Monday, January 5, 2015

යහපාලනය (GOOD GOVERNANCE)

යහපාලනය (GOOD GOVERNANCE) යනු කුමක්ද ? එහි ලක්ෂණ කවරේද ? මදක් විමසා බැලීම වැදගත්ය. සරල අදහස ලෙසින් පාලනය යහපත්ව කිරිමයි. පාලනය යහපත්ව කිරීමට නම් ක්‍රියාකාරිත්වයට ඇති වගකීම වැදගත් ලක්ෂණයකි. නමුත් එහි අන්තයකට යමින් වගකීමේ නාමයෙන් ස්වාධීනත්වය පාවා දෙන තැනට යා යුතුද නැත, ඒ අනුව ධර්මයේද සදහන් වෙන මධ්‍යස්ථ ප්‍රතිපදාව අනුව සලකමින් මධ්‍යස්ථව පැවතිය යුතු කාරණයකි.

ලක්ෂණ සැලකූ කල්හි නිදහස් සාමකාමී, විදේශ ආක්‍රමණ වලින් තොර, දිනෙන් දින අභිවෘද්ධියට පත්වෙන තත්වයකි.

ඒ අනුව ශ්‍රී ලංකාව ඇත්තේ කිනම් තැනකද ?

- අතීතයේ ත්‍රස්තවාදයෙන් බැට කෑවද අද නිදහස් දේශයක් ඇත. එමගින් එකල ත්‍රස්තවාදීයා විසින් උදුරා ගන්නාලද පැවැත්මට අත්‍යාවශ්‍යම වන්නාවූ මානව අයිතිය වන ජීවත්වීමේ අයිතියට ඉහලම වටිනාකම ලැබී ඇත.

- කලට වේලාවට ඡන්ද පැවැත්වේ. ඒ අනුව ජනමතය වීමසීමට නිදහස් අවකාශය ඇත.

- මානව සංවර්ධනයද ඉහල තැනක ඇත.
http://www.lk.undp.org/content/srilanka/en/home/countryinfo/

අමතක නොකල යුත්ත නම් යහපාලනය ඉදිරියටද පවත්වා ගැනීම යන්න දේශපාලන ස්ථාවරත්වයෙන් වෙන් කල නොහැකි කාරණයක් බවයි. එය ඛණ්ඩ නොකර පවත්වා ගත යුතු බවයි. උදාහරණයන් මෙසේ දක්වන්නට හැකිය.

- ලී ක්වාන් යූ විසින් සිංගප්පුරුව වසර 30 ක පමණ කාලයක් පාලනය කරන ලදී.

- මහතිර් මොහොමඩ් වසර 22 ක පමණ කාලයක් මැලේසියාව පාලනය කරන ලදී.

- මාග්‍රට් තැචර් වසර 11 ක් පමණ කාලයක් බ්‍රිතාන්‍යය පාලනය කරන ලදී.

- ෆ්‍රෑන්ක්ලින්ක් රූස්වෙල්ට් වසර 12 ක පමණ කාලයක් ඇමරිකාව පාලනය කරනා ලදී.

- රට එක්සේසත් කල / ආර්ථික දියුණුවක් ගෙන ආ පුරාණ රජවරුන් වසර ගණනින් රට පාලනය කරනා ලදී.

යහපාලනය ඇතිකීරිමේ ප්‍රතිඵලය ලෙස ලැබිය යුත්තේ නම් පෙරදීට වඩා ක්‍රම ක්‍රමයෙන් එක්සත් භාවයක් කරා ලගාවීමකි. ඒසේම ස්වාධීනත්වයට කරනාවූ ඉල්ලීම් වලින් බැහැර වීමකි. එහෙත් යහපාලනය නොමැති යැයි චෝදනාව මත එය ඇති කිරීමට ගත් උත්සාහ වලදී දකින්නට ඇති තරමක් දකින්නට ලැබුණේ බෙදා වෙන් කිරීම්ය. ස්වාධීනත්වයේ නාමයෙන් වෙන් වීම්ය. එසේ වීමට අන්තර්ජාතික මැදිහත්වීම සාධාරණීකරණය කරන්නට වූයේ මානව හිමිකම් ගරු කිරීම හා ඒවා රැකීමේ අවශ්‍යතාවය ඉදිරියට ගෙන ඒම හරහාය.

පලස්තීනයෙන් රීශ්‍රායලය වෙන් වීම, සුඩානයෙන් දකුණු සුඩානය වෙන් වීම, ඉන්දියාවෙන් පාකිස්ථානය වෙන්වීම, ඉන්දුනීසියාවෙන් නැගෙනහිර තිමෝරය වෙන් වීම, ලොව පැරණිම විශාලම බලවත්ම වූ සෝවියට් දේශය බිද වැටීම උදාහරණ ලෙසින් දැක්විය හැකිය. ඔවැනි බෙදී යෑමක් හා ඉන්පසු කාලයක් තිස්සේ ඇදී යන දේශසීමා ගැටුම් ප්‍රතිඵල විය හැකි යැයි පලස්තීනය රීශ්‍රායලය සැලකූ විට නිතැතින්ම කල්පනා වෙන කාරණයකි.

ඒ අනුව නම් එය යහපාලනය යැයි හදුන්වාදීම යහපාලනය යන සංකල්පයට පටහැනි තැන ඇති කාරණයක් බව හදුනා ගන්නට හැකි කාරණයකි.

ස්වාධීනත්වයට යොමුවීම් ආකාර 2 කින් සිදුවිය හැකි බව පිළිගත් අදහසයි.

- අවිබලය භාවිතා කොට ත්‍රස්තවාදී ස්වරූපයෙන්  : ඉරාකයේ ISIS ත්‍රස්ත ක්‍රියා මගින් ස්වාධීනත්වය සෙවීමත්,

- නිහඩ ලෙස දේශපාලනමය වශයෙන්: සෝවියට් දේශය බිද වැටීම

ශ්‍රී ලංකාව තුල වෙනම ස්වාධීන රාජ්‍යයක් සෙවීමට LTTE සංවිධානය උත්සාහ කරනු ලැබුවේ අවිබලය භාවිතා කොට ත්‍රස්තවාදී ස්වරූපයෙනි. එය බෙදුම්වාදී ත්‍රස්තවාදය ලෙසින් හදුන්වයි. ත්‍රස්තවාදී ස්වරූපයෙන් වෙනම ස්වාධීන රාජ්‍යයක් සොයා යෑමේ අවකාශය අවසන් කර ඇතිමුත් දේශපාලනමය ස්වරූපය එනම් ඒ පෙරමුණ තවම ඉතිරිව තිබේන බව අහන්නට දකින්නට ඇති කාරණා අනුව අවබෝධ කරගත හැකි කාරණයකි. ඒ අනුව එවැන්නක් ප්‍රායෝගික වීමට ඉඩ නොදීම පිණිස පියවර තවදුරටත් ගත යුතුව ඇත. ඒ සදහා රටක් ලෙසින් ශක්තිමත්ව නැගී සිටිමට අවශ්‍ය වේ. ඒ සදහා ශක්තිමත් නායකත්වයක් අවශ්‍යමය.

උදාවී ඇත්තේ 2015 වර්ශයයි. අමතක නොකල යුතු තවත් කාරණයක් නම් අවුරුදු 200 කට පෙරද ජාතියක් ලෙසින් අපට වැරදුනේ යහපාලනයේ නාමයෙන් ගිවිසුම් විශ්වාස කිරීමට ගොස් බවය.

රෑ වැටුනු වලේ දවල් නොවැටීමට අප සැම වග බලා ගත යුත්තේ ඒ නිසාය.

විසෙන් විස නැසීම ලෙසින් කතාවකි. එසේම අස්ථාවරත්වය ඇති කරමින් යහපාලනයේ නාමයෙන් අන්තර්ජාතික නීතිය රට තුලට ඒම සාධාරණීකරණය කිරීම යන්න අන්තර්ජාතික නීතියට අනුවම වැලක්විය හැකිය. එනම් ජනතා පරමාධිපත්‍යය හරහා සමගිය විදහා දැක්වීම මගිනි. ඒ අනුව රටක දේශපාලන ස්ථාවරත්වය මනාව පවත්වා ගන්නා තුරු බාහිර මැදිහත්වීමකට ඉඩ නැත.

යහපාලනය ඇතිකිරිමට නම් ආඥාදායකත්වය පැරදවිය යුතු බවට අදහසකි. ආඥාදායකයකු යනු කවරෙක්ද ?

ඔය කියන්නා වූ ආකාරයේ අයකු පාලනයේ සිටී නම් මැතිවරණ පැවැත්වෙන්නට විදියක් නැත, ඒ අනුව මැතිවරණ වලින් ජන මතය උරගා නොබලන පාලන බලය ජනමතයට විරුද්ධව පවත්වා බලහත්කාරයෙන් පවත්වා ගන්නා අයෙකි. අප දන්නා තරමින් නම් එවැන්නෙකු මෙරටේ පාලන බලයේ නැත, සිටිනාවූ පාලකයාද ජනමතයෙන් පත්වූ අයෙකුය. නැවත වරක් ජනමතය උරගා බැලීම පිණිස ඡන්ද වීමසීමක් අපේ රටේ පැවැත්වීමට නියමිතව ඇතුවා සේම විපක්ෂයද ලහි ලහියේ ඊට සූදානම් වෙමින් සිටි. මේවා ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක සිදුවන තත්වයයි.

ඒ අනුව ඔය කියනවා ඇත්තේ අපේ රට සම්බන්ධව විය නොහැකිය, ඒ මෙරටින් පිට ලෝකයේ වෙන කොහේ හෝ රටක තත්වයක් විය යුතුය.

ඒකාධිපතීන් / බලයට කෑදර පාලකයන් යැයි ඍජුව හෝ වක්‍රාකාරව නම් කරමින් ඔවුන් සිටිනතාක් කල් යහපාලනයක් නැති බව දක්වමින් යහපාලනය ගෙන ඒමට නම් ඔවුන් කෙසේ හෝ ඉවත් කල යුතුය යන අදහස කාවද්දමින් ඒ සදහා රැවටී ජනයා ඒකරාශී විම අනුව ක්‍රියාත්මක වෙමින් ඔවුන්ගෙන් රටවල් මුදවාගෙන යහ පාලනය ගෙන එන්නට යැයි කියා සිදු කල මැදිහත්වීම් වල ප්‍රතිඵල ලිබියාව, ඉරාකය අදටද අත් විදිනවා නො අනුමානයි !!!

යහ පාලනය යන්නට රටක අභ්‍යන්තර දේශපාලන ස්ථාවරත්වය අවුල් කරන්නට ඉඩ නොදීමේ වැදගත්කම අවබෝධ කරගන්නට ඉහත දැක්වූ උදාහරණ දෙක හොදටම ප්‍රමාණවත්ය... එයට තවත් රාජ්‍යයක් එක් කල යුතු නැත. එහෙත් එය මුලදීම අවබෝධ කරගත යුත්තකි. මන්ද අශ්වයා ගිය පසුව ඉස්තාලය වඩා වැඩක් නැති හෙයිනි.

ඒ අනුව යහපාලනය නම් සුන්දර වේශය මවාගෙන පැමිණිය හැකි දේශපාලන අස්ථාවරත්වය නම් සැබෑ සතුරාට ක්‍රියාත්මක වන්නට ඉඩ දුන හොත් එය එම ජනතාවගේ සැනසුම් සුසුම් හෙලීමේ අවසානය වනු ඇත...

යහපාලනය ඇතිකිරිමට නම් පවුල් පාලනය / ඥාතී පාලනය අවසන් කල යුතු බවටද අදහසකි. ඔය කියනා කාරණය ප්‍රශ්නයක් වී ඇත්තේ රටක විපක්ෂයකට පමණක් බව පෙනෙන්නේ නම් එය අර්ථසාධනීය විවේචනයක් යැයි නම් කල නොහැකිය. කෙසේ නමුදු ඔය කියනා අන්දමේ පාලනයන් ගනනාවක්ම දේශපාලනයේ නිරත වූ අවස්ථා අපට හදුනා ගත හැකිය.

උදා:

- ඩී ඇස් සේනානායක, ඩඩ්ලි සේනානායක, රුක්මන් සේනානායක, වසන්ත සේනානායක.

- සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක, අනුර බණ්ඩාරනායක

- ජේ ආර් ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ, රුවන් විජයවර්ධන.

- ඇමරිකාවේ බුෂ් පාලනය ...

- ඉන්දියාවේ ගාන්ධි පාලනය...

- එස් ඩ්බ් ආර් ඩී බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක...

ඔය කවුරුන් වුව බලයට පත්වන්නේ මිනිසුන්ගේ ඡන්දයෙනි. මිනිසුන් කැමති නම් රටක විපක්ෂයක් කවරක් කීවත් පත් කරගැනීමෙ වෙනසක් නොවෙනු ඇත.

යම් පක්ෂයක් විපක්ෂයේම සිටින්නේ ඔවුන් බලය දරණාවූ පක්ෂයට සාපේක්ෂව පාලනයට සුදුසු නොවෙන බවට ජනතාව ජනමතයෙන් තීරණය කර ඇති නිසාය. ඒ රටේත් ජනතාවගේත් ආරක්ෂාව පිළිබද ආණ්ඩු බලය දරණා පක්ෂයක් විසින් දුන් සහතිකය විපක්ෂය විසින් දුන් සහතිකයට වඩා ජනතාව පිලිගත් නිසා බව කීමේ වරදක් නැත.

රාජ්‍යයට ජනතා පදනමක් සපයන, මිනිසුන් එක්ව ඇතිකරගත් සමාජ සම්මුතියක ප්‍රතිඵලයක් ලෙසින් හදුනා ගන්නා සමාජ සම්මුති න්‍යායද මෙහිදී වැදගත්ය. එයට අදාලව ගත් කල රාජ්‍යයේ සේවකයා ලෙසින් දේශපාලන විද්‍යාවේදී හදුනා ගන්නා ආණ්ඩුව විසින් කල යුතු වැදගත්ම කර්තව්‍යය නම් පාලිතයන්ට හෙවත් ජනතාවට ආරක්ෂාව සැපයීමයි.

අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුවේ ප්‍රධානීයා වන්නේ ජනාධිපතිවරයාය. ඒ අනුව ජනතාවගේ ආරක්ෂාව ඒ ධූරය සතු කර ඇත. ඒ ධූරයට පත් කරගත යුත්තේ ඒ ධූරය අඛණ්ඩව ජනතාව වෙනුවෙන් දරන්නට සූදානම් ජනතාවගේ ආරක්ෂාව පිළිබදව සහතිකයක් දී ඇති බවට දැනට සෑහීමට පත්වෙන්නට පුළුවන් / ජනතාව දැනටම පිළිගත් / ඉදිරියටද ඒ විශ්වාසය තබන්නට හැකි අයකු වෙතය...

සමාජ සම්මුති න්‍යාය අනුව සංවර්ධනයද වැදගත් අංගයක් ලෙස සලකයි. එය මේ වන විට සිදුවෙමින් පවතින කාර්යයක් බවට හදුනා ගත හැකිව ඇති අතර එයටද ශක්තිමත් නායකත්වයක් අවශ්‍යය.

පෙරදිග මුතු ඇටයයි මේ යන ගීතයේ

"නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන්වී..." ලෙසින් සරලව දක්වන්නේද එයමය.

මේ කාරණා අනුව රටක මනා ස්ථාවර භාවය සදහාත් ජනතාවගේ ආරක්ෂාව සැලකූ විටදී ජනතාව වෙනුවෙන් නැගී සිටිය හැකි ශක්තිමත් නායකත්වයෙන් වෙන් කල නොහැකිය.

ඒ අනුව අවශ්‍ය වන්නේ විධානය දීමේ බලය දිවයිනම නියෝජනය කරමින් දරාගෙන, දැනටද දේශපාලන ස්ථාවරත්වයක් ගොඩ නගා සිටින, ඒ තුලින් රට ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යනාකාරයේ පාලනය මෙහෙයවීමක්ය.

වාර දෙකේ සීමාව

ජේ ආර් ජයවර්ධන මහතා ජනාධිපතිධූරයට වාර 2 ක සීමාවක් දැමුවේ එයට අයත් බලතලත් සමගින් ධූරය දරන්නා බලයෙන් මත් නොවී තබාගෙන ප්‍රජාතන්ත්‍රවාදයද ආරක්ෂා කිරීමට යැයි ඇතැමුන් කියනා කාරණයක් වුවත් එකී වාර දෙකේ සීමාව තුලම ඔය කියනා බලයෙන් මත්වීම විය හැකි බව සරලව පෙන්වා දිය හැකි කරුණකි.

ජේ ආර් ජයවර්ධන මහතා ජනාධිපතිධූරයට වාර 2 ක සීමාවක් දැමුවේ එතුමා එවකට සිටි වයෝවෘද්ධ ස්වභාවයද සලකා යැයිද අදහසකි. වාර 2 ක්ම සිටීමෙන් පසුව ජනප්‍රියත්වය අඩුවී යන නිසා බවද අදහසකි. එය පිළිගත නොහැකි කාරණයක් වන්නේ ජනප්‍රියත්වය යන්න බලයේ සිටින්නාවූ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය අනුව තීරණය වන්නක් වන නිසාය. සුදුසු නොවේනා බව බහුතර ජනමතය වේ නම් පළමු වාරයෙන් පසුව ගෙදර යන්නට සිදුවනු ඇත.

කෙසේ වුවත් නැවත වතාවක් එතුමාද ජනාධිපතිවරයා ලෙසින් පත්වීමට තරග කීරිමට උත්සාහ කල බවක්ද කියවේ. එතුමා සෑදූ විවස්ථාව අනුව එය කල හැකි තැනද තිබූ බව කියවේ, මන්ද එතුමන් ජනතා ඡන්දයෙන් ජනාධිපතිවරයා ලෙසින් පත්වූයේ 1 වරක් පමණක් වන නිසාය.

ජනවරමක් මුලින්ම ඉල්ලා සිටින කල්හි තීබූ යම් හේතුවක් / හේතු මත ජනවරම ලැබ පලමු ධුර කාලය හොබවන කාලයේදී ක්‍රියාත්මක වූ ආකාරය ජනතාව පිළිගැනීම මත ඉන් පසුව නැවත ජනවරමක් ලැබ ක්‍රියාත්මක විය හැකි ආකාරයත් සැලකූ කල්හි වාර 2 සීමාව නිසා ඉන් පසුව ඊළග වතාවේ ජනතා මනාපය තිබුණද ජනවරමක් තුලින් ධූරයට පත්වීමට නොහැකි බව හොදාකාරවම දන්නා නිසා පසුව නඩු පැවරීමක් කල හැකි වුවත් බලය අභිබවා අත්තනෝමතිකව ක්‍රියාත්මක වීමකට වාර දෙකේ සීමාව තුලම ඉඩ විවර කොට ඇත.

කෙසේ නමුත් වාර සීමාවක් නොමැති කල්හි අවම වශයෙන් නැවත වතාවක් ජනවරමක් ලබා ගැනිමට අවශ්‍ය නම් ඒ සදහා හෝ ක්‍රියාත්මක වන්නට වගකීමෙන් කටයුතු කිරීමක් විය යුතුය යන්න ව්‍යාංගයෙන් බලයේ සිටින ධූරය දරන්න්නාට කියා ඇත. මන්ද විවස්ථාපිත සීමාවක් නොමැති කල්හි ධූරය දරන්නෙකු නැවත ධූරයට පත් කරගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමේ පරම බලය ඇත්තේ ජනතාව සතුව වන නිසාය. එය එසේ වීමේ වරදක්ද නැත. මැතිවරණ සමයකදී විපක්ෂයෙන් ආණ්ඩුවකට එල්ල වන චෝදනාද සලකා බලා ජනතාවට අවශ්‍ය නම් පෙර ධූරය දරන්නාම පත් කරගැනීමට හැකිය.

අවශ්‍ය නම් වෙනත් අපේක්ෂකයකු පත් කරගත හැකිය.

එසේ වනු ඇත්තේ බහුතර ජනතා ඇසින් තෝරා ගන්නට යන්නාවූ තැනැත්තා පෙර ධූරය දරන්නාට වඩා හැම අතින්ම හොද වීමත්, ඒ බව ප්‍රමාණවත් පරිද්දෙන් ඒ වන විටත් ජනතාවට වග කියනා කිසියම් ධූරයක් දැරීම හරහා හෝ වෙනත් ක්‍රමයක් මගින් තමුන්ගේ හැකියාව රටක් කරගෙන යෑමට තරම් ශක්තිමත් බව සනාථ කර ඇත්නම්ය.

පාලන බලය ලබා ගැනීම

පාලන බලය ආකාර 2 කින් ලබා ගත හැකිය.

- ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින්
- ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ලෙසින්

යම් තැනැත්තන් පිරිසක් එක්ව ආයුධ සන්නද්ධව නීත්‍යානුකූල පත්ව ඇති රජයකට / රාජ්‍යයකට එරෙහිව එම දේශයේ ජනතාවට / දේශය තුල ජීවත් වන විදේශීය ජනතාවට / දේපල හානි පමුණුවමින් බලය යොදා පාලනය අත් පත් කරගැනීම පිණිස සටන් වදිනා විට එසේ සටන් වදින්නවුන් / ආයුධ සන්නද්ධ සටන් කාමීන්ව හදුන්වන්නේ ත්‍රස්තවාදීන් ලෙසිනි. එයට කිසිවකු ස්වේච්ඡාවෙන් හෝ බලහත්කාරයෙන් වුව එකතු වූ විටදී ඔහුවද නම් කරන්නට සිදුවන්නේ ඒ ලේබලය යටතේමය. එලෙස සටන් වැද බලය ලබා ගැනීමට උත්සාහ කීරිම ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ලෙසින් බලය ලබා ගැනීමට උත්සාහ කිරිමයි.

නමුත් පාලන බලය ලබා ගැනීම පිණිස ඡන්ද වීමසීමකට ගොස් මහජන මතය විමසා බලා ඉන් ජ්‍රයග්‍රහණය කිරීම හරහා බලය ලබා ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් බලය ලබා ගැනීමයි.

කිසිවකු පෙරදී ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ලෙසින් බලය ලබා ගැනීමට උත්සාහ කලා විය හැකිය, නමුත් පසුව කාලයාගේ ඇවෑමෙන් යථාර්තය අවබෝධ විම නිසා හෝ වෙනයම් හෙතුවක් මත ඉන් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් බලය ලබා ගැනීමට යොමුවේ නම් එය පැහැදිලිවම අගය කල යුතුය. මන්ද එම තැනැත්තා බලය ලබා ගැනීමේ පිළිගත් නිසි මාර්ගයට අවතීර්ණ වූ නිසාය. එය සතුටු විය හැකි / යුතු කාරණයකි. ඉන් පසුව එසේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් ඒ මාර්ගයේම ගමන් ගන්නා බව පෙනී යන තත්වයකදී එවැන්නෙකු තවදුරටත් ත්‍රස්තවාදියෙකු ලෙසින් නම් කල නොහැකි තැනට පත්වෙන අතරම එවැන්නෙකු සමග ගනුදෙනු කිරිම ත්‍රස්තවාදියෙකු සමග ගනුදෙනු කිරීමක් ලෙසින් නම් කල නොහැකි තැනටද පත්වේ.

ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් බලය දැරීමට එකගවීම නිසාම පෙර ප්‍රජාතන්ත්‍රවාදී නොවෙන ලෙසින් බලය ලබා ගැනීමට කල ක්‍රියා වලට වූ වගකීමක් වේ නම් එය ඉවත් කරන බවක් අදහස් වන්නේ නැතිමුත් එවැන්නෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් බලය දැරීම, පිළිගත් සාධාරණ කාලයක් තුලදී ඵලදායි විරෝධතාවකට ලක් නොකොට ව්‍යංගයෙන් හෝ මැතිවරණයක් හරහා අර්බුදය ජයගත් රටේ පරමාධිපත්‍ය බලය දරනා ජනතාවගෙන් බහුතරයක් විසින් ඍජුව අනුමත කරන්නේ නම් එය තවදුරටත් ගැටළුවක් කරගනීමට පදනමක්ද නොවෙනු ඇත.

එය හරියටම නීත්‍යානුකූල ලෙසින් පත්වූ ආණ්ඩුවක් සහිත රාජ්‍යයකට එරෙහිව සටන් වැදි ආයුධ සන්නද්ධ සටන් කාමීන් / ත්‍රස්තවාදීන් මර්ධනය කොට ඔවුන්ගෙන් රටත් ජනතාවත් ආරක්ෂාකරගැනීම පිණිස ආණ්ඩුවක් යුධමය වශයෙන් ක්‍රියාත්මක වීමේදී එය පිළිගෙන ඒ රාජ්‍යයට සහය දීම හරහා ඍජුව කල අත දීමක් බදුය.

නො එසේ නම්

සටන් අවසන් වී කලක් යැමට මත්තෙන්ම යුධ අපරාධ වූවා යැයි හෝ වෙනත් අයුරකින් චෝදනා නොකොට සාමයේ සිහිනය යතාර්ථයක් කරගෙන නැවත නැගි සිට්න්නට දරන්නාවූ උත්සාහයට බාධා ඇති නොකොට තුවාල පෑරීමකින් වැලකී, වැටි සිටි තැනින් නැගිට පියවරෙන් පියවර ඉදිරියට යෑමට ඒ රාජ්‍යයට ව්‍යංගයෙන් කල අත දීමක් බදුය.

වග කිව යුතු බව (Accountability)

සබදතාවක් ඇති නිසා ඔබගේ නිවසේ මෙන් මෙහිද සිටින්නට හැකි යැයි කී නිසාම හෝ සබදතාවක් නැතුවා වුවද පිට තැනකට ගිය විටදී හැසිරිය යුතු ආකාරයකි. නො එසේ නම් ප්‍රදර්ශනය කරනුයේ නැහැදිච්ච කමයි. වගකීම් විරහිත බවයි.

එය සුදුසු නැත. මන්ද එක් අන්තයක් වන නිසාය. එවිට එවැන්නෙකු යලි නිවසට බැරිවීමකින් හෝ නොකැදවනු ඇත.

අනෙක් අතට

මෙහේ ආවා නම් තමුන් මේ විදියටම ඉන්නට උවමනාය, නැත්නම් පිටවී යන්නට පුළුවන්, වැනි තත්වය එනම් දැඩිම මට්ටමේ වගකීම සැලකූ කල එයද සුදුසු නැත. නිදහස බොහෝ සීමා කර ඇති බැවින් ආවාට වඩා නෑවිත් උන්නා නම් හොද යැයි සිතෙන්නට පුළුවන... ඒ අනුව එය අනෙක් අන්තයයි.

මේ අන්ත දෙකම සුදුසු නැත. ඒ අනුව මගේ තැන බදු යැයි සීමා රහිතව සිතා කටයුතු කිරිමත්, මගේ තැන නිසා ඒ අනුවම කටයුතු කල යුතු යැයි යන පිළිවෙලින් වගකීම නැතිම මට්ටමේ අන්තයත්, වගකීමේ උපරිම පැත්තෙන් අන්තයටත් යැම අත්හල යුතුය. මැද තත්වය යොදා ගැනීම හැම අතින්ම සුදුසු තත්වයයි. ධර්මයේ මධ්‍යම ප්‍රතිපදාව ලෙසින්ද අදහස් වන්නේ එවැන්නකි.

අන්තර්ජාතික නීතියට රාජ්‍යයක ඇති වගකීමද එබදුය. තමන් ස්වාධීන රාජ්‍යයක ක්‍රියා සාමාන්‍ය සිහිබුද්ධිය ඇත්තන්ගේ ඇසින් අනුමත කරන්නට නොහැකි තැනට පත්වේ නම් ඊට යම් වගකීමක් තිබිය යුතුය, නමුත් වගකියනවා යැයි කියා එහි අන්තයට යන්නටද නොහැකිය. මන්ද එවිට කිසිදු ස්වාධීනත්වයක් නොමැතිව වහලෙකු බදු තත්වයට පත්වෙන නිසාවෙනි.

සටනක් වන එකම කාරණය දෙවිදියකට දැකිය හැකිය. සටන, කැරැල්ල වන්නේ පාලන බලය දරනා අයට එනම් පාලකයින්ට එරෙහිව එය ක්‍රියාත්මක වන විටදීය, නමුත් එයම නිදහස් අරගලයක් වන්නේ පාලිතයන් විසින් නො එසේ නම් පාලනයට හසුව සිටිනා අය මෙහෙයවන විටදීය. ඒ අනුව 1815 උඩරට ගිවිසුමද කඩ කරමින් ඉංග්‍රීසීන් ක්‍රියාත්මක වන්නට පටන් ගත් නිසා 1818 දී ඇතිවූ ජන නැගිටීම කැරැල්ලක් වන්නේ ඉංග්‍රීසීන්ගේ ඇසිනි. එය අපේ පැත්තෙන් නිදහස අරගලයකි.

වගකීම ගිවිසුම් අනුව ඇති කල හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම අනුව අප රාජ්‍යයේ අන්තර්ජාතික වගකීම දක්වා ඇත. 1987 ඉංදු ලංකා ගිවිසුම හෝ 2002 දී සාම ගිවිසුම මෙන් නොව වත්මන් රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේඛම්වරයා අතර 2009 දී ඇතිවූ වගවීම වෙනස් වන්නේ පෙර කී එකගතා දෙකම ආරවුල් විසදීම පිණිස සිදුවූ වගවීම් වන නිසාත් අවසාන එක එවැනි ගිවිසුම් වලින් ජයග්‍රහණයක් ලැබීමට නොහැකි වූ තැන යුධමය තත්වයක් අවසානයේ යථා තත්වයට පත්වීම ඉලක්ක කරගෙන අන්තර්ජාතීක නීතියට වගවීමක් බව පෙන්වන එකක් වන නිසාය. එය රටට අහිතකර එකගතාවයක් නොවන බව නිසැකවම කිව හැක්කේ මූලික ව්‍යවස්ථා රාමුව වෙනස් කරන්නාවූ වගවීමක් නොවෙන නිසාය. නමුත් 1987 දී ප්‍රකාශිතව ව්‍යවස්ථාව වෙනස් කල අතරම 2002 සාම ගිවිසුම හරහා ප්‍රකාශිතව වෙනස් කීරිමක් නොවුනත් එල්ටීටීරී පාලන ප්‍රදේශ හා ශ්‍රී ලංකා රජයේ පාලන ප්‍රදේශ දැක්වීම හරහා අප්‍රකාශිතව එසේම වගකීමක් තිබුණු බව පෙනේ. ඒවා අතීතයට එක්ව ඇති බව සැබෑය. ඒ අනුව වැඩක් නැතිවා නොවේද යැයි ඇසීමද කල හැකිය. කෙසේ වුවත් අතීතය අමතක නොකර සිටීම වර්තමාන ආරක්ෂාවට සේම අනාගත ආරක්ෂාව පැත්තෙන්ද නිසැකවම වැදගත්ය.

එජා මහලේඛම්වරයා විසින් පත්කල 3 දෙනෙකුගෙන් යුතු කමිටුව විසින් කරුණු සොයා බලා වාර්තාවක් නිකුත් කිරීම පිළිබදව එල්ලවූ විවේචන පදනම් සහගතය. මන්ද එජා ප්‍රඥප්තිය අනුවම තමන්ට ඇති බලය අභිබවා කටයුතු කිරිමක් බව දකින්නට තිබුණු නිසාය. ඒ අනුව එවැන්නක් අනුව කටයුතු නොකොට සිටීම අන්තර්ජාතික වගවීම පැහැර හැරීමක් යැයි කිව නොහැකි තත්වයකි.

නමුත් අන්තර්ජාතික වගවීම ( Accountability ) අප රට විසින් අන් රාජ්‍යයන්ටද ආදර්ශයක් වන ලෙස්න් මනාව ප්‍රදර්ශණය කොට ඇත.

ශ්‍රී ලංකාව 2009 න් පසුව අන්තර්ජාතික නීතියට අනුව ලෝක සාමයට තර්ජනයක් විය හැකි ස්ථානයක නැත. මන්ද යත් අතීතයේ ත්‍රස්තවාදයෙන් බැට කෑවද අද නිදහස් සාමකාමී දේශයක් බවට පත්ව ඇති නිසාය. එමගින් එකල ත්‍රස්තවාදීයා විසින් උදුරා ගන්නාලද පැවැත්මට අත්‍යාවශ්‍යම වන්නාවූ මානව අයිතිය වන ජීවත්වීමේ අයිතියට ඉහලම වටිනාකම ලැබී ඇත. එය එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශයට අනුකූල තත්වයක් හෙවත් වගවීමකි!

රාජ්‍යයක ස්වාධිපත්‍යය සැලකූ කල එයට හිමි රැකවරණය ලබන තැන අද අපගේ රට ඇත. ත්‍රස්තවාදී ගැටුම් ඇති වෙනත් රටවල් සමග සැලකූ කල්හි අප රට ඇත්තේ ඒ හැමටම සාමය පවත්වා ගැනීම අතින් වඩා ඉදිරියෙනි. එජා විශ්ව ප්‍රකාශනයේ 21 වගන්තිය අනුව සැලකූ කල ශ්‍රී ලංකාව තුල කලට වේලාවට ( ඇතැම් විට කලට වේලාවට පෙරද ) ඡන්ද පැවැත්වේන බව දකින්නට ඇත. ත්‍රස්තවාදී තර්ජනයෙන් මිදී ඇති නිසා ජනමතය වීමසීමට නිදහස් අවකාශයද විවරව ඇත.

මානව සංවර්ධනයද ඉහල තැනක තිබීම තුල ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික වශයෙන් ඇතිවගවීම මනාව පිළිබිඹු කරන්නෙකි. 2013 වන විටදී ඉලහ මානව සංවර්ධනයක් ඇති කාණ්ඩය යටතේ රටවල් 189 ක් අතරින් 73 වැනි ස්ථානය ලැබ තිබුණි. http://www.lk.undp.org/content/srilanka/en/home/countryinfo/

අඩු පාඩු තිබෙනවා විය හැකිය. ඒ තත්වය අන්තර්ජාතික පරීක්ෂණ වලට යෑමට තරම් අඩුපාඩුවක්දැයි කෙනෙක් කියනා නිසාම නොව මනාව කල්පනා කොට සිතා බලා අදහසක් කිව යුතු තත්වයකි. බිහිසුණු ත්‍රස්තවාදි උවදුරකින් අත මිදී වසර පහ හමාරක් පමණක් ගෙවී ඇත. අන්තර්ජාතික නීතිය ප්‍රධාන වශයෙනම් ඉතා වැදගත්කොට සලකන අයුරින්ම සාමය අඛණ්ඩව අප රට විසින් රදවාගෙන යනු ලබයි. අනෙකුත් තත්වයන් වෙතට අන්තර් ජාතික නීතිය පිළිගෙන ඇත්තාවූ තරමට සේම රටේ ස්වාධිනත්වයද ආරක්ෂා කරගෙන ක්‍රම ක්‍රමයෙන් යොමු වෙනු ඇත. එය එක රැයකින් හෝ මාසයකින් දෙකකින් නොව වසර 2-3 කින් පවා කරන්නට අපහසු විය හැකිය, මන්ද සිවිල් දේශපාලන අයිතීන් වලටත් වඩා ආර්ථික සමාජීය සංස්කෘතික අයිතීන් වෙත ලගා වීම කාලය ගත කරන්නට සිදුවෙන මෙහෙයුමක් වන නිසාය.

වසර 8-9 කට පෙර තත්වයත් අද තත්වයත් කෙබදුදැයි සලකා බැලිමේදී සැබෑම වෙනසකි. කෙසේ නමුදු හැකිතාක් දුරට අන්තර්ජාතික නීතියටද වගවීමත්, දේශීයව රටේ ස්වාධීනත්වයද ආරක්ෂා කරගැනීමත් ප්‍රායෝගිකව පෙන්නුම් කරමින් ස්ථාවරව සංවර්ධන මාවතේ රට ගමන් කරමින් ඇති බව පිළිගත හැකිය. ඒ තත්වය ඉදිරියටද ආරක්ෂා කරගත යුතුය.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබ්බට ???

ඇතැමුන් කෙසේ විවේචන එල්ල කලද ජේ ආර් ජයවර්ධන මහතාගේ මූලිකත්වයෙන් බිහිවූ විශිෂ්ඨ බුද්ධිමය ප්‍රතිඵලයක් ලෙස නම් කල හැකි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට හා ප්‍රවර්ධනයට දැක්වු දායකත්වය අගය කල යුතුමය...

බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කීරිමට අවශ්‍ය පියවර ගැනීමට ශක්තිමත් නීතියක් තිබීම මහත් රුකුලක් විය. අදටද රට ආරක්ෂා වන්නේ ජේ ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවෙනි. කෙසේ නමුත් ව්‍යවස්ථාවට පමණක් එය කල නොහැකිය. ව්‍යවස්ථාව තිබුණද ප්‍රායෝගික නායකත්වය ලබා දීමේ අසාර්ථකත්වයද, ප්‍රායෝගික නායකත්වයේ සාර්ථකත්වය යන දෙකම අපි ඇස් වලින් දැක ඇත්තෙමු... ඒ අනුව ප්‍රායෝගික නායකත්වයේ සාර්ථකත්වයේ වටිනාකම එදා මෙන්ම අදටද අපට මතකය...

පරිපාලනය යන්නට බොහෝ පිරිසකගගේ දායකත්වයද සමගින් වඩා කාර්යක්ෂම කරගැනීමට ගත් උත්සාහයක් වශයෙන් බලය විමධ්‍යගත කල බව දක්වා තිබුණද ශ්‍රී ලංකා ජනරජයේ ඒකීයබවත් දේශපූර්ණත්වයත් ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාව සමත්ව ඇත. එය ප්‍රමාණවත් බව බැලු බැල්මට පෙනී ගියත් කාලයට අනුව වඩාත් ශක්තිමත් වීම වැදගත්ය.

ඒ කාලයේ එතරම් වැදගත් යැයි සිතන්නට නැතැයි සිතෙන්නට ඇති නිසා ඇතුලත් නොකරන්නට ඇතැයි සිතුවද, පක්ෂ සංධාන ගත වීමත්, අද වන විට මැතිවරණ වේදිකාවේ, පාර්ලිමේන්තුවේ සිදුවන ක්‍රියාකාරකම්ද සැලකූ කල්හි කාලයට අනුව එකතු කල යුතු කාරණා ගණනාවක් අළුතින් බිහිවී ඇත. ඒ අනුව ජේ ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථාවට වඩා ශක්තිමත් ව්‍යවස්ථාවක් බිහිවීම වැදගත්ය.

ජනතාවගේ අනුමැතියෙන්ම නව ව්‍යවස්ථාව සම්මත කිරිමට බලාපොරොත්තු වන බවද දක්වා තිබුණි. එය බෙහෙවින් අගය කල යුතු තැන ඇත. ජනතා අදහස් විමසීකමදී නව ව්‍යවස්ථාව කෙසේ විය යුතුද යන්න පිළිබදව අපගේ අදහස් නොපැකිලව ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන්නෙමු.

ආයතන වල ස්වාධිනත්වය

ආයතන වන ස්වාධිනත්වය ඇති කලේ 17 වන ව්‍යවස්ථා සංශෝධයෙන්ය යන්න හෝ ස්වාධීනත්වය යන්න ස්වාධීන කොමිෂන් මතම පූර්ණ ලෙසින් රැදේ යැයි සිතනවා නම් එය නිවැරදි නැත.

17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙරදීම ස්වාධීනත්වය යන්න ව්‍යස්ථාවේ තිබුණි. 17 වැනි සංශෝධනයෙන් රැගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කර ඇත්තේ එය තිබෙනා තැනින් යම් මට්ටමකට එසවීමට උත්සාහ දැරීම ය.

අනෙක් කාරණය නම්, පත් කරනු ලැබූවද ධූරයේ තත්වය රදවාගෙන බලතල අනුව ක්‍රියා කිරීම පෞරුෂය සමගද බැදී ඇත්තක් බවයි. එසේ කරන්නට බැරි නම් පත් කිරීම නිසාම ස්වාධීන වන්නේ නැත.

නැතුවාට වඩා ස්වාධීන කොමිෂන් සභා තිබීම හොදය.

එහෙත් ඒ වෙත යන්නට උත්සාහ කරනුයේ 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රැගෙන ආ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැනි බැලු බැල්මට හොද යැයි පෙනුනද ප්‍රායෝගිකව ගැටළු ඇති කරවිය හැකි ව්‍යුහයක් හරහා නම් සාර්ථකත්වයට වඩා අසාර්ථකත්වයට පත්වෙනු ඇත.

ඒ අනුව එහි සංකල්පය රැගෙන ගැටළු හැකිතාක් අඩු ප්‍රායෝගික ව්‍යුහයක් නිර්මාණය විම වැදගත්ය...

එළාර රජ හා ප්‍රභාකරන්

අනුරාධපුර රාජධානියේ රජ කල එළාර රජු යනු මෙරට සිහසුන පැහැර ගත් දෙමළ ආක්‍රමණිකයෙකි. අවුරුදු 44 ක පමණ කාලයක් රජකම් කරන්නට හැකිවූයේ යුත්කිසහගත භාවය නිසාත්, මෙරට තිබුණු සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව ක්‍රියාත්මක වූ නිසා බව පිළිගන්නා අදහසයි.

කෙසේ නමුදු එළාර රජු යනු එවකට මෙරට රජ කරමින් සිටි අසේල රජු මරා රාජ්‍යත්වය පැහැර ගත් අයකුය. පාලනය පැහැර ගත් විදේශීය ආක්‍රමණිකයකු වූ නිසාත් බෞද්ධ නොවූ අනුගාමිකයන්ගේ ක්‍රියාකාරිත්වය නිසාත්, රටට හානියක් වන බව අවබෝධ කරහෙන කාලයත් සමග ක්‍රම ක්‍රමයෙන් සිය බලය තහවුරු කරගෙන එළාර රජ පරාජය කිරීමට දුටුගැමුණු රජතුමා ක්‍රියාත්මක විය. දේශයේ අනන්‍යතාවය ආරක්ෂා කරගැනීමට විරුද්ධව සටනක් කිරිම පිළිගත යුතු කාරණයකි. කෙසේ නමුත් එළාර රජ මරණයට පත් කල දුටුගැමුණු රජතුමා විසින් එළාර දේහයට බුහුමන් කර සෑයක දවා එම සෑය පසු කර යන රජෙකු වුව රියෙන් බැස තූර්ය වාදන ආදිය නතර කොට බුහුමන් කළ යුතු යයි ආඥාවක් කළේද හේතුවක් ඇතිව බව හදුනා ගත හැකිය. එනම් ආක්‍රමණියකු වුවත් යම් කාලයක් තිස්සේ සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව ක්‍රියාත්මක වූ නිසා බවට පිළිගැනීමයි.

ප්‍රභාකරන් යනු කවුරුන්ද?

එළාර රජුට කිසියම් වු හෝ අයුරකින් සමකල හැකි අයෙකුද ?

ප්‍රභාකරන් යනු ත්‍රස්තවාදී උපක්‍රම හරහා ම්ලේච්ඡත්වය වපුරා මෙරට බෙදුම්වාදය ක්‍රියාත්මක කොට වෙනම දේශයක සිහින මැවූ දේශයට ද්‍රෝහී වූ ජන ඝාතකයෙක් මිස කිසිසේත්ම එළාර රජ වැනි සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගතව ක්‍රියාත්මක වූ අයකු නොවේ.