Friday, February 14, 2014

සමාජ අවශ්යතාවය හදුනා ගැනීමේ වැදගත්කම.

අපේ රටේ නම් හැදෙනා කෙනෙක්ට හැදෙන්නට ඕනැ තරම් අවකාශය ඇතැයි කිව හැක්කේ උදේ දවල් හවස රාත්‍රී බණ අහන්නට හැකි රටක් නිසාය. දැන් "අම්මී ..... තාත්තා .........." ලෙසින් කවිබණද අසන්නට ඇත... කවුරුත් වාගේ අසන බව නම් සිතේ ... හැදෙන අයත් ඇතුවාට සැක නැත, එසේම ඒ කනෙන් අසා මේ කනෙන් පිටකරනා හැදෙන්නේ නැති ඇත්තන්ද ඇති බව දකින්නට ඇත්තේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහාය...

හැදෙන්නේ නැති ඇත්තන් නිසා අන් අය පීඩාවට ලක් විය යුතු නැත ...

අද දිලික්ත නීතිය යටතේ ඉගෙනීමට ඇති කිසිවෙකු කිසිවකුට කරදර නොකර සිටිය යුතුය යන කාරණය මා දැන ගත්තේ මා 7 වසරේ පමණ සිටියදීය, එනම් අදින් වසර 18 කට පමණ පෙරාතුවයි. ඒ මාගේ පියාගෙනි !

අයෙකුට නීතියෙන් තවත් පුද්ගලයකුට එරෙහිව බලය ක්‍රියාත්මක කරන්නට ඉඩ දී ඇති අවස්ථාවක් වන ආත්මාරක්ෂවේ අයිතිය භාවිතා කිරීම වැනි අවස්ථාවක මිස අන් අවස්ථාවක කිසිවකුට හානියක් කිරීමට නීතියෙන් ඉඩ දී නැත. එසේ තිබියදී එය අනුව කටයුතු නොකොට ක්‍රියාත්මක වන්නේ නම් අවස්ථානුකූලව වින්දිතයා හෝ ඔහු වෙනුවෙන් රජය නීතියට අනුව ක්‍රියාත්මක වීම තුලින් ශිෂ්ඨ සම්පන්න අන් අයගේ මානව හිමිකම් ගරු කරනා පවත්නා නීතියට අනුව කටයුතු කිරීම / බලය භාවිතා කිරීමට යොමු වන්නාවු ජනතාව ආරක්ෂා කල යුතුය. සමාජයේ පුරවැසියන්ගේ යහ පැවැත්ම පිළිබදව කටයුතු කරද්දි එයට ආගමේ මැදිහත්විමක් ඇත. එහෙත් එයින් පමණක්ම එය කල නොහැක බණ දහම් අසන්නේ නැති ඇත්තෙකු නිසා අන් අය පීඩාවට පත්වීම වැලැක්වීම සහතික කිරීමේ කාර්යය නීතිය මතද පැවරී ඇත. යම් සබදතාවයක් තිබෙන බව දක්නට ඇතිමුත් නීතියේ එම කාර්භාරයට ආගම අනිසි ලෙස මැදිහත් විය යුතු නැත.

සමාජයෙන් බැහැර කල යුත්තා බැහැර කිරීම මගින් හදන්නට බැරි ඊටත් වඩා නිවැරදිව කිව හොත් හැදෙන්නේ නැති ඇත්තකු හෝ ඇත්තවුන් නිසා අනිකුත් පුද්ගලයින්ගේ මානව හිමිකම් අවධානමට ලක්වීම පැහැදිලිවම වැලැක්විය යුතුය. සවුදියේදී බැරිවීමකික් තබා ගිය ( අමතක වී ගිය ) ආභරණ පාර්සලයක් කිසිදු අඩුවක් නැතිව එතැනම තිබී සොයා ගත් කතාවක් මා කලකට ඉහතදී ඇසුවෙමි. ඒ අන් කිසිවක හාස්කමක් නොව නීතියේ බලමහිමයත් එයට පිටු පෑවිට ලැබෙන දඩුවමත් ගැන හොද අවබෝධයක් ඇති ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාරයකි. අපගේ රටේ නම් විටෙක මේ පැත්ත බලා අනික් පැත්ත බලන කල වැටුණු රුපියලකට වෙච්ච දේ පවා හිතා ගන්නට නොහැකි තරම් යැයි සිතේ ...

කෙසේ නමුදු සුලු නොව කවර වරදකට පවා අත් පා කැපීම වැනි පුද්ගලයකුව බාගෙට කාලට මරා ඉතිරි කරන දඩුවමකට නම් මාද එකග නැත. වරදක් කිරීමට දඩුවමක් ලෙසින් අත පය කපා දමා ඉතිරි දිවිය පුරාම නොමරා විදවන්නට ඉඩ සලසනවාට වඩා මරණීය දණ්ඩනයට යටත් කිරීම දාහෙන් සම්පතකි. නමුත් එයද ගල් ගැසීම වැනි වේදනාත්මක ලෙසින් නොව එක්වරම ලබා දෙන්නේ නම් එය කෲර අමානුෂික අන්දමේ එකක් යැයි හදුනා ගැනීම වලකිනු ඇත ...

රිසානාට අත් වූ ඉරනම සැලකූ කල ලොවම ඇයට සමාව දෙන ලෙස ඉල්ලා සිටියද ඇය විසින් ඝාතනය කලැයි චෝදනා ලැබූ දරුවාගේ පියා සමාව දුන්නද දරුවාගේ මව ඇයට සමාව නොදී තිබුණි... එය එක්තරා අන්තගාමි තත්වයක් යැයි කිව හැකි උවත් ලෝකයා කවරක් කීවද එවැන්නකින් පවා පෙන්වා දෙන්නේ තමන්ට වූ අගතිය වෙනුවෙන් ජීවත් වන අයකු වශයෙන් හිතට සහනයක් ලබා ගැනීමේ දැඩි අවශ්යතාවයම මිස අන් කිසිවක් නොවේ ... එම අවශ්යතාවය කොයි මිනිසා/හැගැණිය තුලත් අඩු වැඩි වශයෙන් ඇති එකකි...

වරදට දඩුවම ක්‍රියාත්මක කිරීමේ අවශ්යතාවය අවධාරණය වන තත්වයක් ඇති බව අපට පෙනෙන්නේ මිනිසුන් තමන්ට වූ අගතියට ප්‍රතිකර්ම සොයන ආකාරයෙනි, අනතුරක් සිදු කල රියදුරෙකුට පහර කෑමට ලක් වන්නට සිදුවන තත්වයකි, චීන්දිතයන්වත් නොවූ හුදු සැකකරුවන්ගේ ගෙවල් ගිනි තැබීම් ආදියද වේ. මෙවැනි දෑ තුලින් කියා පාන්නේ තමන්ට වූ අසාධාරණයකට යුක්තිය ඉල්ලා සිටින්නාවූ මිනිසුන්ගේ ක්‍රියාකාරිත්වයයි ... අවස්ථාවක් ලද හොත් සිය ප්‍රාණයට අන්තරායක් පැමිණි කල්හි මහා ලොකුවට මානව හිමිකම් යන්න ඉදිරියට දමා අත් දෙකම ඔසවා 'මරණීය දණ්ඩනය එපා එපා' කියමින් තමුන් තරම් මානව හිමිකම් කෙරේ සංවේදී ඇත්තෙකු මේ විශ්වයේම නැතැයි කියා සිටින්නට උත්සාහ කරන්නන් වේ නම් ඔවුන් කෙසේ හැසිරෙනු ඇත්දැයි දැන ගැනීමට හැකි වනු ඇත...

ඉහත දක්වා ඇති පරිද්දෙන් නීතියේ සීමාවෙන් ඔබ්බට ගොස් අයථා ක්‍රම මගින් යුක්තිය සොයා යෑමද පැහැදිලි ලෙසම ශිෂ්ඨ සම්පන්න සමාජයට ඔබින්නේ නැත ... එය කැලෑ නීතිය රජ කරවීමක් ලෙසින්ද විටෙක සමහර අය නම් කරනු ලැබෙන්නකි ... තවත් නිවැරදිව කිව හොත් අතීතයේදී අගතියට යුක්තිය සොයා ගිය මිනිසාගේ තත්වයට නැවත ගමන් කිරීමක් බදු එකකි ... එය මිනිසා නැවත වනචාරි වීමකි. එය නැවතිය යුතුය. එය කල හැක්කේ නීතියටයි. නීතියෙන් අගතියට පත්වූ පාර්ශවයන්ට සාධාරණයක් හා ඉන් ඔබ්බට ගොස් සමාජයට පණිවිඩයක් දෙමින් සාධාරණයක් ඉටු කිරීම සිදු විය යුතුය.

අතීතයේ ශ්‍රි ලංකාව තුල කාන්තාවකට නිල් මැණිකක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වුව තනිවම ගමන් කල හැකි කාලයක් තිබූ බවට කථාවක් සමාන්‍ය සමාජයේ තිබෙන්නෙකි. එය කොතෙක් දුරට සත්‍යක් දැයි මා නිශ්චිතවම නොදන්නා මුත් 'මෙය සත්‍යක් නම්' එය නීතිය ක්‍රියාත්මක වීම හා වරදට පුද්ගලයින් යොමු වීම වැලකීම යන යාන්ත්‍රණ දෙකේම මනා දායකත්වය නිසාම සිදුවූවක් බව සැක නැතිවම කිව හැකිය, වරදට දඩුවම් තිබුණද පුද්ගලයින් වරදට යොමුවීම අවම කිරීමේ යාන්ත්‍රණයේ ඇති දුබල කමක් නිසා දණ්ඩනය එතරම් වැදගත් දෙයක් නොවෙන වග ඇතැමුන් වරදවා වටහා ගෙන ඇත ...

රැල්ලට මෙන් 'මානව හිමිකම්' මානව හිමිකම්' යැයි අතන මෙතන කතා කරනා හා ඒවා කඩ වෙනවා යැයි කිඹුල් කදුලු හෙලනා ඇතැමුන්ට වඩා නීතිය හදාරන මා මානව හිමිකම් ගැන දැනුවත් බවත් එවැන්නවුන්ට වඩා දැනටද මා හට හැකි අයුරින් මානව හිමිකම් ආරක්ෂා කිරීමට අකුරක් හෝ අර්ථවත්ව ලියන්නට හැකි තැනක ඉන්නා බ්වත් එසේ ලියා ඇති බවත් ඉදිරියටද ලිවීමට උනන්දු බවද කියන්නට කැමැතිය. ඔය ඇතැමුන් කියනා බටහිර ජාතීන්ද ගරු කරනා බව කියනා ශිෂ්ඨ සම්පන්න කම් ගැන මා හට උගන්වන්නට පැමිණීමට පෙර කරුණාකර තම තමුන් ඒ පිළිබදව පළමුව හැදෑරීමක් කරන්නේ නම් වටිනු ඇතැයි මා සිතන කාරණයකි.

ඇතැමුන් කටින් ඉටු කරනවා මිස සැබෑවටම මෙතෙක් ඵල නොදැරූ අභියෝගයක්ව අතිරි වී ඇති කරුණකි ! ඉස්‌ලාම් නීතිය බල පවත්වන රටවල හැර දියුණු යෑයි සම්මත බටහිර ජාතීන්ද ගරු කරනා ශිෂ්ඨ සම්පන්න මානව හිමිකම් ගරු කරනා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මනුෂ්යත්වය රජයන තත්වයට සමාජය උසස් කරගැනීමයි. නමුත් ඔය මානව හිමිකම් කතා කියමින් සිටි අය ඒ කතා තුලින් කාලය ගත කලා මිස කල වෙන ඉටි ගෙඩියක් දකින්නට නැත...

දැකිය හැක්කේ දැනටම ප්‍රමාදව ඇති බවකි. අනිත් කාරණය නම් අපට ඒ තාක් හෝ අනවශ්ය අවධානමක් ගැනීමට අවශ්ය නැති බවයි. කෙසේ නමුදු පොදුවේ ඔවුන්ට කියා සිටින්නේ හැකිනම් ඔවුන් කියනා සමාජයක් හැකි තාක් ඉක්මනින් අප වෙත නිර්මාණය කර පෙන්වා දෙන ලෙසයි. අපිද කැමැත්තෙමු ! ඉන් පසුව මාද අකමැති නමුත් අවශ්ය තාවය නිසාම ක්‍රියාත්මක කල යුතු බව කියනා 'මරණීය දණ්ඩනය ඉතින් තවත් අවශ්ය නැතැයි සිතේ 'වැනි වදන් පෙලක් මා අතින්ද ලියවෙනු ඇත ... නමුත් ඒ තාක් ලියන්නට වන්නේ සමාජ අවශ්යතාවය මත ලිවිය යුත්තයි.

No comments:

Post a Comment