේ නව චරිතය සම්බන්ධව ලිවිය යුතුය!!!
- වගකිව යුත්තන්ගේ චරිතය ගැන සියලුම රජයේ ආයතන වලට දැනුම් දිය යුතුය!!!
- මානසික වෛද්‍ය ප්‍රතිකාර අවැසි නම් නීතියේ දඩුවම් වලින් පසුව ඒ වෙනුවෙන් ද යොමු කල යුතුය!!!
පාඩුවේ ඉන්නට බැරි තරමට මානසික අසහනය වේ නම් එබදු ඇත්තන්ගේ ක්‍රියාවලට ප්‍රතිචාර දැක්විය යුත්තේ ඒ ආකාරයටය!

https://www.newsfirelk.com/archives/8313?fbclid=IwAR2IyAppXOv7rX7Bi-XVM9RAtuvtUpRdg0hNt0jcCYiL07SRyeN1GMbrulw

දුම්රියේ ඉඩ ලබා ගැනීමට ...

ඉඩ තිබ්බත් ටිකක් එහාට වෙලා තව කෙනෙක්ට වාඩි වෙන්න ඉඩ දෙන්න සමහරකගේ තියෙන්නේ සැලකිය යුතු මට්ටමේ අකමැත්තකි... හරියට තමන්ගේ දේපලකට ආවා වගේ ය...

එකට ඔෆිස් යන අය මෙහෙම කිව්වට අමනාප විය යුතු නැත. සමහර උදවිය තමන්ගේ අය විතරක් ඉදගන්නවට කැමති බවක් පෙන්වති ...

තව ද කාන්තාවක් / කෙල්ලෙක් වාඩි වෙනවා නම් නැති ඉඩත් හදලා දෙති. පිරිමි කෙනෙක් / කොල්ලෙක් වාඩි වෙද්දී තියෙන ඉඩත් පටු කරති.

පියවි ඇසට දකින්න තිබුණු දේවල් මෙසේ ලියා ඇත!

දවසක් ඉඩ තිබ්බ නිසාවෙන් මා වාඩි වෙන්න ගිය විට ඉඩ තියෙද්දී එහාට යන්න පුළුවන් කම තියෙද්දේ ටිකක් එහාට වෙන්නේ නැතුව සිටි මනුස්සයෝ දෙන්නෙක්ට මා ටිකක් සද්දෙට "excuse me පොඩ්ඩක් එහාට වෙන්න" කියු කල්හි දෙන්නාම ගැස්සි එහාට යන ලදී. මා අපහසුවකින් තොරව වාඩි උනෙමි. ඒ අය පසුව ලාවට කුටු කුටු ගානවා ඇහුන මුත් මම බැලුවේ වත් නැත. එත් ඕන උනා නම් නීතියේ පාඩමක් කියා දෙන්න ලැස්ති පිට උන්නෙමි ... 😂😂 ...

ඒ අනුව යම් හෙයකින් ඔවැනි සිදුවීමක් වුවහොත් ගැටුම් ඇති කරගන්න විදියට නැතුව හොදින් කියා බැලිය යුතුය. ඇහුවේ නැත්නම් ඒ අයට එහෙමම ඉන්න දී සද්ද නැතිව ඊලග ස්ටේෂමේදී දුම්රිය ස්ථානයට දැනුම් දීම කල හැකිය. මෙන්න මෙහෙම ප්රශ්නයක් අතන තියෙනවා අපිට වාඩි වෙන්න දෙන්නේ නෑ ලෙසින්. ෆොටෝ තිබේ නම් ඒවද පෙන්විය හැකිය.

ඒ අය ඒ ගැන පියවර ගනු ඇත!

සිහිකල්පනාවෙ වැදගත්කම

සහතික පිටපත දෙන්නට දුන්නේ දීර්ඝ දිනයකි.

( පිටු කීපයක ලේඛනයක් සදහා එසේ වුයේ මන්දැයි යන්න වෙනම සොයා බලන්නට වටිනා කාරණයකි )
ඒ අනුව ඒ අහවල් දිනය උදාවී නැති නිසාවෙන් තවම පිටපත සුදානම් නැතිව ඇතැයි කියුවද පුළුවන් නම් මහත්තයා ගිහිල්ලා බලන්න යැයි ද කාර්යාලයෙන් කියන ලදී.

ඒ නිසාම නොව මා නිකමට මෙන් මතක් කරන්නට හෝ සිතාගෙන ගොස් බැලු කල එය මුද්රණය කොට දෙන්නට සුදානම්ව තිබුණි.

ඒ අනුව එයද රැගෙන අහවල් මිස් හමුවී රෙජිස්ට්රාර් ලවා සහතික කරගන්නා ලෙසට දැනුම් දුන් නිසා මා ඒ මිස් වෙත ගියෙමි.

එහෙත් ඊට පෙරදී මා ඒ සියල්ලේ ෆොටෝ දමා ගතිමි. ඒ කෝකටත් ප්රයෝජනවත් වනු ඇතැයි සිතාගෙනය !!!
විනාඩි 10 ක් විතර යයි මහත්තයා යැයි ඒ මිස් කියන ලදී. ඔය විනාඩි 10 විනාඩි 10 ක් ම වේදැයි සිතා ගත නොහැකිවූ නිසාවෙන් මා පසුව එන්නම් යැයි කියා ආවෙමි.

පැය කීපයකට පසුව නැවත එම කාර්යාලයට මා පිය නගද්දී ඒ මිස් දුරකථනයක් ලංකරගෙන වයර් පටලවා ගෙන සිටිනු දකින්නට ලැබුණි. ( ගීත අසන්නන්ට ඇතුවාට සැක නැත ) ... 😜😜😜 ...

"රාජකාරි වෙලාවේ රාජකාරි ස්ථානයේ එසේ රාජකාරියට අදාළ නොවෙන ක්රියාවක් කරමින් සිටිය හැකිද ??? " යැයි විමසන්නට මා ගියේ නැත ... 🤓🤓🤓 ...

මා ඒ බව නොදැක්කා මෙන් වෙනත් මිස් කෙනෙක්ගෙන් "මගේ වැඩේ ගැන බලන්න ආවේ අහවල් මිස්ට රිසිට් එකයි පිටපතයි දුන්නා" කියූ කල්හි ඇය ඒ අහවල් මිස්ගේ නම කියන ලදී.

ඒ මිස් මදක් ගැස්සී මා දෙස බැලු කල්හි මා ආ කාරණය කියූ පසුව එය ගැන සොයා බලන්නට වයර් ගලවා දමා යන ලදී ... 😁😁 ...

ටිකකින් ඇය පැමිණ මාගෙන් නඩු අංකය විමසනු ලදුව මා ඇයට එය කියනා ලදී. නැවත ටිකකින් ඇය පැමිණ මහත්තයා ඒක මේ අංකයමද ෂුවර් ද, මට දුන්නේ ඒකද අසන ලදී. ඉන් පසුව එම පිටපත ඇයට බාර දෙන්නට පළමුව රිසිට් පතේ සහ පිටපතේ මා ගත් ඡායාරුප ඇයට පෙන්වූ කල්හි ඇයගේ සැක දුරුවිය ... 😎😎😎 ...

(එය හරියට කොබෙයිගනේ රුප සුන්දරි ඝාතන නඩුවේ OIC මහත්තයාගේ love letter එකේ ෆොටෝ කොපියක් තියාගෙන තිබුණා බදුය, නඩුව ඔප්පු කරන්නට එය රුකුලක් වූ බව සදහන්ය, මෙහි වෙනසකට ඇත්තේ පොටෝ කොපි නොව පොටෝ වීම පමණි)

ඉන් පසුව නැවත එකී පිටපත සොයන්නට ගොස් "මහත්තයා ඒක නෑනේ එහාට මෙහාට වෙලා ඇති" කියන ලදී.
"යකෝ එක හරි කෙළියක්නේ, තොපිලා සිහිකල්පනාව ගෙදර තියලද බොල මෙතන වැඩට ආවේ ඈ " එසේ සිතුනද එසේ නොකීවෙමි ... 😂😂😂 ...

මා කිව්වේ "එහෙනම් මිස් හොයලා තියනවද මම හෙට එන්නම්" කියාය. "මහත්තයා තව ටිකකින් එන්න" යැයි ඇය කියූ විට මා කිව්වේ "දැන් හවස් උනානේ හෙටම එන්නම්" කියා ය.

"මම උදේම හොයලා තියන්නම්" යැයි ඒ මිස් කියන ලදී!
මතු සම්බන්ධයි !!!

උදේම නැතත් හෙට දිනය ඇතුලත හෝ ගන්නට ලැබුනොත් ඇති ය!
මන්ද යත් ඕවා ලබා ගන්නේ නිකං ඉන්නට බැරිකමට හෝ ආසාවට කියවන්නට නොව තවත් රාජකාරි කටයුත්තකට අවශ්ය වන නිසාවෙනි.

නම සහ ස්ථානය සදහන් නොකොට මා මෙය සදහන් කලේ අහවල් හේතුවකට දැයි සිතා ගත යුතුය!!!
මේ සාමාන්ය රජයේ කාර්යාලයක නොව උසාවියේ කාර්යාලයක සිදුවූ සිදුවීමකි !!!
ඔබ රජයේ සේවයේ දී සිටි නම් මෙවැනි අතපසු වීම් නම් වලක්වා ගැනීමට කටයුතු කල යුතුය. ඒ අනුව මේ අමතන්නේ පොදුවේ ඔබවය!!! චෝදනා කරන්නට නොව අවධානය යොමු කරන්නටය !!!

වැඩ ගොඩක් කරනා බව සැබෑ ය ... එවැනි තැනක එසේ කරන්නට සිදුවේ. ඉතින් රජයේ සේවයට බැදී රාජකාරි සදහා පැමිණියා නම් එසේ කල යුතුද වේ. මාසික වැටුපක් ගෙවන්නේ ඒ වගකීම් ඉටු කරන්නටය !!!
genuine mistake සදහා වුවද සීමාවක් තිබිය යුතුය !!!

අනෙක් කාරණය සිහිකල්පනාවෙන් වැඩ කල යුතුය!!!

ගන්නා පඩියට ණයක් නැතැයි මා සිතනා මට හමුවූ රජයේ සේවකයින් කීපදෙනෙක් ගැන කල සදහනේ මා ඉහත කි "මිස්" ද හිටියා මතකය. ඒ නිගමනයට මා පැමිණියේ එකවරද නොවේ. එක සිදුවීමක් නිසා ඒ තත්වය නැති නොවනු ඇත.

මා සමග කටයුතු කරද්දී / මාගේ වැඩක් කරද්දී හිතුනේ නෑ, දැනුනේ නෑ, කිව්වේ නෑ තේරුනේ නෑ වැනි වදන් භාවිතා කරන්නට නම් දෙවරක් නොව කීපවරක්ම සිතන්නට වනු ඇත ...

මන්ද මා අවැසි නම් භාවිතා සාක්ෂි ඇතිව වැඩ කරනා තැනැත්තෙක්මි. ඒ අනුව චෝදනා එල්ල කරන්නට / විත්තිවාචක ඉදිරිපත් කරන්නට වුව අපහසු නොවෙනු ඇත.

එහෙත් මා ආවාට ගියාට චෝදනා එල කරන්නේද නැත. බැරිකමකට නම් නොව මනුස්සකම නිසාය!
එහෙත් මා කලින් දිනක සදහන් කළාක් බදු ඉල්ලාගෙන කෑමක් කලේ නම් එයට කරන්නට දෙයක්ද නැත!
ඇය අතින් හෝ වෙනයම් අයකු අතින් සිදුවූ වරද නිහතමානිව පිළිගත් වගක් දකින්නට තිබුණි. එය අගය කල යුතුය. එවැනි දෑ ද දකින්නට අඩුය. එය ප්රමාණවත් නැත, නිවැරදි කල යුතුද වේ.
හෙට දින එය සිදුවන ආකාරයද ගැනද මා විමසිල්ලෙන් සිටිමි !!!

ඊයේ අස්ථානගත වූ බවට දැනුම් දුන් සහතික පිටපත් දෙක ලබා ගන්නට උදෑසනම නොව දහවල් වූ පසුව ඒ පැත්තට ගියෙමි.

මා ඒ කාර්යාලයට ඇතුල්වනවාත් සමගම ඒ මිස් මා දැක හිනාවක් සමග සහතික පිටපතක් ගෙන මා අත තබන ලදී.

ඇය මා වෙනුවෙන් උදෑසනම පැමිණ මහත් සේ වෙහෙසී එය සොයා තබා මා එනතුරු මහන්සිය නිවෙන්නට වාඩි වී බලා සිටියා වැනිය.

😜😜😜 ...
"හරිනේ මහත්තයා ? " යැයි අසමින් නමුත් ඇය මා අත තැබුවේ එක පිටපතකි.
එහෙත් මා ඇයට ඊයේ බාර දුන්නේ පිටපත් එකක් නොව 2 ක් බවට සිහිය ඇයට නොවුන මුත් මා හට ඒ බවට සිහිය තිබුණි.

ඒ අනුව
"හරි" කෝ ඒත් අනික ? මා ඇයගෙන් ඇසුවෙමි.

අනික ?
"අනේ මන්දා මුංගේ සිහිය, ඒක ගෙදර තියලද ආවේ බොල" ලෙසින් සිතුනද එසේ නො අසා
"ඔව් මම දෙකක්නේ දුන්නේ" යැයි පැවසු කල්හි

"තියෙන සිහියක හැටි යකෝ මුන්ට දෙකක් දෙන්නයි වටින්නේ සිහිය එන්නත් එක්ක" යැයි කියන්නට සිතුන මිත් එසේ ද නොකීවෙමි! 
😁😁
ඒ රජයේ සේවකයකුට එරෙහිව වරදක් කළා යැයි චෝදනාවක් එල්ලවිය හැකි නිසාම නොව කියන්නට දෙයක් ඇත්නම් එය මාගේ ක්රමය නොවෙන නිසාය.

"කෝ අනේ අනික" යැයි ඇය එහි කඩිමුඩියේ සොයන්නට විය. "ඇයි දෙකක් තිබිලද" එයට සහයක් වශයෙන් තවත් මිස් කෙනෙක් අසන ලදී.

පසුව ඇය එයින් ඉවත්ව ගොස් විනාඩියක් ගතවන්නට පළමුව කොහෙන්දෝ අනික් පිටපතද රැගෙන විත් "ආ සර්" කියා එය මා අත සිනාමුසුව තැබිය.

සැබෑවටම එය නැතිවුවාද නො එසේ නම් ඕනෑකමින් සගවා තබා පළමුව මාගේ ප්රතිචාරය සහ දෙවනුව මගේ සිහිය පරික්ෂා කලාද දන්නේ නැත!

වුයේ පලවෙනි කාරණය නම් එහිදීද දෙවෙනි කාරණය නම් එහිදීද මා ඉන් ඉහලින්ම සමත් ය.
ඊයේ කා අතින් වූ හෝ සිදුවූ වරද නිවැරදි වි මාගේ කාර්යය ඉටු වූ නිසාවෙන් තව මොහොතක් හෝ එහි රැදෙන්නට නිමිත්තක් නොවුයෙන් මා එන්නට ආවෙමි!

එහෙත් ඊට පෙර එය හොදින් කියවා බැලුවේ මන්ද යත් සිහි නැති මට්ටමේ ( මා චෝදනා කරනවා නොවේ ) එහෙත් මුහුණේ නිර්ලෝභී සිනා ඇති සහ කඩිසරව වැඩ කරනා ඇය විසින් විසින් මා හට දුන්නේ මා ඇයට බාර දුන් පිටපත් දෙකමද වෙන කිසිවක් ද කියා සහතික කරගැනීම පිණිසය!

සැබවින්ම ඒ දෙකමය!!!

කියවිය යුතුය. එහෙත් ...

සාහිත්‍ය මාසය වුවා නැත පොත් කියවීම කොහොමත් හොදය. එසේ කල යුතුද වේ.

තවද කියවිය යුත්තේ නම් සතුටටත් වඩා දැනුමට හරවත් දෙයක් මය!

එහෙත් කියවා පොතත් සමග කියවූ දෑ වසා දමන්නේ නම් එය එවැනි පොතක් නොකියෙව්වා හා සමානය!
අනෙක් අතට එතරම් පොත් නොකියෙව්වද සම්පුර්ණයෙන්ම නොව බාගේදා බාගෙට කාලට හෝ කියවා ඇති පොත් අතලොස්සක වූ කරුණු හරබර ලෙස ජිවිතයට එකතු කරගෙන ඇති නම් එය ඔහේ පොත් කියවනවාට වඩා සැබවින්ම වටි!!!

පුද්ගලයෙකු දුරස් කිරීම

අභියාචනය ( Appeal ) නෛතික අයිතියකි ( Legal Right ) ප්‍රතිශෝධනය ( Revision ) වනාහී එවැන්නක් නොවුනත් සාධාරණත්වය යටතේ අයිතියකි ( equitable right ) එහෙත් කිසිවකු සම්බන්ධව මනුස්සකම ( සරලව ගත් කල ඉල්ලීමට පෙර උදව් කිරීම ) කවර උසාවියකින් කොහොමවත් බලාත්මක කල නොහැකි එකකි. අනෙක් අතට අත කිලිටිව ඇති විටදී සාධාරණත්වයද ( සරලව ඉල්ලූ විට උදව් කිරීම ) බැහැර වේ. ඒ අනුව පලමුව මනුස්සකමින් සැලකීම දුරස් කිරීම, සහ දෙවනුව සාධාරණත්වයෙන් සැලකීම දුරස්කිරිමද, තෙවනුව නෛතික බැදීමක් ඇති නොවෙන්නට උපරිමව වග බලා ගැනීම අනවශ්‍ය ගැටුමකින් තොරව පුද්ගලයෙකු අනන්තය දක්වා වුව දුරස් කිරීමේ සාර්ථක සහ හොදම විදිය ය.

එසේ වුවද කරුමයකට වාගේ හෙතෙම අසල්වැසියෙකු වුවහොත් නම් එකල පිලිගත් ව්‍යාතිරේකයක සහය නොවන්නට නෛතික බැදීම නම් බැහැරකල නොහැකිය!!!

එය වනාහී නොසලකා ඉවත්ව නොයන්නට බැරි අවස්ථාවක් උදාකරමින් නෛතික බැදීමක් ඇති කරවන අවස්ථාවයි.

ඒ අනුව ඉවත්ව යන්නටද නොහැකි නම් ධර්මයේ සදහන් "අප්‍රිය සම්ප්‍රයෝගෝ දුක්ඛෝ" ලෙසින් දුකක් ඇති බව සිහිපත් කරගෙන ගැටුමක් ඇති නොවන්නට වගබලා ගනිමින් කාලය ගතවන්නට ඉඩ හැරීම නුවණක්කාරම විසදුමයි!!!

කල්පනාවෙන් සහ ඉවසීමෙන් සිටිමින් අනතුරු වලක්වා ගන්න

රාගම දුම්රිය ස්ථානයේ නැවැත්වූ දුම්රිය නැවත ගමන් අරඹා ගියේ ටික දුරකි. දුම්රිය මාර්ගය හරහා ගමන් නොගන්නා ලෙසට මා සිටි දුම්රියේ මිනිසුන් කාටදෝ කෑගසනු ඇසුනි. 🙄🙄

ටිකකින් අයියෝ හැප්පුණා ලෙසින්ද කියනවා ඇසුණි. 😯😯

විනාඩියක ඉවසීමක් නැතිව / සිහිකල්පනාවක් නැතිව කවුරුන් නමුත් කරගත් හානියකි 😢😢

වෙනත් කාරණයක බලපෑමක් නොවන්නට සිද්ධිය නීතියට අනුව ස්වේච්ඡා හානියට ලඝු කරන්නට හැකි වනු ඇත.

එහෙත් මොහොතක සිදුවී අතපසු වීමක් නිසා අහිමි වූ ජීවිතය ලබා ගන්නට නම් නොහැකිය !!!

යකඩ ගොඩේ හපුනොතින් යකඩ ගොඩට එය නොදැනෙනු ඇත. එහෙත් ඔබට කෙසේ වෙතත් එවැනි

සිදුවීමක් දකිනා අහනා අයට, සහ ඊට වඩා බෙහෙවින් ඔබගේ පවුලේ උදවියට එය වේදනාකාරීව දැනෙනු ඇත!!!

විශේෂයෙන් මෙම පණිවිඩය වාහන / මෝටර් බයිසිකල් ( මෙය මා දන්නා බයිසිකලයෙන් නිතරම ගමන් යන්නාවූ එක් මිතුරෙකුට නොකියා ඉලක්ක කරමි - අහිතක් නොසිතන්න ) වලින් යන ඔබ සහ පයින් යන ඔබටත් ය!!!

ඒ අනුව කරුණාකර කල්පනාකාරී වන්න ...

ආදර්ශමත් රජයේ සේවක මහතෙක් ...

කලකට පෙර මා හට හමුවූ හෙතෙම පෙනෙන මානයේ සිටගත් විට වැඩි වෙලා නොගොස් "මහත්තය මොකද්ද වෙන්න ඕනෑ යැයි අසමින් / මෙහෙම කරන්න මහත්තයා" ලෙසින් මග පෙන්වමින් කඩිසරව, සිය කාර්යාලයේ අනෙකුත් අයවද කඩිසර කරමින්, කාර්යාලයේ සේවකයෙකුට යම් ලේඛණයක් සොයා ගන්නට නොහැකි වුවහොත් පුද්ගලිකව ගොස් එය සොයා දෙමින් ඉතාම පිළිවෙලට වැඩ කරනා ඒ රෙජිස්ට්‍රාර් මහතා අදද හමු විය!!!

එදා මෙන්ම "මහත්තය මොකද්ද වෙන්න ඕනෑ" ලෙසින් මාගෙන් හෙතෙම විමසිය!
කීපදෙනෙක් වටවී එක එක දේ ගැන අසද්දී, තමා ලග ඇති ලේඛණ / පොත් පුරවන අතරේ ඉවසීමෙන් සහ සිනා මුසුව ඒ එක එක්කෙනා වෙත වෙන වෙනම අවධානය යොමු කර "මහත්තය / මිස් මොකද්ද වෙන්න ඕනෑ" කියා අසා ඒවාට පිළිතුරු දෙන්නට කොතරම් තැන්පත් බවක් එතුමාට තිබිය යුතුද?

ඒ අතින් සහ වැඩ කරනා ආකාරයට අනුව නිසැකවම හෙතෙම අගය කල යුතුම රජයේ සේවකයෙකි !!!
එවැනි අය දකින්නට අඩුය.

ආදර්ශයට ගන්නට වටිනවා නම් වටින්නේ ඒවාගේ අයය!

මේ කෙටි සටහන එතුමාගේ සේවය සැපයීම අගය කිරීම වෙනුවෙන් සහ නම් ලෙස සදහන් නොකලත් මා දන්නා රජයේ සේවයේ නියුතු මිතුරන් කීපදෙනෙක්ගේ අවධානයට සහ පොදුවේ ඔබත් රජයේ සේවකයෙකු නම් මා සදහන් කළා බදු අයෙකු වීමේ වැදගත්කම මතු කිරීම සදහාය !!!

පිදුරංගල වේවා, වෙනත් ඓතිහාසික ස්ථානයක් වේවා

පිදුරංගල වේවා, වෙනත් ඓතිහාසික ස්ථානයක් වේවා නැතා මහජනයා ගැවසෙන / ප්‍රසිද්ධ ස්ථාන යැයි සම්මත ස්ථාන වල අසභ්‍ය ලෙස හැසිරෙන්නේ නම් සහ දැන් තාක්ෂණය යොදා ගෙන ඒවා ප්‍රචාරය කරන්නේ නම් එවන්නවුන්ට වරද පිළිගත්තා නැතා නීතියෙන් දඩුවම් කල යුතුය!!!

දුෂිත මනසක් නොමැති නම් ඔවැනි ක්‍රියා කල නොහැකිය. නොඑසේ නම් ඔවුන් එක්කෝ අවුරුදු 12 ට අඩු විය යුතුය නැත්නම් තම ක්‍රියාවේ ප්‍රතිපල අවබෝධ කරගැනීමට නොහැකි තරමට මානසික විකෘතියට පත්ව සිටිය යුතුය.

නඩුවක් ඉක්මනින් අවසන් කරගැනීමට, දඩුවම අඩු කරගැනීම සිතා ඇතැමෙකු වරද පිලිගන්නවා විය හැකිය!
සිද්ධිමය කරුණු සත්‍ය වෙද්දී වරද පිලිගන්නවා යැයි කියන්නෙම කලේ වරදක් යන දැනීම ඇතිව නොකළ යුතු ක්‍රියාවක් කල බව පැහැදිලි සාක්ෂියකි!!!

ඒ අනුව නොකළ යුත්තක් බවට දැනීම තිබියදී වරද සිදු කර ඇත!

තරුණ වයස, ඉන්න ටිකේ කා බි විනෝද විය යුතු බව, කාටවත් හානියක් නොවීම, ආගම, සදාචාරය, ඓතිහාසික ස්ථාන යන මිත්‍යා මත විනෝදනයට බාධාවක් කර නොගත යුතු බව වැනි ඇතැමුන්ගේ හරසුන් අදහස් වල කිසිදු ගත යුත්තක් නැත!

දැන දැනම වැරදි කරනවා නම් විශේෂයෙන් කණට දෙකක් දී හදා ගත යුත්තෙම එවැනි තරුණ පරම්පරාවේ එවුන්මය!!!

රාජකාරියට යාමේදී වුව සැලකිලිමත් වන්න ...

රාජකාරිය දේවකාරියටත් වඩා ඉහල බවට කතාවකි.

රාජකාරියේ ඇති වැදගත්කම එයින් මනාව පෙන්නුම කෙරේ.

කෙසේ වුවත් රාජකාරියට පැමිණෙද්දී ( මා නම් උසාවි පෙනී සිටීම / වෘත්තියට අදාළ වෙනත් කාර්යන් කිරීමට ) මා එයට උපරිම උනන්දු වෙමි.

උසාවි වැඩ සමග සෙල්ලම් කල නොහැකි බව මා දනිමි. ඒවා කලට වෙලාවට පැමිණ කල යුතුදෑ බවද කොහොමත් හොදින් ම දනිමි.

මෙතෙක් මා අතින් කිසිදු මග හැරීමක් සිදුව නැත!

ඉදිරියටද එම තත්වය එසේ පවත්වා ගන්නට උපරිම උත්සාහ ගනිමි!
එසේ වුවත්

සිදුවිය හැකි මා හට පාලනය කල නොහැකි ප්‍රමාද ( විශේෂයෙන්ම දුම්රිය නිසා වන ප්‍රමාද ) වලක්වා ගැනීමට

මා නම් අනවශ්‍ය මට්ටමේ අවධානමක් නොගන්නා බව ද පැහැදිලිව සටහන් කර තබමි!!!

මාගෙන් එවැනි දෑ බලාපොරෝත්තුද නොවන්න.
මන්ද උසාවිය නිසාවෙන් හෝ අනවශ්‍ය අවධානමක් ගෙන එයින් යථා තත්වයට පත් කල නොහැකි හානියක්

විහින් කරගන්නට මා හට කිසිම අවශ්‍යතාවයක් නොමැති නිසාය.
මාගේ ජීවිතයට සහ උසාවිය / වෘත්තීය කටයුතු සදහා වන බැදීම් අතර ගැටීමක් ඇතිවුවහොත් ජිවිතයට දෙන්නේ පැහැදිලිවම පළමු තැනය!!!

ඒ අනුව මා කල යුතු මාගේම / වෙනත් බාරගත් කිසියම් කාර්යයක් මා හට පාලනය කල නොහැකි සිද්ධියක් නිසාවෙන් අතපසු වී පාඩුවක් වුවහොත් / චෝදනාවක් එල්ල වුවහොත් එයට නොබියව මුහුණ දී පිළිතුරු බදින්නට මා පසුබට වන්නේද නැත!

සොරෙකු අල්ලා ගත් පසුව

රජයේ දුම්රිය මගීන්ගේ නිල සමුහයේ පිටුවේ තිබුණු පුවතක දැක්වුයේ දුරකතනයක් සොරකම් කල අයෙකු අල්ලාගත් මගින් කල පහරදීමක් ගැනය.

වැරද්දක් කල අයකුව පාලනය කරගන්නට / අල්ලගන්නට අවශ්‍ය නම් බලය පාවිච්චි කරන්නට හැකි මුත් ඉන් ඔබ්බට සොරෙකුට වුව පහර දීමකට අයිතිය කිසිවකුට නැත!

අද කාලේ හැම දේකදිම වාගේ ෆොටෝ ගන්නා මුත් ඔය සිද්ධියේ එකම ඡායාරුපයක් හෝ නොගන්නට ඇත්තේ හොරා අල්ලගත්තාවු අයගේ ආරක්ෂාව පැත්තෙන් සිතා විය යුතුය!

නමුත් ඔයිට වඩා ඉවසීමෙන් ඔවැනි ප්‍රශ්නයක් දිහා බැලුවා නම්, හොරා අල්ලාගත් අයගේ ඇගත් බේරාගෙන / ඕනනම් ලකුණුත් දාගෙන හොරාගේ ෆොටෝ එකක් හෝ ගෙන නිතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් නොවෙන විදියට ආවරණය කොට එම සිදුවීම අර්ථසාධනියව විවේචනය කරන්නට තිබුණි!
ආවේගයත් සමග අත / කට ඉක්මන් වනු ඇති මුත් පහර දිය යුත්තේ නම් කල යුත්තේ ඉවසීමෙන් මොළෙනි, හරියට වදින්නේ එහෙම උනාම ය !

උසාවියේ පෙනී ඉන්නා විටදී ඔහොම හොරුන්ට උසාවියේ වෙන දේ නිරීක්ෂණය කර ඇත්තෙමි!
දත කට පුට්ටු වී සිටිනා ආකාරය දකින්නට ඇත!

ඔය හොරුන්ගේ එළියේ ඇති චන්ඩිකම් උසාවියේ නැත!!!

මා දන්නා මිතුරියකගේ ( ඇය නීතිඥවරියක් ) දුරකථනයකුත් දුම්රියට නගින වෙලාවක සොරාගෙන, අදාළ තැනැත්තා සොයා ගත නොහැකි වුනු මුත් ඒ ගැන දැනුම් දෙන්නට ඇයගේ සහයට ඇය සමග පොලිසියට මාද ගියා මතකය!

දුම්රිය ඇතුලේ කාන්තාවකගේ ( ඇයත් නීතිඥවරියකි ) ෆොටෝ ගන්නට ගොස් එම කාන්තාව ඒ ගැන පැමිණිලි කොට ඒ පුද්ගලයා උසාවියට රැගෙනවිත් තිබුණාවූ පුවතක් තිබුනා මා හට මතකය!
කෙසේ නමුත් කවුරුත් මතක තියා ගන්නට ඇවසි දේ නම් යම් හෙයකින් හොරකම කල තැනැත්තාට වුව පහර දීම නිසා යම් හානියක් වුවා නම් පහර දුන්නාවූ අයට වග කියන්නට වනු ඇත!

නිතිය හදාරා ඇති අය කොහොමත් දන්නා පරිදි සහ ක්ෂේත්‍රයේ නීතිඥවරුන්ද නිතරම වාගේ දැනුවත් කරනා පරිදි :-
"වරදක්" කල බවට සැක පිට අයකු සැකකරුවකු ( suspect ) ලෙස පළමුව අත් අඩංගුවට පත්වුවද, නිසි බලය ඇති අධිකරණ නියෝගයකින් නඩු විභාගය අතරතුර රදවා තැබුවද, නිසි බලය ඇති අධිකරණයකින් කල සාධාරණ නඩු විභාගයකින් ( Fair Trial by a competent court ) පසුව වරදකරු කලේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව අනුව නිර්දොශිභාවයේ පුර්ව නිගමනයට ඇති හිමිකම අහිමි වේ.
එනම් නිර්දොශිභාවේ සළුපිලි ගැලවී ගොස් නීතියට අනුව නිරුවත් වේ.

සාමාන්‍ය පුද්ගලයා ...... > සැකකරු ....> චුදිතයා .....> වරදකරු

එතෙක් සාමන්‍ය පුද්ගලයෙකුට සේම සැකකරුවෙකුට සහ චුදිතයෙකුට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (5) ව්‍යවස්ථාව අනුව නිර්දොශිභාවයේ පුර්ව නිගමනයට ඇති මුලික අයිතිවාසිකම / හිමිකම අහිමි නොවේ!!!
එවැන්නෙකුට බලය යොදා අහේතුකව පහර එල්ල කරන්නට කිසිවකුට නෛතික අයිතියක් නැත්තේය !!!
අනෙක් අතින් දුරකථනය සොරා ගනු ලැබුවේ කාගෙන්ද ඒ අයට සිදුවූ පාඩුව සදහා වග කිවයුත්තාව නිතිය ඉදිරියට ගෙන එන්නට සහය දෙන්නට හෝ අනිත් අය ඉන්නට අවැසිය. අනවශ්‍ය කලබලයට පත් වූ කල ඒ හැකියාවද විහින් අහිමි කරගනු ඇත!

හොරෙකු අසුවූ පසුව හෙතෙම කොහොමත් බියපත්ව පසුවේ. බඩුත් එක්ක හොරු අහු වුවා නම් ඉතිරිය නීතියට බාර දීම හොදම දේය. ඊට පෙර අසා දැනගත හැකි විස්තර ගෙන / ෆොටෝ එකක් හෝ ගෙන තියා ගැනීම වටි. ඒවා සාක්ෂි වනු ඇත!

හොරා අල්ලාගෙන තොරතුරු සමග ලගම පොලිසියට / ආරක්ෂක අංශයට බාර දීම කල යුතුය!
මොලේ කල්පනා කොට වැඩ කලහොත් එවන් සිදුවීමක් ගැන උසාවියේ සාක්ෂියක් දෙන්නට කීපදෙනෙක් ට හෝ එන්නට හැකිය ( නමුත් ඔක්කොම දෙනා එකතුවී හොරාට ගැහුවොතින් ඒ වැඩේ කරන්නට බැරි වනු ඇත ) ගහනවා නම් ගහන්න ඕනෑ එහෙම ය!

එය අතින් පයින් පහර දී නවතිනවා තරම් සරල නැත. කැපවීමක් කල යුතු තත්වයකි. එහෙත් වෙහෙස වී හෝ කල යුත්තේ කල යුතු සුදුසුම දෙයයි!

සොරකමක් සිදුවූ කලබලකාරී තැනකදී හැගීමට මුල් තැන දී ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ නොකලොත් උසාවියකදී දෙන්නට පුළුවන් මට්ටමේ සහයත් දෙන්නට බැරි වනු ඇත!
හෙට මාගේ දුරකථනයට ඔය ටික වෙන්නට පුළුවන!

ඒ අනුව එක් අයකු ගේ දුරකතනයක් වෙනුවෙන් තියෙන එකමුතුව නම් අගය කරන්නම අවැසිය. හැගිමටම මුල්තැන නොදී ඉවසීමෙන් බුද්ධියෙන් වැඩ කලහොත් තමන් අනවශ්‍ය අවධානමක් ගනිමින් සොරෙකුට අතින් පයින් පහරදීමකින් පාඩමක් ඉගැන්වීමට එහා ගොස් තමන්ගේ ඇගද බේරාගෙන සොරුන්ට සාර්ථක පාඩමක් නිතිය අනුව උගැන්විමටද හැකිවනු ඇත!