Friday, February 14, 2014

ගබ්සා නීතිය පුලුල් කල යුතුද නැද්ද ...?

ආගමික පසුබිමක් තුලින් යම් ක්‍රියාවක් නිසා සමාජයට අගතියක් වෙලා ඒ දේ නවත්වන්නම බැරි නම් ඒකට විකල්පයක් තියෙන්නත් ඕන... නීතිය සමාජයේ කාලින ගැටලුව වලට පිළියම් සොයමින් යා යුතුයි ! මේ කාලිනව මතුවෙච්ච ගැටලුවකට ඒ වගේ විසදුමක් සෙව්ව අවස්ථාවක් කියල සරලව ගන්න පුළුවන් ! ඒ ප්‍රමාණවත්ද කියලා හිතල බලන්න ඕන. මේක දෙපැත්තකට කරුණු සාකච්ඡා කරන්න පුළුවන් ඒ වගේම බොහොම සංවේදී මාතෘකාවක් සරලව ගත්තම ගබ්සා නීතිය පුලුල් කිරීම සුදුසුද නැද්ද? වගේ...

හැබයි ඔතන නීතී විරෝධී ක්‍රියා පාලනය කරන්න ආගමික පසුබිමෙන් නොහැකීවීමම නම් නොවෙයි නීතිය වෙනස් වීමට හේතුවක් වෙන්න ඕන ! නීතිය තිබ්බටම බෑ ඒක ප්‍රයෝගිකව ක්‍රියාත්මක වෙනවද කඩවෙනවද බලල අවශ්ය ක්‍රියාමාර්ග ගැනීම වඩාත් ශක්තිමත් වෙන්න ඕන, එහෙම උනාම නීතියේ කාර්යභාරය වඩාත් ශක්තිමත් වෙනවා ! අන්න ඒකේ අඩුවක් මම දකිනවා ! නීතිය ක්‍රියාත්මක වීමෙ ආවේණික දෝශයක් විදියට විශේෂයෙන් අපේ වගේ ස0වර්ධනය වෙමින් පවතින රටක ! හැකිතාක් ඒක අවම කරගෙන නීතියේ වෙනසක් කරන්න ඕන බැරිම තැන වගේම අවශ්යම තැන පමණයි ! ඒකත් විවිධ දෘෂ්ඨිකෝණවලින් බලල සාකච්ඡාවට ගනනාවක ප්‍රතිඵල ඇසුරින් ආව ඵලයක් විදියට !

ව්‍යභිචාරය, අතවර කිරීම් වලට බදුන් වෙච්ච නිසා ඇතිවෙන කලල සැලකුවාම ඒවත් ජීවී කලල, අනිත් අතට යම් යම් විකෘති වලට බදුන් වෙච්ච කලලත් [මන්ද බුද්දික දරුවන්] ජීවී කලල. ජීවයක් තිබෙන මේවගේ කලල ගබ්සා කිරීම කියන්නෙ [විකෘති කලල ස්වභාවිකවම ගබ්සා වෙන එක නොවෙයි] ඒ උපදින දරුවන්ගේ පැත්තෙන් කරන අසාධාරනයක්, එයාලගේ මූලික අයිතිවාසිකමක් වෙන ජීවත් වීමේ අයිතිය උදුරගැනීමක් කියන්න පුළුවන්, ගබ්සා නීතිය පුලුල් කිරීම කියන්නෙ සදාචාරය විනාශවීමකට අනුබල දීමක් කියන්න පුළුවන්, මොකද ඔය හේතුව නිසා අනිසි ලි0ගික සබදතා වලට රුකුලක් වෙනවා කියලා ගන්න පුළුවන්. ඒ අනුව නීතිය තියෙන්න ඕන සමාජ ආරක්ෂාවට කියන දේට යම් ආකාරයකට පටහැනි කියන්නත් පුළුවන් !

ඇත්තටම සමහර උදවිය බලන්නෙම තියෙන දේ වාසියක් කරගෙන කොහෙන් හරි රි0ගල යන්නනේ, ඒ නිසා යහපත වෙනුවෙන් දෙයක් කලත් ඒ දේ වරදට යොදා ගන්න අවධානමත් තියෙනවා ! අනිත් අතට දරුවෙක් ලබාගන්නවද නැද්ද කියන එක ස්ත්‍රියකට අයිති වැඩක්ය, ගබ්සාවට වෛද්‍යවරු සම්බන්ධ නිසා නිකරුනේ ගබ්සා වලට කාන්තාවන් යොමුවෙන එකක් නෑ කියන්න පුළුවන්, ගබ්සාව නීති විරෝධී උනත් ඒක කරගන්න අය වෙනත් ක්‍රම ඔස්සෙ අප්‍රසිද්ධියෙන් ඒ දේ කරගන්නව කියන්න පුළුවන්, දැන් ඔය කියන කාරනේ නිසා ඒ කිව්වේ ව්‍යාභිඡාරය මත,ස්ත්‍රි දූෂන සිදුවීම් මත සහ මන්ද බුද්දික දරුවන් ඉපදීමට යන අවස්ථාවන් වලදී හෝ ගබ්සා කිරීමක් කරගන්න තිබ්බ නම් ඒ දේ වැදගත් වෙන්න පුළුවන් කියන්න පුළුවන් කාන්තාවගේ එහෙම නැත්නම් අර හේතු උඩ දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මගේ පැත්තෙන්!

කාන්තාවගේ පැත්තෙන් එයා මානසිකව වගේම කායිකවත් හරිම අපහසුවකට පත්වෙනවා ව්‍යභිචාරය, අතවර කිරීම් වලට බදුන් උනාම කලලයක් ඇතිවෙන අවස්ථාවලදී වගේම කුසේ තියෙන කලලය නිරෝගි නොවී විකෘති වෙන්න පුළුවන් කියලා දැනගත්තම. ඒත් එක්කම මොන හේතුව නිසා ඇති උනත් දරුවෙක්ය, විකෘති උනත් දරුවෙක්ය කියන හැගීමත් එක්ක ගැටෙන්න උනාම කාන්තාව තවත් පීඩාවට පත්වෙනවා ! දැනට තියෙන නීතිය අනුව මවගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් සත්භාවයෙන් කරපු ගබ්සා කිරීමක් මිස වෙන කිසිම විදියක ගබ්සා කිරීමක් සැලකුවාම ඒවා නීති විරෝධී ! ඒ අනුව නීතිය බොහොම තදයි ! ඉ0ග්‍රීසින්ගෙන් ලැබිච්ච නීතියයි තාමත් එහෙමම තියෙන්නෙ !

නීතියේ සුළු වෙනසක් කියන්නෙ සමාජයේත් ඊට අනුරූපව වෙනසක් වෙනවාමයි ! ඒකයි නීතියයි සමාජයයි අතරෙ සම්බන්ධය ! ඒ අනුව දැනට තියෙන ගබ්සා නීතිය නීතිය යම් වෙනසක් කලොත් ඒ කියන්නෙ කාන්තාවට ඉතාම සාධාරන හේතු උඩ අවශ්ය නම් විකල්පයක් විදියට ව්‍යභිචාරය, අතවර කිරීම් වලට බදුන් වෙච්ච නිසා ඇතිවෙන කලල, හා විකෘති කලල ඉවත් කරගන්න ගබ්සාව තෝරගන්න තරමට පමණක් නීතිය ලිහිල් වීමක් වගේ ඒ අනුවත් සමාජය හැඩගැසෙවි ! එතනදි ගබ්සා නීතිය එහෙම පුලුල් කිරීමෙන් බලාපොරොත්තු වෙච්ච දේට වඩා වෙනත් දේවල් නම් සමාජයේ වෙන්නෙ නැවත ඒ නීතිය පෙර තිබූ තැනම තියන්න උනත් සිද්ධ වෙන්න පුළුවන් !

කාන්තාවගේ පැත්තෙන් යම් සහනයක් ගන්න දැනට වඩා නීතියෙන් ඇයට කුඩා අවස්ථාවක් හෝ දෙනවානම් ඒක වැදගත් වෙවි කියලා මම හිතනවා, විශේෂයෙන් බලහත්කාරය මත ඇයට සිද්ධ වෙන අතවර නිසා දරු උපත් ඇතිවීමෙදී කාන්තාවන් පත්වෙන අපහසුතාවය ගැන හිතලා ! ඒත් එක්ක්ම ව්‍යභිචාරය, අතවර කිරීම් වලට ලබාදෙන දඩුවම් වැඩි කිරීම මගින් ගබ්සා නීතිය පුලුල් වීමක් උනොත් ව්‍යභිචාරය, අතවර කිරීම් වගේ ඒවාට පුද්ගලයින් යොමු වෙන්න තියෙන ඉඩ තවත් සීමා කිරීමත් වෙන්න ඕන ! මේ දේවල් එක්කම කුතුහලයට හේතු වෙන ලි0ගික අධ්යාපනය ගැන නිවැරදිව සමාජයට දැනුම ලබාදීම, ඒ දේවල් කලයුතු නියමිත කාලයක් වයසක් ඇති බව දැක්වීම වගේම, බුදු දහමට වඩ වඩාත් පුරවැසියන් යොමු කිරීමත් වෙන්න ඕන ! මොකද ආගමානුකූල පරිසරය වඩාත් ඇතිකිරීම පැත්තෙනුත් මෙ වැරදි ක්‍රියාවලට පුද්ගලයෝ යොමුවීම පාලනය කිරීම කරන්න පුළුවන් නිසා ! නීතියේ භූමිකාව වගේම, නිවැරදි අධ්යාපනයේ භූමිකාව වගේම, ධර්මයේ භූමිකාවත් අතිවිශාලයි වැරදි ක්‍රියාවලට මිනිස්සු යොමු වීම වලක්වා ගැනීමෙදි !

කොහොම උනත් මේක පුළුල්ව සාකච්ඡා තුලින් වගේම අති බහුතර එකගතාව මත [සම්මත කරන්න ඡන්දය ප්‍රමාණවත්ව තිබ්බත් ඊට වඩා පුළුල්ව සාකච්ඡා විය යුතුයි කියන එකයි අර්ථවත් කලේ] කල යුත්තක් කියලා මම විශවාස කරනව ! විශේශයෙන් හොදයි මේ දේට පාර්ලිමෙන්තුවට අමතරව ජනමතයත් ඇහුවා නම් ! මොකද මේක කෙලින්ම සමාජයේ යහ පැවැතමට සම්බන්ධ කාරණයක් වන නිසා විශේශයෙන්ම කාන්තාවන්ගෙ පැත්තෙන් වඩාත් සැලකිලිමත් වෙන්න ඕන !

No comments:

Post a Comment