Wednesday, June 11, 2014

නීතියට අනුව සමාජයෙන් සදහටම බැහැර කල යුත්තා බැහැර කල යුතු මට්ටමේ අයකු බැහැර කරන්නට පෙර ...

බන්ධනාගාර බස් රථවල සිටිනා ඇතැම් අය එලියේ සිටිනා අප දෙස බලන්නේ පුදුමාකාර කේන්තියකිනි !!! ඒත් සමගම මතක් වූයේ පළමු වසරේ අප කල බන්ධනාගාර සංචාරයේදී මැදිරිතුල රදවා සිටි ඇතැම් තැනැත්තන් කේන්තිය පිරුණු දෑසින් අප දෙස ඔරවා බැලූ ආකාරයයි...

සාමාන්ය පුද්ගලයකු දෙස බලනවාට වඩා වෛරී ඇසක් නීති සිසුන් වන අප වෙත යොමු වනවා නියතය. මන්ද ඔවුන්ට එවැනි තත්වයක් අද වන විට උරුමව ඇත්තේ අන් කිසිවෙකු නිසා නොව කලකදී දැන් අප සිටිනා තැන සිටි පසුව කලු ලෝගුවක් දමාගෙන උසාවියේ ඔවුන්ට විරුද්ධව තර්ක කරමින් කතා කල නීතිඥවරුන් / වරියන් නිසා බව ඔවුන් සක්සුදක් සේ දන්නා නිසාය.

අප නිදහසේ එහා මෙහා යනු දකින විට එසේ කරන්නට නොහැකිව දෑතට විලංගු වැටි සිටින / බන්ධනාගාරයක රදවා ඇති / බන්ධනාගාර බස් රථයක යන ඔවුන්ට කේන්ති එනවා ඇත ! නමුත් ඔවුන්ගේ නිදහස සීමා කරගෙන ඇත්තේද ඔවුන් විසිනි ! එයට විපාක ඔවුන් නීතියට අනුව විදීමින් සිටීම සම්බන්ධව අපට කරන්නට දෙයක් නැත !

සරලවම කිව හොත් ඔවුන් කර කී දෑට අපි පලි නැති බවයි!

ඇතැමුන් සිතනවා ඇත්තේ මරණීය දණ්ඩනය යනු සමාජ විරෝධය දැක්වීමේ උපරිමම ක්‍රමය බවයි !

මාද කාලයකට පෙර නම් සිතා සිටියේ එසේය ! නමුත් දැන් "නැත" යන්න පැහැදිලිවම කිව හැකිය.

මරණීය දණ්ඩනය නොව බන්ධනාගාරගත කිරීම යනු සමාජ විරෝධය දැක්වීමේ උපරිමම ක්‍රමය ( ලුණු ඇඹුල්ද එකතු කොට තේරෙන භාෂාවෙන් කිව හොත් පිරිපහදු කරනා ලද පළිගැනීමේ උපරිමම ක්‍රමය ) යැයි කීම කොතරම් නිවැරදිදැයි අවබෝධ කරගැනීමට ඔය නිරීක්ෂණම ප්‍රමාණවත්ය !

ඒ අර්ථයෙන් ගත් කල නම් අපරාධ කරුවන්ට දිය හැකි හොදම දඩුවම නම් ඔවුන්ව සිරගත කොට කල වරදට හූල්ලමින් සිටීමට ඉඩ හැරීම බවද කිව හැකිය. ඔවුන් සිරගත කොට සාමාන්ය සමාජයෙන් අත හැර තිබෙන තත්වයක සිටියදී එලියේ නිදහසේ ඇවිදින අය දකිනවා තරම් වෙනත් වේදනාවක් ඔවුන්ට ඇති නොවෙනු ඇත...

නමුත් අවශ්ය අවස්ථාවලදී ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත නොකොට මරණිය දණ්ඩනය හරහාම සමාජයෙන් සදහටම බැහැර කල යුත්තා බැහැර කල යුතු බව කියන්නට මා නම් උනන්දු වන්නේ එකක් එසේ පුද්ගලයින් ජීවිතාන්තය දක්වා වැනි දීර්ඝ කාලීනව රදවා තැබීම බදු පලි ගැනීමේ චේතනාවක් ඍජුව නැති යැයි තර්ක කල හැකි වුවත් ව්‍යංගයෙන් අදහස් වනවා බදු ක්‍රියාවක් අනුමත කිරීමට අවශ්ය නැතැයි සිතන නිසාය !

අනෙක් කාරණය නම් ඔවුන් සිටිනා මානසික තත්වය නිසාම ඔවුන් නිසා නැවත වරක් සමාජය අවධානම් තත්වයට වැටීම වැලැක්වීම 100% ක්ම සහතික කල යුතුවන නිසාය !!!

" මරණීය දණ්ඩනය නැවත රැගෙන ආ යුතුද ? " මාතෘකාවට ලියා ගෙන එන්නට කියූ රචනයේදී නීතියට අනුව සමාජයෙන් බැහැර කල යුත්තාව එසේ කල යුතු බව අවධාරණය කල මුත් වඩාත් මානුෂිකව බැලිම පැත්තෙන් සිතා හා මරණීය දණ්ඩනය නියම වූවෙකුට වුව සිය පණට ඇති ආශාව පැත්තෙන් සිතා වියතිරේකී අවස්ථාවක් යටතේ සමාජයේ පුරවැසියන්ගේ එකගතාවයද මත පණ නල ආරක්ෂා කරගැනීමට එක් අවස්ථාවක්ද යෝජනා කිරිම ගැන දැන් මා බෙහෙවින් සතුටට පත්වෙමි !

එය, කාලීන අවශ්යතාවය නිසාම මරණීය දණ්ඩනය ලබා දිමට පක්ෂ මාගේ මෙන්ම මරණීය දණ්ඩනය ලැබීමට සුදුසු බවට අධිකරණය ඉදිරියේ තර්ක කරමින් කරුණු ඉදිරිපත් කරනා නීතිඥවරුන් / වරියන් හා මරණීය දණ්ඩනය නියම කරනා ගරු විනිසුරුතුමන්ලාගේ හා ඊට යම් ආකාරයකින් අවශ්ය පහසුකම් ලබා දෙන හා එය ක්‍රියාත්මක කරනා ආදී මේ සැමගේම පරලොව යහපතටද නියත වශයෙන්ම හේතු වනවා ඇත !