Monday, July 5, 2021

ධර්මයුද්ධය 🎬 නීතියේ ඇසින් සහ ඒ තුල අපට දෙන / ගත හැකි පණිවිඩ...

 

ධර්මයුද්ධය 🎬 නීතියේ ඇසින් සහ ඒ තුල අපට දෙන / ගත හැකි පණිවිඩ...
----------------------------------------------------------

◾️ධර්ම යුද්ධය 2 ???
මේ චිත්රපටිය නැවතුන තැනින් ඉස්සරහට අරගෙන ගිහිල්ලා දෙවැන්නක් එනවනං හොඳයි කියලා කිහිපදෙනෙක්ම කීප තැනක සඳහන් කරලා තියෙනවා දැක්කා. එහෙම අදහසක් නිකන් තියෙන වත් වගේ....
Remake එහෙම නැත්තං ප්රති නිෂ්පාදනයක් වුණත් තවත් ඉස්සරහට අරගෙන යන්න හිතනවනම් එහෙම වෙන්නේ ඒකෙ සාර්ථකත්වය ගැන ලැබෙන ප්රතිචාර නිසාම කියන එකේ වැරැද්දක් නෑ...
◾️කතාව
මේ චිත්රපටියේ කතාව ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ බලපු හැමෝම දන්න නිසා. ඕනම නං වෙලාවක ලියන්න පුළුවන්. නමුත් මේ හොයලා බලන්න යන්නේ කතාව ඒ විදිහට ගලාගෙන යාම ගැන නීතියේ ඇසෙන් කොහොමද බලන්න පුළුවන්, අපිට දෙන / ගන්න මොනවා හරි දෙයක් තියෙනවද කියන එක ........
◾️ නිර්මාණයක තිබිය යුතු අරමුණ
නිර්මාණයක් හදන්න ඕනෙ සමාජයට ධනාත්මක පණිවිඩයකුත් දෙන විදියට. මේක එහෙම නිර්මාණයක් බව පැහැදිලිවම පේනවා...
◾️ කතාව ගැන කියන කතා සහ නීතියේ අවශ්යතාවය...
බණ පොතෙන්ම ජීවත් වෙන්න අමාරුයි කියන එක පේනවනෙ. එහෙම බැරි හින්දාම තමයි නීතිපොතකුත් තියෙන්නේ. බණ පොතෙන් බැරිනම් නිසි අවස්ථාවක් උදා වුණොත් නීති පොතෙන් හරි ජීවත් වෙන්න සුදුසු පරිසරය හදාගන්න වෙනවා. ඒකෙ වැරැද්දක් කියන්න පුළුවන්ද...බෑ, හරියටම තිතට නූලට නීති පොතේ හැටියට උනා නම් කොහෙත්ම වැරැද්දක් කියන්න බෑ බණ පොත ඒ ගැන මොකක් කිව්වත්.....
අනික මෙලොව යහපත් වුණොත් විතරයි පරලොව යහපත් කරගන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් අදහස් කළේ වැරදි වැඩ වලින් මෙලොව තමන්ගේ යහපත හදාගන්න ඕන කියන එක නම් නෙවෙයි. ධාර්මිකව පාඩුවේ ඉන්න පුළුවන් පරිසරයක් හදාගන්න ඕන කියන එක. මොකද බණ පොතක් හරි කියවන්න පුළුවන් වෙන්නේ එහෙම හොඳ පරිසරයක් තිබුනොත් විතරයි. අන්න එතනට යන්න බණ පොත ප්රමාණවත් නොවෙන්න පුළුවන්. ඔය චිත්රපටිය කියන්නේ ඒ වගේ දෙයක්......
කතාව ගලාගෙන ගිය විදිහට සමහර අය නං කැමති නැතුව ඇති. කොල්ලෙක් මැරුම් කාපු සිද්ධියක් තිබුණ නිසා, හැබැයි ඉතිං ඒ තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන පැත්තකට වෙලා ඉන්න කොට නන් නෙමෙයි...
බෞද්ධයෙක් වුණත් මම නං ලියන්නේ එහෙම අය ඒ ෆිල්ම් එකේ විදිහට සමාජයෙන් සදහට ම බැහැර වෙන එක තමා හොඳම...
නමුත් තව කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ ඕවා නන් මොනාද සරල දෙයක් නේ කොල්ලා රෑ ඇවිල්ල බලාපොරොත්තු වෙච්ච දේ කරල දීලා ශේප් කරගන්න තිබ්බනේ කියල.
ඒවගේම තව කෙනෙක් මේ දිහා මැරිච්ච කෙනාගේ එහෙම නැත්තං සැකකරු වෙන්න තිබ්බ කෙනාගේ පැත්තෙන් විතරක්ම බලලා, නිර්දෝෂීභාවය පූර්ව නිගමනය ඉස්සරහට දාගෙන, නීතියේ නිසි ක්රියාදාමය අනුව ගියේ නෑ කියනවා වෙන්න පුළුවන්....
ඒ වගේ විවිධ මත තියෙන්න පුළුවන්, තිබ්බට කමකුත් නෑ, එතකොට තමයි විවිධත්වයකුත් තියෙන්නෙ, නමුත් අවස්ථානුකූලව නීතිය ඉදිරියෙන් පිළිගැනීමට ලක් වෙන්නේ ඒ මොහොතේ තිබෙන සාක්ෂි අනුව එක මතයක් පමණයී.....
◾️ කතාව තුළ ඇතුළත් නීතිය...
ෂේන් බලාපොරොත්තු වෙච්ච දේ අචිනි ගෙන් බැරිනම් අචිනිගෙ අම්මගෙන් හරි ඉෂ්ට කරගන්න හදද්දී අචිනිගෙන් අලවංගු පාර කාල ෂේන් අවලංගු වෙලා ගිය / මැරිච්ච සිද්ධියේදී නීතිය පැත්තෙන් අදාල වෙන්නේ මොන වගේ මූල ධර්මයක් ද කියලා සලකල බැලුවොත්,,,,
පුද්ගලික ආරක්ෂාවේ අයිතිය එහෙම නැත්තං right of private defence කියන එක තමයි අදාල වෙන්නේ. ඒක ඇතිවෙච්ච විදිහ, ඒ අයිතිය ඇති වෙලා තියෙන කාලය තුළ ඒක පාවිච්චි කරපු විදිහ ඉතාම සාධාරණ බව පේනවා....
දණ්ඩ නීති සංග්රහය 93 වගන්තියේ තුන්වැනුව, හතර වෙනුව පිළිවෙලින් සඳහන් කරලා තියෙන කාරණා යටතේ එනම් ස්ත්රී දූෂණය කිරීමේ අදහසින් පහරදීමක් අස්වාභාවික ලෙස කාමය සංසිඳුවා ගැනීමේ අදහසින් පහරදීමක් යන දෙකම හෝ දෙකෙන් එකක් යටතේ 95 වගන්තිය යටතේ ශරීරය සම්බන්ධව ඇතිවෙච්ච පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නැති වෙන්න කලින් සහ ඒක අදාල නොවෙන අනෙකුත් කාරණා බැහැර වෙච්ච තත්ත්වය තුළ පාවිච්චි නොකර බැරි නිසාම පාවිච්චි කරපු බව පැහැදිලිවම පේන්න තියෙනවා ඒකෙ ප්රතිඵලයක් නිසා පහර කෑමට ලක් වෙච්ච තැනැත්තා මැරුණා ඒ නිසා මැරිච්චි විදිහ පොතේ හැටියට නීත්යානුකූලයි. ඒක එහෙම නෙවෙයි කියනවනං එහෙම නෙවෙයි කියන කෙනෙක් ඒක ඔප්පු කරන්න ඕනේ.......
◾️ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කළ තැනට යාම සාධාරණද...
දවල් හරිශ්චන්ද්රගේ ලොකු දුව වෙච්ච අචිනි ට මැරුණු ෂේන් කාර් එකේ ඇවිල්ලා ඉන්නේ ගෙවල් ලඟදි මුණගැහුණා. ෂේන් පැහැදිලි කළා එයාගේ ෆෝන් එකේ තියෙන girl ඇදුම් ගලවන වීඩියෝ එක ඩිලීට් කරන්න ඕනේ නං වැඩ කරන්න ඕනේ එයාගේ ප්ලෑන් එක මොකක්ද කියලා... ඒ වෙලාවේ ඉඳන් රෑ එකොළහ වෙනකම් සෑහෙන වෙලාවකුත් තිබුණා. ඉතින් ඒ පවුලෙ අයට ඔය සිද්ධිය ගැන පොලිසියට කියලා ආරක්ෂාවක් ගන්න තිබ්බෙ නැද්ද කියලා සාධාරණ ප්රශ්නයක් අහන්න පුළුවන් කෙනෙක්ට....
ඒකට මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ඔව් වෙලාව තිබුනා. ඒම කරන්නත් තිබුණා. එහෙම නොකරන්නත් සාධාරණ හේතු පේන්න තිබුණා. ඒ තමයි අචිනි වගේම එයාගේ අම්මත් විශ්වාස කළා ෂේන් ගැන පොලිසියට කිව්වොත් ෂේන්ව අත්අඩංගුවට පත්වෙනවා, ශේන්ගේ නම ගම ප්රසිද්ධ වෙනවා, එයාටත් කරදර වෙනවා, එයාගෙ දෙමව්පියන්ටත් කරදර වෙනවා කියලා සාධාරණව හිතපු නිසා, ඒ වගේම ෂේන්ට කරුණාවෙන් කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නොත් එයා අහයි කියලා සාධාරණ විශ්වාසයකුත් තිබ්බ. ඒ දේ දකින්න තිබ්බා ෂේන් මැරුම් කන්න මොහොතකට කලිනුත් එයාට බැගෑපත් වෙලා මේ දේ අත හරින්න කියලා කිව්ව.... ඒත් ඇහුවේ නෑ, ඊට පස්සේ ෂේන්ගේ ක්රියාකාරිත්වය තුළ අචිනිට පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි නොකර බැරි තැනට පරිසරය සකස් කරලා දුන්නා ෂේන් විසින්ම..... ඊට පස්සේ එයා ඒ අයිතිය පාවිච්චි කලා.... වැරදිද... නෑ... නිත්යානුකූල ද... ඔව්... යුක්ති සහගත ද... පැහැදිලිවම...
අශේන් මැරිලා වැටුන වගේ උනාට මැරුණම නොවෙන්නත් පුළුවන්, අශේන් ව hospital ගෙනියන්න තිබ්බ කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. එහෙම කරන්න නිත්යානුකූල බැඳීමක් තියෙනවද... නෑ වගේ නේද මොකද තමන්ගේ ජීවිතයට කරදරයක් කරන්න ගිය කෙනාගෙන් ජීවිතය බේරගන්න පහර දීලා එයාව වැටුනට පස්සේ hospital එකටත් ගෙනියයි කියලා සාමාන්යයෙන් හිතන්න පුළුවන්ද. බැහැනෙ... අනික 93 වගන්තියේ හැටියට නම් උරුම වෙන්න පුළුවන් උපරිම දේත් මරණය ...
තමන්ට මරණය උරුම වෙන්න පුළුවන් ඒ වගේ දේවල් නොකර හිටිය නං ඔය මොන ප්රශ්නෙකුත් නැහැ...
◾️body එක වලකට දැමීම හරිද.... එහෙම දෙයක් වෙන්න ඇත්තේ ඇයි???
මිය ගිහිල්ලා හරි සිහි නැතුව හරි හිටිය අශේන් ගේ body එක වත්තේ වළකට දාලා වහපු එක හරිද කියලා ප්රශ්නෙකුත් අහන්න පුළුවන්...
ඒක නං වැරදියි. හැබැයි ඉතින් කාසියක දෙපැත්තක්‌ තියනවා වගේ ඔය කාරණය දිහාත් ඒ විදිහට බලන්න පුළුවන්. ඒ තමයි ඇයි ඒ වගේ පියවරකට හරිශ්චන්ද්රගේ නෝනා සහ අචිනි යන්න ඇත්තේ....... මූලිකම හේතුව විදිහට පේන දේ තමයි එයාලගේ පවුල වෙත, විශේෂයෙන් හරිශ්චන්ද්ර වෙත පොලිස් නිලධාරියෙකු වෙච්ච විමල් ගේ තිබ්බ අසාධාරණ තරහ.....
ගෙදරක වයසට ගිහිල්ලා මැරුණු කෙනෙක් ගැන උනත් පියවර ගන්න යම් විදිහක් තියෙනවා කියලා හරිශ්චන්ද්ර පවුල නොදැන හිටිය වෙන්න බෑ. හැබැයි ඊට වඩා පොලිස් නිලධාරියෙකු වෙච්ච විමල් ගේ තිබ්බ අසාධාරණ තරහත් එක නීතියෙන් එයාලට සාධාරණයක් ඉෂ්ඨ වීම කෙසේ වෙතත් ඉදිරියේදී ඇති වෙන්න පුළුවන් ප්රශ්න ගැන හිතලම ඒ සිදුවීම යටපත් කරන්න උනන්දු වුණු බව පේන්න තියෙනවා.......
හරිශ්චන්ද්ර පවුල ඒ වගේ පියවරක් වෙත ගියේ එකේ වැරැද්ද සම්පූර්ණයෙන් එයාලා මත විතරක් පටවන්න බෑ... තමන් ගත්ත පියවරක් හරි නම් නීතියෙන් තමන්ට සාධාරණයක් වෙනවා කියන දැඩි විශ්වාසය මිනිස්සු තුළ නැතිනම් නීතිය ඉදිරියට එන්න මිනිස්සු බය වීම වෙන්න පුළුවන්. කොටින්ම තමන් දැක්ක දෙයක් දැක්කයි කියලා කියන්න කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නැත්තං එයා ඒම කරන එකේ වැරැද්දක් තියෙනවා වගේම ඒ වගේ දෙයක් කරන්න තියෙන යම් සාධාරණ පෙළඹවීමක් තියෙන්න පුළුවන්, එහෙම නම් එතනත් වරදක් තියෙනවා. ඒ තුළ යම් යම් දෑ සැඟවී යනවා වෙන්නත් පුළුවන්..... එහෙම තත්ත්වයක් තියෙනවා නම් ඒක අනිවාරෙන්ම වෙනස් වෙන්න ඕනේ. එහෙම නොවී හුදෙක් හරිශ්චන්ද්ර වගේ අයට දොස් තැබීම සාධාරණත් නෑ.......
◾️ තමන්ට අවාසියට තිබිය හැකි සාක්ෂි හඳුනාගත් හරිශ්චන්ද්ර සහ ඔහුගේ ප්රතිචාරය
♦️ යම් කිසි කරුණක පැවැත්ම ඔප්පු කරන්න සාක්ෂි අවශ්යයි. සමහර කාරණා මූලිකවම පිළිගන්න තැන තියෙන්නෙ. ඒක එහෙම නෙවෙයි කියනවනං ඒක සාක්ෂි ගෙනල්ලා ඔප්පු කරන්න ඕනේ. උදාහරණයක් විදිහට නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය..........
♦️ ඇසිදුටු/ සෘජු සාක්ෂි නැත්නම් පරිවේශනීය සාක්ශි භාවිතා කරන්න පුළුවන් පැමිණිල්ලට.....
ගෙදර ඇවිල්ලා සිද්ධිය ගැන දැන ගත්ත හරිශ්චන්ද්ර ඊට පස්සේ කළේ එයා ෆිල්ම් බලලා ඉගෙන ගෙන තිබුණා විදිහටම එයාලගේ පවුල වෙත එල්ල වෙලා තියෙන්න පුළුවන් කියල හිතෙන සාක්ෂි හඳුනාගෙන ඒවා එකින් එක ඉවත් කරන්න පියවර ගත්ත එක.
මොනවද ඒ,,,
🔷එක ප්රධාන සාක්ෂියක් තමයි ෂේන් ගේ body එක. ඒක ඒ වෙද්දි ම එතැනින් ඉවත් කරලා තිබුණේ, ලේ බින්දුව කුත් නැතිව, ඒක සමහරවිට හරිශ්චන්ද්ර ලගෙ වාසනාව වෙන්නත් පුළුවන්.....
🔷අනික එතනට ෂේන් ආව කියන්න සාක්ෂිය කුත් ඉතිරි වෙන්නේ නැතුව කැඩිලා බිඳිලා ගිහිල්ලා තිබුණු ෆෝන් එකේ කෑලිත් අයින් කළා.....
🔷සිද්ධිය වෙච්ච තැන වැටිලා තිබුණු ෂේන් ගේ ෆෝන් එකේ sim card එක අතින්වත් අල්ලන්නේ නැතුව අරගෙන ඇවිල්ලා, ඒක වෙන ෆෝන් එකකට දාලා කුණු ලොරියකට විසි කලා. sim එකේ ඇගිලි සලකුණු වැදෙන්නේ නැති වෙන්න ඒක ගත්ත විදිහ සැලකුවම හරිස්චන්ද්ර ඒව නම් ෆිල්ම් බලලම තමයි ඉගෙන ගන්න ඇත්තේ.....
ඇසිදුටු සාක්ෂි, CCTV, video, photo, screenshot, audio recording ඇරුනම පිළිගන්න සාක්ෂි විදියට සලකන පරිවේශනීය සාක්ෂි විදිහට ගන්න පුලුවන් හොඳම ස්ථානය, අපරාධ ස්ථානය ඒ විදිහට වෙනස් වුණා. හැබැයි තව අවස්ථා තිබ්බා හරිස්චන්ද්ර ව කොටුකර ගන්න. ඒවට මොකද උනේ බලමු....
ෆෝන් එකට සිම් එක දාන වෙලාවේ ෆෝන් එක රිංග් උනා. එතකොට එතන ලොකේෂන් එක ගන්න පුළුවන් නේද... sim එක වෙන ෆෝන් එකකට නොදාම කොහේ හරි කුණු ගොඩ කට විසි කලේ නෑ...
🔷ෂේන් හරිශ්චන්ද්ර ලගේ ගෙදර ආවෙ නෑ කියන්න බාධාවක් වෙච්ච ඊළඟ සාක්ෂිය ෂේන් ගේ කාරෙකට කරපු දේ....... ඒක ගිල්ලුව හැබැයි ගිනි තියලා සම්පූර්ණයෙන්ම විනාශ කරනවා වගේ තැනකට ගියෙ නෑ....
◾️ හඳුනාගැනීම නිවැරදිව විය යුතුයි.
ආලෝක ප්රමාණය, අනිත් කෙනා ඉන්න දුර, හඳුනා ගැනීම කරන කෙනාගේ පෙනීමේ හැකියාව, හඳුනා ගැනීමට තිබිය හැකි අනෙකුත් පරිසර බාධා, විතරක් නෙවෙයි කෙනෙක්ගේ මානසික තත්වය උනත් තව කෙනෙක්ව නිවරදිව අදුන ගැනීමේදී සැලකිය යුතුයි. හරියටම පළවෙනි වතාවෙම අඳුර ගන්න බැරි උනාට නැවත කතාවක් දැක්කොත් අඳුර ගන්න පුලුවන් කියන පදනම මත අවශ්ය වුනොත් හදුනාගැනීමේ පෙරට්ටුවක් තියෙන්නත් පුළුවන්. හැබැයි ඒක කරන්නේ මහේස්ත්රාත් අධිකරණයේදී......
🔷ෂේන් ගේ කාරෙක හරිශ්චන්ද්ර අරගෙන යන්න කාර් එකට නගිනවා පොලිස් නිලධාරියෙකු වෙච්ච විමල් ඈත තියා දැක්කා.... ඒත් එයා විතරමද කොහෙද දැක්කේ, අනික එයා කියන දේ කවුරුත් විශ්වාස කළෙත් නැහැ, එහෙම වුණේ එයා හරිස්චන්ද්ර එක්ක හිත් අමනාපයෙන් හිටිය කියන එක පොලිසියේ අයත් ඇතුළුව ගමේ හැමෝම වගේ දැනගෙන හිටිය නිසා. ඒ නිසාමද මන්දා එයා කියන දේ තහවුරු කර ගන්න පුළුවන් කිසිම සාක්ෂියක් එයාට හොයාගන්නත් බැරි වුණා.....
ඒ අනුව ෂේන් ගේ කාර් එක වගේ කාර් එකක් හරිස්චන්ද්ර අරගෙන ගියා ඒක ඒ කාර් එක වෙන්න පුළුවන් කියන්න සහ ඒ කාර් එක එයාට කොහෙන්ද කියලා එහෙම එහෙම ප්රශ්න කරගෙන යන්න තිබුණු එකම ඇසින් දුටු සාක්ෂියත් අහකට ගියා....
◾️ අතුරුදහන් වූ කෙනෙකුට සිදුවි තිබිය හැක්කේ කුමක්ද
සිද්ධිය වුණේ අගෝස්තු 2, ෂේන් අතුරුදහන් වෙලා තිබුණෙත් අගෝස්තු 2 ඉදල...
කෙනෙක් අතුරුදහන් උනොත් එක්කෝ යම් තැනක සැඟවිලා හෝ සඟවලා ජීවතුන් අතර ඉන්නවා වෙන්න පුළුවන්, එහෙම නැත්තං මිය ගිහිල්ලා වෙන්න පුළුවන්....
සාක්ෂි ආඥා පනතේ 108 වගන්තිය අනුව යම් කෙනෙක් ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන ප්රශ්නය මතු වෙලා තියෙද්දි එම තැනැත්තා ගැන තොරතුරු දැනගත හැකිව තියෙන අයට එම තැනැත්තා ගැන තොරතුරු දැනගන්න නොලැබී වසරක් ගත වුණොත් සලකන්නේ ඒ තැනැත්තා මැරුණයි කියලා...
◾️ විමසිලිමත් නුවණට හසුකරගත් හරිශ්චන්ද්ර ගේ ප්රතිනිර්මාණය
හරිස්චන්ද්ර ල භාවනා වැඩසටහනට ගමින් පිට ගියේ අගෝස්තු 2 නෙමේ වුණත් අගෝස්තු 2 විදිහට ප්රති නිර්මාණයක් කරලා තිබ්බා...
ඒක කොච්චර තාත්ත්වික ද කියනවා නං ගමෙන් පිට වීමේ ඉඳලා ආපහු ගෙදරට එනකල්ම එයාලා ආගිය තැන්වල හිටපු අයට හිතාගන්නවත් බැරි විදිහට සාක්ෂි තිබ්බ අගෝස්තු 2 ගමේ හිටියෙ නෑ කියන්න.
◾️ අන්යස්ථානිකභාවය
නීතිය අනුව ඒකට කියන්නේ අන්යස්ථානිකභාවය / Alibi කියල... යම් අපරාධ සිදුවීමක් වෙන වෙලාවේ ඇගිල්ල දික් වෙන එහෙම නැත්තං සැකයට බඳුන් වෙන තමන් ඒ ස්ථානයේ හිටියේ නෑ වෙන තැනක හිටියේ කියන එකයි සරල අදහස....
අන්තර්ජාලයේ හොයලා බැලුවොත් the defense of Alibi කියලා තියේවි. හැබැයි ඒක විත්තිවාචකයක් විදිහට සලකන්නේ නෑ. plea of Alibi කියලා නං කියනවා. අපේ සාක්ෂි ආඥා පනතෙ 101 ඉදල ඉදිරියට බැලුවම තියෙන වගන්ති අනුව සහ 106 වගන්තියත් අනුව කරුණක පැවැත්ම තියෙනවයි කියන කෙනා ඒක ඔප්පු කරන්න ඕනේ.
105 වගන්තිය අනුව අපරාධ චෝදනාවක් එල්ල වුන කෙනා අරගෙන එන විත්තිවාචකය වැඩි බර සාක්ෂි මත ඔප්පු කරලා පෙන්නන්න ඕනෙ හැබැයි Alibi කියන්නේ විත්තිවාචකයක් නොවෙන යම් කරුණක් පමණක් වෙන නිසා කරුණක පැවැත්ම පෙන්නුවොත් ඇති.... ඒක හරිශ්චන්ද්ර ඕනෑවටත් වැඩිය කළා bill ටිකට් සහ එයා එක්ක කතා කරපු අයට අගෝස්තු දෙවැනි දා කොහෙද ගියේ කියන එක කටපාඩම් කරවලා....
ඒ හැමදේම හරිශ්චන්ද්ර කරලා තිබුණේ නීති පොතේ දැනුමෙන් නන් නෙවේ චිත්රපටි බලලමයි.
◾️ ඕනෑවටත් වඩා සූදානම් වීම තුළ සැකය මතු වීම...
අන්න ඒක එයා කෙරෙහි සැකය වෙන පැත්තකින් එල්ල වෙන්න හේතු වුණ බව පෙන්න තිබ්බ එයාටම නොදැනී.....
ලබා දෙන සාක්ෂියක් හොඳ මතකයෙන් විශ්වාසයෙන් පැහැදිලිව නිරවුල්ව දෙන්න ඕන කියන එක වගේම කීප දෙනෙක් සාක්ෂි දෙද්දී සාක්ෂියේ ඒකාකාර බව ආරක්ෂා වෙලා තියෙන්න ඕන කියන එක හරිශ්චන්ද්ර film බලල ඉගෙනගෙන තිබිලා හැඩයි. ඒක හරියටම හරි. හැබැයි නිතිය විෂයක් විදිහට හදාරලා තිබ්බෙ නැති හරිස්චන්ද්රට විශේෂයෙන්ම නීතිය ක්රියාත්මක කරන කෙනෙක් / නීතිය කොහොමද ඕවගෙ දෙයක් දිහා බලනවා ඇත්තේ කියන එක ගැන ලොකු අවබෝධයක් තිබුනෙ නැති හැඩයි. විශේෂයෙන්ම පොලිස් නිලධාරියෙක් තමන්ට ලැබෙන ඉතා කුඩා සිදුවීමක් දිහා උනත් දැඩි සැකයෙන් බලනවා කියන එකත් ඒ නිසාම ඕනෑවට වඩා දෙයක් තාත්විකයි කියලා පෙන්නන්න යෑම තුළත් සැකයක් මතු වෙන්න පුළුවන් කියන දේ හරිශ්චන්ද්ර නොදැන හිටිය වගේ......
ප්රති නිර්මාණය කරපු සිද්ධිය බැලු බැල්මට ඇත්ත වගේ තමයි. හැබැයි හරිශ්චන්ද්ර ලා ආ ගිය තැන් ගැන එකපාරක් දැකපු අහපු අය එයාලව කාලෙක ඉඳන් දන්නවා වගේ හොඳ මතකයෙන් කොහොමද ඒ ගැන කියන්නේ සහ ඔක්කොම එකම දේ තක්කෙටම කියන සැකයයි lawyer කෙනෙකුත් උන ෂේන් ගේ අම්ම විශාකාට ආවේ. ඒ තුල ටික ටික මෝරපු සැකය තුළ අන්තිමට වෙච්ච දේ ප්රතිනිර්මාණය කර ගන්න පුළුවන් වුනා වගේම හරිස්චන්ද්ර වගේම අනික් අය කිව්වා කතා ඇත්ත උනත් date විතරක් වැරදි බවත් imagine කරන්න පුළුවන් උනා ......
◾️ විමල් පොලිස් නිලධාරියාගේ සාක්ෂිය පිළිනොගන්නා තැනට පත් වීම
හැබැයි පොලිස් පරීක්ෂක විමල් ඇහෙන් දැකපු දේ වෙච්ච ශේන්ගේ කාරෙක වගේ කාර් එකක් හරිශ්චන්ද්ර අරගෙන යනවා දැක්ක දේ හැරෙන්න අනිත් imagine කරපු කාරණා එකක් වත් ඔප්පු කර ගන්න ව තියා හරිස්චන්ද්ර ව සැකකාරයෙක් කරන්නවත් ප්රමාණවත් සාක්ෂි පොලිසියට තිබ්බෙ නෑ.... කොටින්ම විමල් දැකපු දේ විශාකා ඇරුනම වෙන කිසිම කෙනෙක් පිළිගත්ත බවක් පේන්න තිබ්බෙත් නැහැ...
සාධාරණ සාක්ෂි නැතුව කෙනෙක් සැකකාරයෙක් හරි කරන්නේ කොහොමද...
ඇත්තටම හරිශ්චන්ද්රල ගමෙන් ගිහින් තිබුණේ අගෝස්තු 4, 5 ඒ කියන්නේ ශේන්ගේ අතුරුදහන්වීමට දවස් දෙකකට වගේ පස්සේ. යම් සිදුවීමක් ඒ උනාට පස්සේ යම් තැනැත්තෙකුගේ සාමාන්ය හැසිරීම සාධාරණ හේතුවක් නැතුව වෙනස් වෙලා තිබුනොත් ඒ සිද්ධියට ඒ තැනැත්තාගේ යම් සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියන දේ / අපේ සාක්ෂි ආඥා පනතේ 8(2) පසු හැසිරීම කියන දේ වහන්නත් එක්ක හරිශ්චන්ද්ර එයාට හම්බ වෙච්ච හැමෝම එක්ක අගෝස්තු 2 ක ගමන ගැන මතක් කරා.
හැබැයි පොලිසියෙන් හොයාගෙන තිබුණා අචිනි අගෝස්තු 4, 5 ඉස්කෝලෙ ගිහිල්ලත් නැහැයි කියලා...
◾️ පොලිස් අත්අඩංගුවේ දී අඩන්තේට්ටමට ලක්වීම
පොලීසියේදී කරපු බියවැද්දීම පහරදීම ගත්තම එහෙම කරන්න පොලිසියට අයිතියක් නෑ නේද කියන කාරණයට උත්තරය නම් පැහැදිලිවම ඔව්.... නමුත් ඇත්තක් දැනගන්න යම් මට්ටමකට හරි බයක් තර්ජනයක් නොකර පුළුවන්ද කියන ප්රශ්නේත් තියෙනවා. මම ඒකෙන් අදහස් කළේ නැහැ එහෙම කරන්න ඕන කියලා නන්..... නැත්තං කෙනෙක් අනිත් ඔක්කොම තියලා ඒ පොඩ්ඩ විතරක් අල්ලගන්න පුළුවන් ඒකයි ඒක විශේෂයෙන්ම ලිව්වෙ.
ඒ වගේම තව වැදගත් කාරණයක් තමයි, යම් වරදක් තමන් කළයි කියලා පොලිසියට කරන ප්රකාශ එහෙම නැත්නම් පාපොච්චාරණ ඒ තැනත්තාට එරෙහිව භාවිතා කිරීමේ හැකියාවක් අපේ නීතිය තුළ නැති බව....
ඒ කියන්නේ හරිස්චන්ද්ර හෝ හරිශ්චන්ද්රගේ පවුලේ කෙනෙක් ෂේන් මැරුවා කියලා කෙලින්ම පොලිසියට කිව්වත් ඒ ප්රකාශය එහෙමම අරගෙන ඒ මතම චෝදනා ඔප්පු වුණා කියලා සලකන්නෙ නෑ. ඒක වෙනම සාක්ෂි මගින් ඔප්පු කළ යුතුයි.
පොලිසියට කරන වරද කියාපෑමක් චෝදනා ලබන අයට එරෙහිව සත්ය බැව් ඔප්පු කරන්න පාවිච්චි කරන්න බැරි නිසා පොලිසියට සිද්ධ වෙනවා වෙනත් සාක්ෂි හෝ වරද කියාපෑම හරහා යම් කිසි ද්රව්යමය දෙයක් සොයා ගන්න. එහෙම හොයා ගත්තත් අනාවරණය කරන ලද කරුණට අදාල තොරතුරු ප්රමාණය විතරක් එම තැනැත්තාට එරෙහිව ඔප්පු කරන්න පුළුවන්. එතනදිත් යම් ස්ථානයක තිබූ යම් දෙයක පැවැත්මට අදාළ දැනුම ගැන පමණයි සලකන්නේ.
එකපාර තේරුම් ගන්න ටිකක් අමාරු වගේ වුණත් මේ දේවල් තියෙන්නේ මිනිසුන්ගේ ම යහපතට..... මොකද පොලිසිය තමන්ගේ රාජකාරි බලය වැරදි විදිහට පාවිච්චි කළොත් ඒකෙන් සැළකිය යුතු හානියක් විය හැකියි කියලා හඳුනගෙන තියෙන නිසාම....
◾️ මාධ්යයේ සහාය ලබා ගැනීම
මාධ්ය කියන්නෙ අද වෙනකොට යම්කිසි සිදුවීමක් සමාජගත කරන්න භාවිතා කරන්න පුලුවන් ප්රබලම අවියක් කියලා ලියන එක නිවැරදියි.
හරිස්චන්ද්ර තව අපූරු වැඩකුත් කරලා තිබ්බා. ඒ තමයි එයාවයි පවුලේ අයවයි බලෙන් පොලිසියට ගෙනිච්චොත් ඒ ගැන media එකට කියන්න කියලා දැනුවත් කරලා තිබ්බ එක...
ඒ වැඩේ ඒ විදිහටම වුණා. ගමේ සෙනගත් හරිස්චන්ද්ර අතුලු පවුලේ අය වෙත පොලිසියේ සැකය එලවීම ගැන සෑහෙන විරෝධයකින් හිටියේ.... කතාව ඇත්ත නේ හරිශ්චන්ද්ර කියන්නේ කාටවත් කරදරයක් නැතුව තමන්ගෙ උත්සාහයෙන් දියුණු වෙච්ච අනිත් අයටත් පුළු පුළුවන් විදිහට උදව් කරගෙන පාඩුවේ හිටිය මනුස්සයෙක් නෙ...
◾️ වලෙන් සොයා ගැනීමට බලාපොරොත්තු වූ සාක්ෂිය
අගෝස්තු 2 වැනිදා රෑ වැස්සේ එයාගේ අම්මයි අක්කයි වලකට මොනවා හරි දාලා වහනවා කියන එක දැක්ක බව හරිශ්චන්ද්රගේ බාලම දියණිය වෙච්ච සචිනි බයටම කිව්ව තොරතුර උඩ පොලව හාරලා බැලුවත් සතෙක්ගේ dead body එකක් මිසක් මනුස්සයෙක්ගේ body එකක් තියා කෑල්ලක්වත් හොයාගන්න ලැබුණේ නෑ.......
corpus එක හෝ අඩු ගානේ කොටසක් හෝ හොයාගත්තේ නැත්තං කොහොමද එතනින් එහාට ඉදිරියට යන්නේ........ නැවතීමේ තිත තියන්නයි වෙන්නේ.....
ඒ ප්රධාන හේතුව නිසාත්, වෙනත් කිසිම හරිහමං සාක්ෂියක් හරිශ්චන්ද්ර ට එරෙහිව හොයාගන්න බැරිවුණු නිසාත්, ගමේ මිනිස්සුන්ගෙ පැත්තෙන් හරිශ්චන්ද්ර ට කිසිම චෝදනාවකුත් එල්ල නොවුණු නිසාත් වගේ කාරණා උඩ හරිශ්චන්ද්ර ට එරෙහි ව තිබුණු යම් තරමක සැකය උනත් බැහැර කර ගන්න පොලිසියට සිද්ධ වෙනවා.
◾️ අපරාධ ස්ථානය තවදුරටත් සාක්ෂි සහිත ස්ථානයක් නොවීම
පොලීසියෙන් හරිශ්චන්ද්රගේ ගේ ඇතුලෙ සර්ච් කරාද කියන එක පැහැදිලි නැහැ. හැබැයි search කරත් වැදගත් මොකවත්ම හොයාගන්න බැරි වෙන විදිහට ඒ සිද්ධිය වෙච්ච ස්ථානය හරිස්චන්ද්රයි එයාගේ පවුලේ අයයි එකතුවෙලා සුද්ද කරා.
◾️ වැඩ වරදාගත් පොලිස් නිලධාරියා
හරිශ්චන්ද්ර පවුලට පොලිසියෙන්, විශේෂයෙන් වීමල් කියන නිලධාරියාගෙන් වෙච්ච සියලුම පීඩා ගැන ඒ අය වගේම ගමේ අයත් මාධ්යයට කිව්වා. ෂේන් ගේ අතුරුදහන් වීමට හරිශ්චන්ද්ර හෝ ඒ පවුලේ අයගේ සම්බන්ධයක් නැහැයි කියන එක breaking නිවුස් එකක් විදිහට ටීවී එකෙත් ගියා......
කොහොමහරි අන්තිමට ෂේන් ගේ කාරෙක වගේ කාර් එකක් හරිශ්චන්ද්ර අරගෙන යනවා දැක්ක උනත් පොලිස් බලය වැරදි විදිහට පාවිච්චි කරපු පොලිස් පරීක්ෂක විමල්ට ජොබ් එකත් නැති වුණා.
◾️ පුතු ගැන බලාපොරොත්තු තැබූ දෙමව්පියන්
ෂේන් ගේ dead body එක හොයා ගන්නෙ නැතුව එයා ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියන එක හොයා ගන්නත් බැරි වුණා...... ෂේන් අන්තිමට කතා කරපු යාලුවගෙන් ලැබිච්ච තොරතුරෙන් පස්සේ ෂේන් ගේ අම්මා තාත්තාත් ෂේන් ව හොයන එක නැවැත්තුව වගේ. තමන්ගේ පුතණ්ඩියගේ චරිතෙ ගැන දැනගත්තට පස්සේ හොයලා වැඩකුත් නැහැ කියල හිතෙන්නත් ඇති.
හැබැයි ශේන්ගේ අම්මයි තාත්තයි අන්තිම වතාවට උත්සාහ කළා හරිස්චන්ද්ර ගෙන් පුතාට වෙච්ච දේ හරියටම දැනගන්න. ඒත් බැරි උනා, හැබැයි හරිස්චන්ද්ර ඇඟ බේරගෙන කියන්න ඕන ටිකත් කිව්වා වගේ....
◾️ පොලිසියේ සැකය බැහැර වීම
හරිස්චන්ද්ර ඇතුළු පවුලේ සාමාජිකයන්ට එරෙහිව ඒ අපරාධය කළා කියල ඔප්පු කරගන්න ප්රමාණවත් තියා අහලකින් යන තරමට වත් සාක්ෂි නැති නිසා, තව පැහැදිලිව කිව්වොත් වෙලා තියෙන දේ විශාකා නිලධාරිනියට imagine කරන්න පුළුවන් වුණත් ඒවා ඔප්පු කරගන්න සාක්ෂි නැති වීමත්, ෂේන්ව හරිශ්චන්ද්රගේ පවුලේ සාමාජිකයෝ විසින් මැරුවා කියල චෝදනා කරන්න වැදගත්ම සාධකය උන එයාගෙ dead body එක හොයා ගන්න බැරි වීමත් නිසා හරිස්චන්ද වෙත තවදුරටත් සැකය තියාගෙන වැඩක් නැති තැනට පත්වුණා....
හැබැයි පොලිසිය හරිශ්චන්ද්ර පස්සේ පන්නන එක නවත්තලාත් නෑ වගේ.....
ඒත් ෂේන් ගේ dead body එක කවදා කොහොම හොයාගන්න ද... ඒක වල දාලා තියෙන්නේ අලුතින් හදපු පොලිසියේ ගොඩනැගිල්ල තිබ්බ ඉඩමෙම වෙද්දී..........
මොනව හරි දෙයක් තමන්ගෙ වත්තෙ වල දානවා කියන දේ දැක්ක හරිශ්චන්ද්රගේ බාලම දියණිය හිටියත් එයා දැක්කෙත් නෑ ඇත්තටම මොකද වුණේ කියලා. හරිශ්චන්ද්ර දැක්කෙත් නෑ, එයාගේ නෝනා වගේම අචිනි විතරයි සිද්ධිය දැක්කේ. එයාලා ඒ ගැන කට හොල්ලන්නෙ නැතිකොට ඇසින් දුටු සාක්ෂියකුත් නෑ... පොලිස් කොස්තාපල් විමල් දැක්කෙ හරිශ්චන්ද්ර රතු පාට කාර් එකකට නැගලා යනවා විතරයි. ඒ කතාව කවුරුත් පිළි ගත්තෙත් නෑ, පිළිගත් තම වුණත් ඒ කාර් එක ෂේන්ගෙමයි කියලා කියන්නත් බෑ ලේසියකට. ඒ වගේම විමල් දැක්කෙ මම නෙමේ මම වගේ හැඩහුරුකම තිබ්බ වෙන කෙනෙක් කියන කතාව කියල සැකයක් ඇති කරන්න හරිස්චන්ද්රට පුළුවන් තැන තිබ්බේ. එහෙම වුනොත් විමල්ගේ සාක්ෂිය වැඩක් නැති වෙන තැන වැටෙන්න ඉඩත් වැඩියි....
◾️ කාලාවරෝදයෙන් බාධාවක් නැති මිනීමැරීමේ වරද
නීතියට අනුව අපරාධ වැරදි දෙකක් සඳහා චෝදනා ගොනු කරන්න කාලාවරෝධය බලපාන්නෙ නෑ. ඒ එකක් තමයි මිනී මැරීමේ වරද කියන්නේ. නමුත් යම් තැනැත්තෙක් එරෙහිව මිනීමැරීමට චෝදනා කිරීමට අදාළව පමණක් නෙවෙයි වෙනත් යම් වැරැද්දක් කළයි කියන්න ප්රමාණවත් සාක්ෂි අතේ නැත්නම් ඒ තැනැත්තාව සැකකාරයෙක් කරගන්නත් බැරි වෙනවා. මේ නිර්මාණයේදී හරිශ්චන්ද්ර ට අවස්ථාව තියෙනවා තමන්ට සහ තමන්ගේ පවුලේ අයට එරෙහිව පොලිසියෙන් එල්ල වෙච්ච පීඩාවලට ප්රතිකර්මයක් ගන්න නීතිය ඉදිරියට එන්න නම්...
◾️ අපරාධයකට සැක කරන තැනැත්තා හඳුනා ගත යුතු වීම.
කෙනෙක් අපරාධයක් කළා කියලා ඔප්පු කරගනිද්දී වැදගත්ම සාධකයක්‌ තමයි ඒ අපරාධය කළේ කවුද කියන එක හොයාගන්න එක. වරද කරපු පුද්ගලයෙක්ව හරියට දන්නේ නැතුව අපරාධ චෝදනාවක් එල්ල කරන්න බැරි වෙනවා. ඒක බොහොම සරල කාටත් තේරෙන දෙයක්. මොකද කෙනෙක් දන්නේ නැතුව චෝදනාවක් එල්ල කරන්න බැරි නිසා.
◾️ අපරාධ නඩුවක ක්රියාකාරීත්වය
ඊට පස්සේ පැමිණිල්ලේ නඩුව පටන් ගත්තම ඒ තැනැත්ත කරපු සාවද්ය ක්රියාව, සාවද්ය මනස, වගේම සාවද්ය ක්රියාවේ අඛණ්ඩ නොකැඩුණු ප්රතිඵලයක් විදිහට අපරාධමය ප්රතිඵලය ලැබුන කියන එක සාධාරණ සැකයෙන් ඔබ්බට සාක්ෂි වලින් ඔප්පු කරගන්න ඕනේ. පැමිණිල්ල ඒ දේ කළොත් ඊට පස්සේ විත්තියට අවස්ථාව තියෙනවා නිහඬව ඉන්න හෝ විත්ති කූඩුවේ ඉඳලා ප්රකාශයක් කරන්න හෝ එහෙම නැත්තං තමන්ම සාක්ෂි දෙමින්, තවත් සාක්ෂිකරුවෝ කැඳවමින් වීත්තිය විශ්වාස කරන විත්තිවාචකයක් හරි, ව්යතිරේක අවස්ථාවක නඩුව තියෙනවා කියන එක හරි, එතැන හිටියේ නෑ කියන එක හරි ගැන කරුණු කියන්න.
ඔය ඔක්කොම කරන්න කලින් නඩුවක් උසාවියේ දාන්න ඕනේ. ඊට කලින් සාක්ෂි එකතු කරගෙන පොලිසියේ විමර්ශන සාර්ථකව අවසන් වෙන්න ඕනේ. පොලිසියේ විමර්ශන සාර්ථකව අවසන් වෙන්න ප්රමාණවත් සාක්ෂි තියෙන්න ඕනේ.....
කෝ සාක්ෂි.... කොහෙන්ද ගේන්නේ...
එහෙම නැත්නම් නිර්දෝෂි භාවයේ පූර්ව නිගමනය කඩනව තියා කඩන්න හිතන්නවත් බැරි වෙනවා...
චිත්රපටයේ වුණේ ඒ වගේ දෙයක්...
◾️ සැකකාරයෙක්, මෘතදේහයක් සොයාගත නොහැකි වූ ලෙසින් කතාව අවසන් වූයේ ඇයි....
සාමාන්යයෙන් crime/thriller/action වර්ගයේ චිත්රපටි වල පොඩි සාක්ෂියක්‌ හෝ සාර්ථක නඩුවක් අරගෙන එන තැනට වැරැද්ද කරපු කෙනාව අල්ලගන්න තැනට ගෙනල්ලා යි නවතින්නේ, මොකුත්ම සාක්ෂියක් නැතුව ඉන්නකොට අඩුම ගානේ කෙස්ගහක් හරි හම්බ වෙනවා, නමුත් මේ වගේ අවසානයක් ඇතිව ඉවර වුණු එකක් දෙකක් වගේ චිත්රපටි තමයි මම දන්න විදිහට නං තියෙන්නේ....
ඒකට හේතුවකුත් හිතාගන්න පුළුවන්......
ඒ තමයි වැදගැම්මකට නැති මට්ටමේ මිනිස්සු නං සමාජයෙන් යම් ආකාරයකින් බැහැර වුනෝත් ඒ වගේ දේවල් ගැන හොයලා වැඩකුත් නැහැයි කියන එක. දෙයියෝවත් ඒ වගේ අය දිහා බලන්නේ නෑ කියන එක....
ඇත්තට කවුද මේ ෆිල්ම් එකේ ෂේන් මගේ කෙනෙක් මැරුණට දුක් වෙන්නේ...... අම්මා තාත්තා ඇරුනම වෙන කවුරුවත්ම දුක් වෙන්නේ නැති වෙයි...
◾️ හරිශ්චන්ද්රරට එරෙහිව එල්ල කළ හැකි සාධාරණ චෝදනාවක් නීතියට අනුව තිබේ ද...
අපි ෆිල්ම් එක දිහා පිට බලන අය නිසා වෙච්ච සිද්ධිය a to z දැනගෙන හිටියට නිර්මාණය තුළ ඉන්න කෙනෙක්ට සම්පූර්ණ සිද්ධිය දැනගන්න විදිහක් නැති නිසා නීතිය පැත්තෙන් හරිස්චන්ද්ර ට චෝදනාවක් එල්ල කරන්න පුළුවන් කිසිම සාධාරණ පදනමක් හොයාගන්න බැරි තැන තියෙන්නෙ.
හරිශ්චන්ද්රගේ නෝනාටවත් හරිශ්චන්ද්ර කිව්වේ නෑ dead body එකට මොකද කළේ කියන එක. ඒක දන්නේ චිත්රපටිය බලපු ප්රේක්ෂකයෝ වෙන අපි විතරයි. ඒ අනුවත් හරිස්චන්ද්රව යම් කරදරේක පැටලුනත් එයාගේ පවුලේ නෝනයි ළමයි දෙන්නවයි ආරක්ෂිතයි...
◾️ශේන්ගේ ඉරණමට හේතුව.
ෂේන්ගේ අම්මට තාත්තට ෂේන්ව නැති උන දුක ඇති. ඒකෙ වැරැද්දකුත් නැහැ හැබැයි ෂේන් ට ඒ ඉරණම අත් වුනේ පන්සලේ මල් පූජා කරන්න ගිහිල්ලා ගාථා කිය කිය ඉන්දි නන් නෙවෙයි. රැලේ යන සුනඛයෙක් ටත් හපන් විදිහට කාමආශාව ඉහට ගහල ඒකෙන් තව කෙනෙක්ව විනාශ කරන්න යද්දි... ඉතින් එහෙම වෙලාවක එහෙම කෙනෙක් මැරුණ කියල අපි දුක් වෙන්න ඕනද... නෑනේ.....
◾️ හරිශ්චන්ද්ර ඇත්තටම වැරදිද
හරිස්චන්ද්ර තව කෙනෙක්ට හානි කරන්න උවමනාවෙන් චිත්රපටි බලලා ලබා ගත්ත දැනුම පාවිච්චි කළේ නෑ. එයා කළේ එයාගේ පවුලට ආපු ප්රශ්නෙකින් ගැලවෙන්න එයා සතුව තිබුණු දැනුම පාවිච්චි කරපු එක විතරයි. ඒ නිසා ඇත්තටම එයා දිහා දෙවියෝ බැලුව වගේ එයාවත් බේරුනා එයාගේ පවුලේ අයවත් බේරුනා....
හරිශ්චන්ද්ර ඇත්තටම වැරදිද... මම නම් හිතන්නේ නෑ මොකද තමන්ගේ පවුලේ සාමාජිකයෝ ගැන නැති ලෙන්ගතුකමක් මොකටද... හරිශ්චන්ද්ර කලේ පාඩුවේ හිටිය එයාගේ පවුලට වැටෙන්ඩ ගිය කරදරේකින් මොලේ හොඳට පාවිච්චි කරලා උපක්රමශීලීව ගැල වෙච්ච එක කියන එකයි මේ ලියන මගේ නම් නිගමනය. ඒ නිසාම එයා අන්තිමට පොලිස් නිලධාරියාට කියන විදිහටම නීතියෙන් ආරක්ෂා වෙන්න ඕනේ හරිස්චන්ද්ර ල වගේ අයව....
◾️ කියවන ඔයාගේ නිගමනය???
කියවන ඔයාගේ නිගමනය ඊට සමහරවිට වෙනස් වෙන්න පුළුවන්. නමුත් හරිශ්චන්ද්රගේ පවුලට වුනා වගේ දෙයක් ඔයාට වුණොත් ඒත් නිගමනයේ වෙනසක් තියෙනවද කියන එක නිකමට හිතලා ලියන්න බලන්න, එහෙම අකමැති නම් හිතලා හරි බලන්න වටිනවා...

-----------------------------------------------
✍️ Dilip Prasad

Sunday, July 4, 2021

නොසැලකිල්ලට අදාළව සැලකිල්ලෙන් කියවිය යුතු Donoghue v Stevenson (1932) නඩුව...

 ◼️ නොසැලකිල්ලට අදාළව සැලකිල්ලෙන් කියවිය යුතු  Donoghue v Stevenson (1932) නඩුව...

🔷නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක වීමෙන් තවත් අයෙකුගේ නෛතික අයිතියක් කඩවීමේදී එයට නීතියෙන් ප්‍රතිකර්ම ලබා ගැනීමට හැකියාව ඇත.

එහිදී නොසැලකිල්ල ඔප්පු කිරීම සඳහා 

1. අවධානිය යුතුකමක් තිබුණු බව එනම් අන් අයගේ ආරක්ෂාව / යහපත පිළිබඳව සාමාන්‍ය සිහිබුද්ධිය ඇති තැනැත්තෙකු විසින් සැළකිලිමත් වීමේ නෛතික යුතුකම -  Duty of care 

2. එම නෛතික යුතුකම කඩ කිරීම - breach of that duty 

3. එමගින් සහන ඉල්ලන පාර්ශවයට හානියක් සිදුවී තිබුණු බව - causing damage

යන කාරණා තුනම පැමිණිලිකාර පාර්ශ්වය විසින් වැඩි බර සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බව පිළිගැනීමයි.

🔷මෙහිදී වග උත්තරකරු විසින් පෙත්සම්කාර පාර්ශවයේ යම් අවස්ථාවකට අදාලව නීතියෙන් ආරක්ෂා කර තිබූ නීතිමය යුතුකමක් කඩ කලේ යැයි චෝදනා එල්ල කරනු ලබයි.

◾️නාශය නැති තැන නඩු කර නොමැත.

◾️ස්වේච්ඡා හානිය වරදක් නොවේ.

◾️හැම තැනැත්තෙකු විසින් ම දත යුතු දේ නොදැනීම සමාවට කරුණක් නොවේ.

◾️දේව ක්‍රියා වලට වෙනත් අය වගනොකියයි.

🔷අවස්ථානුකූලව නෛතික වගකීමක් මතු නොවෙන ඉහත බදු අවස්ථාද ඇති බැවින් චෝදනා එල්ල කළ යුත්තේ අවස්ථානුකූලව පිළිගත හැකි නෛතික පදනමක් මතය. එසේම චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ද තිබිය යුතුවේ.

🔥එහිදී 1932 දී තීරණය කරනු ලැබූ ප්‍රසිද්ධ නඩුවක් වන Donoghue v Stevenson නඩුව වැදගත්ය. 

🔷එය දිලික්ත නීතියේ අවධානීය යුතුකම පැවරීම පිළිබදව සන්ධිස්ථානයක් සනිටුහන් කල නඩු තීන්දුවක් ලෙසින්ද සැලකෙන නඩුවකි ( Landmark Judgment - snail in the bottle case )

🔷සිද්ධිමය කරුණු කෙටියෙන් සැලකූ කල, ඩොනගියු මහත්මිය මිතුරියක්ද සමගින් ආපන ශාලාවකට ගොස් පානය කිරීමට ජින්ජර් බියර් මිලදී ගෙන තිබුණි. මුදල් ගෙවා බීම මිලදීගෙන තිබුනේ ඩොනගියු මහත්මියගේ මිතුරියයි. අඳුරු පැහැති වීදුරුවෙන්  සාදා තිබූ බීම බෝතලයේ වූ බීම ඩොනගියු මහත්මිය පානය කරමින් සිටි අතර වීදුරුවකටද වත් කළ පසු ඒ තුල ගොළුබෙල්ලෙකුගේ කොටස් තිබෙනු ඇය දැක ඇති අතර ඉන් කම්පනයට පත්ව පසුව ඇය අසනිපද වී තිබුණි. වන්දි ලබා ගැනීමට නඩු පැවරීමට ඇයට ගිවිසුම් නීතිය යටතේ නොහැකිවූයේ ඇය එම මිලදී ගැනීම සිදු නොකල නිසාය. එනම් ගිවිසුමට පාර්ශවකරුවෙකු නොවුණු නිසාය. ඒ අනුව ගිවිසුමෙන් බැහැරව තෝරත (Tort) / දිලික්ත නීතිය යටතේ Stevenson නම් නිෂ්පාදකයාට එරෙහිව නඩු පවරනු ලැබු අතර සාර්ථක විය.

🔷ඒ වන විට නොසැලකිල්ල සම්බන්ධව තිබුණු නීතිමය තත්ත්වය අනුව නිෂ්පාදකයාට ගිවිසුමකින් පරිබාහිරව වගකීමක් පැවරුණේ 

1. යම්කිසි ඌනතාවයක් නිසා නිෂ්පාදනයක් හානිකර තත්ත්වයට පත්ව ඇති බව දැන දැන එය පාරිභෝගිකයාගෙන් සැඟවූයේ නම්

2. යම්කිසි නිෂ්පාදනයක් එනයින්ම( per se ) හානිකර වන අවස්ථාවක ඒ පිළිබඳ පාරිභෝගිකයන්ට දැනුවත් කිරීමක් කිරීමට අපොහොසත් වී ඇති නම් ය.

ඒ අනුව එම කරුණු ඔප්පු කිරීමට අසමත් වූයේ නම් වන්දි ලබා ගැනීමට නොහැකි විය.

🔷Mullen v. AG Barr නම් නඩුවක දී සිසිල්බීම බෝතලයක් තුළ මීයෙකු මිය ගොස් සිටි සිදුවීමේදී එම නඩුව අසාර්ථක වී තිබිණ. 

එම නීතිමය තත්ත්වය පාරිභෝගිකයන්ගේ පැත්තෙන් වඩා යහපත් වන පැත්තට පුළුල්වීමක් මෙම නඩුවේ දී සිදුවිය.

🔷නමුත් මෙම නඩුවට පෙර ගිවිසුම්ගත වගකීම සහ ගිවිසුමකින් බැහැර වගකීම වෙන් කිරීමට යම් උත්සාහයන් තිබී ඇති නමුත් එය පැහැදිලිවම සිදුවූයේ මෙම නඩුවේ දී යැයි සැලකේ. 

🔷Donoghue v Stevenson හිදි ඇට්කින් විනිසුරුතුමා දැක්වූ පරිද්දෙන් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී අවධානිය යුතුකමක් තිබුණාදැයි සැලකීමේදී පරීක්ෂණ 2 ක් අදාල කරගනී.

1. පූර්වෙක්ෂණය කීරිමේ පරීක්ෂාව (Forseeability Test)

එනම් තම ක්‍රියාවක හෝ නොකර හැරීමක් නිසා අන් අයහට සිදුවිය හැකි අන්තරාදායකර තත්වයේ ප්‍රතිඵල පිළිබදව සාමාන්ය සිහිබුද්ධිය ඇති අයකු වශයෙන් දැන ගැනීමේ හැකියාවයි. මෙහිදී පුද්ගලයින් සාමාන්‍ය සිහි බුද්ධිය ඇති අය වශයෙන් ( Reasonable Prudent man ) සලකා අන් අයට හානි නොකොට සිටිය යුතු බවට වූ දැනුම ඇති අය සේ සලකයි.

2. සමීපබවේ පරීක්ෂාව (Proximity Test)

එනම් තම ක්‍රියාවක හෝ නොකර හැරීමක් නිසා අන් අයහට සිදුවිය හැකි අන්තරාදායකර තත්වයේ ප්‍රතිඵල වැලක්වීම පිළිබදව සාමාන්ය සිහිබුද්ධිය ඇති අයකු වශයෙන් කටයුතු කල යුත්තේ සාධාරණ ලෙසින් අපේක්ෂා කල හැකි සමීප දුරකින් සිටින අය වෙනුවෙන් පමණක් බවයි.

මෙම තත්වයට යම් වෙනස් කමක් එක් වූයේ 1977 න් පසුවය. 

🔷එහිදී Anns V London Borough Merton ( 1977 ) හිදී විල්බෆෝස් විනිසුරුතුමා තවත් නඩු තුනකද කරුනු දක්වා ඉදිරිපත් කල තත්වයට අනුව කලින් කී පූර්වෙක්ෂණය කීරිමේ පරීක්ෂාවෙන් හා සමීපබවේ පරීක්ෂාවෙන් සමත් වූ පමණින්ම අවධානිය යුතුකමක් පවතින්නේ නැති බවත් එවැන්නක් ඇති බව බැලු බැල්මට ( primafacie ) තිබෙන තත්වයක් පමණක් ඇති බවත් ඒ වන විට පිළිගන්නාවූ යම් ප්‍රතිපත්ති හා වගකීමට බැදෙන තත්වය අඩු කරනා යම් තත්වයන් වේ නම් ( බැහැර කිරීමේ වගන්ති වැනි ) එවැනි දෑට යටත්ව අවධානිය යුතුකම පැන නගින බව දක්වන ලදී.

🔷මේ තත්වය 1984 න් පසුව තවත් ඉදිරියට ගොස් ඇත. Donoghue v Stevenson හිදි ඇට්කින් විනිසුරුතුමා දැක්වූ පරීක්ෂණ දෙකට අමතරව Caparo Industries PLC V Dickman 1990 හිදී බ්‍රිජ් විනිසුරුතුමා දැක්වූ කරුනු අනුව ඉහත පරික්ෂණ දෙකට අමතරව අවස්ථාව අනුව එවන් අවධානීය යුතුකමක් විත්තිකරුවෙත පැවරීම කොතරම් සාධාරණද ( Reasonability ) යන්නද සැලකිය යුතු බව දක්වන ලදී.

ඒ අනුව වර්තමානය වන විටදී

* පූර්වේක්ෂණය කිරිමේ පරීක්ෂාව (foreseeability)

* සමීපබවේ පරීක්ෂාව (proximity)

* වගකීම පැවරීම කොතරම් සාධාරණද ( fairness

)

යන්න පිළිබද පරීක්ෂාවට යටත්ව අවධානීය යුතුකම පැවරීම සිදුවේ.

මෙම නඩුව තුළින් අවධානයට ලක්කර ඇති කාරණා අනුව

✳️ ගිවිසුමකින් බැහැරව නොසැලකිල්ල යන්න මතම නඩු පැවරිය හැකි බව. එය වැදගත් එක් සන්ධිස්ථානයකි (Negligence in tort law issue settled)

✳️ පාරිභෝගිකයෙකු වෙත ළඟා වන නිෂ්පාදකයකු ගේ භාණ්ඩ භාවිතා කිරීමේදී පාරිභෝගිකයාට හානියක් සිදු නොවී තිබිමට වගබලා ගැනීමේ නෛතික යුතුකමක් නිශ්පාදකයා සතු බව ( Duty of Care )

✳️ අසල්වැසියා සම්බන්ධ මූලධර්මය (Neighbour principle)

අසල්වැසියාට ප්‍රේම කිරීම හෝ නොකිරීම පිළිබඳව තෝරාගැනීමක් යම් අයෙකුට තිබිය හැකි වුවත් තමන්ගේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් අසල්වැසියාට හානියක් සිට නොවීමට වග බලා ගැනීමට නම් ඇත්තේ නෛතික යුතුකමක් නිසා එය අනිවාර්යයෙන්ම කළ යුත්තකි. 

Neighbour Principle - The rule that you are to love your neighbour becomes in law, you must not injure your neighbour

🔷මෙහිදී අසල්වැසියා යනු යම් තැනැත්තෙකුගේ නිවසට යාබදව පදිංචිව සිටින අය පමණක්ම නොවේ. යම්කිසි තැනැත්තකු සිටින්නේ කවර ස්ථානයකද ඔහු හෝ ඇය අසල සිටින තමන්ගේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් හානියකට පත් විය හැකි සෑම දෙනාම නීතියට අනුව අසල්වැසියන් වේ. 

🔷මේ අනුව නොසැලකිලිමත් ක්‍රියාවකින් හානි සිදුව එයට නීතියෙන් ප්‍රතිකර්ම ලබා දුන් එක් අවස්ථාවක් පමණක්ම නොව තවත් කාරණා අතින් Donoghue v Stevenson නඩුව නීති ක්ෂේත්‍රයේ වැදගත් නඩුවක්ද වේ. 

✍️ නීතිඥ දිලිප් ප්‍රසාද්