Saturday, January 12, 2019

තමන්ගේ අයිතිය භාවිතා කල අවස්ථාවකට උදාහරණයක්

අද දින අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණ පරිශ්රයේදී මා හට නීති විද්යාලයේදී දන හදුනා ගත් වෘත්තීය සගයෙකු මුණ ගැසිනි. හෙතෙම සිය අත්දැකීමක් මා හා බෙදා ගත්තේය.

මාර්ගයේ සාමාන්යයෙන් බස් රථ නවත්වන ස්ථානයකින් බස් රථයෙන් බැසීමට ඉඩ නොලැබීම සම්බන්ධව හෙතෙම කාරුණිකව විමසීමේදී රියදුරා සහ කොන්දොස්තරවරයා ආවේගශීලිව ක්රියාත්මක වෙමින් මිතුරාට බැන වැදීමක් කර ඇති අතර මිතුරා තමා නීතිඥවරයෙකු බව පැවසුවද කිසිදු තැකීමක් නොකොට තවත් දුරක් ගෙන ගොස් කල හැකි දෙයක් කර පෙන්වන මෙන් කියා බස් රථය නතර කර ඇත.

ඒ අනුව තමාට කල හැකි දේ පෙන්වන බව කියා පැමිණ ඇති මිතුරා කෙලින්ම පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියට සියලු තොරතුරු සපයා පැමිණිල්ලක් කර ඇත. 👍👍👍

ඒ අනුව ක්රියාත්මකව ඇති එහි නිලධාරින් විමර්ෂණය සදහා වග කිව යුත්තන් කැදවා ඇති අතර එහි නිලධාරින් ඔවුන්ට තදින් අවවාද කල බවත් ඔවුන් සේවය කිරීම නවතා ආචාර ධර්ම සම්බන්ධ දේශන සදහා යොමු කරවන ලද බවත් මිතුරා දන්වන ලදී. අධිකාරියේ නිලධාරින් දක්වා ඇත්තේ මෙවැනි සිදුවීම් පිළිබද පැමිණිලි ලැබෙනවා අඩු බවත් මේ ආකාරෙයන් ක්රියාත්මක විය යුතු බවත්ය. එහිදී මිතුරා දක්වා ඇත්තේ කතා කිරීම සම්බන්ධව මෙවැනි තැනැත්තන්ගේ විනය හැදිය යුතු බවය. එදා කරන්නට පුළුවන් දෙයක් කර පෙන්වන්නැයි කියමින් උජාරුවෙන් කතා කල වගකිවයුත්තන් අද හුලං බැස ගිය බැලුන් මෙන් සිටි බවත් සිදුවූ සිදුවීමට තමන්ගෙන් සමාව ඇයද ඇති බවත් මිතුරා මා සමග කියනා ලදී. 😁😁😁 ...

හැදෙන්නට එක අවස්තාවක් හෝ දිය යුතු නිසාවෙන් සහ ඔවුන් ආවේගය වචනයට සිමා කල නිසාවෙන් මේ සම්බන්ධව වැඩිදුර නීතිමය පියවර නොගත් බවත් නො එසේ නම් එදා අභියෝගය බාර ගෙන තමන්ට නීතියට අනුව කළහැකි දේ කර පෙන්වන බවත් මිතුරා ප්රතිචාර දක්වමින් සදහන් කර ඇත.

මා මිතුරා සමග 100 % ක් ම එකග ය ... 👍👍👍 ...

හැමෝම නැතත් සමහරක් රියදුරන් සහ කොන්දොස්තරවරුන් අයත් වන්නේ ඔය කුලකයටය. ඔවුන්ට අනුකම්පා කල යුතු නැත. මන්ද එසේ වන්නට වන්නට ඔවුන් තවත් දිරිමත් වන බැවිනි. ඒ අනුව අවස්තාව උදා වූ කල මොළයෙන් නෙලිය යුතුය!!!

මිතුරා කර ඇත්තේ එයය!!! 👍👍👍

වචන හුවමාරුවක් වී නැතත් සමහරක් ගැන තොරතුරු මාද ඉදිරිපත් කර ඇත්තෙමි. ඒ මා හට කොහොමත් හුරු අත භාවිතා කරමිනි!

ඔවුන් හැදුනා නැතා ඔවුන්ගේ පාලනයක් තිබිය යුතුවෙයි. නො එසේ නම් අධිකාරියෙන් නොනැවතී නීතිමය පියවර ගත හැකිය / යුතුද වේ.

ඒ සදහා ජනතාව කරබාගෙන නොසිට ක්රියාත්මක විය යුතු වේ!

මාගේ උගත් මිතුරා ඊට කදිම ආදර්ශයක් ප්රායෝගිකව සපයා ඇත !!! 💪💪💪 ...

මා මෙම කෙටි සටහන තැබුවේ මිතුරා සිදු කල ප්රායෝගිකව මගින් /පුරවැසියන් වන අප කාටත් වැදගත් වන හෙයින් ද එය ඉහලින්ම අගය කිරීමක් වශයෙන් සහ අවස්තාවක් උදාවූ කල එය ආදර්ශයට ගැනීම දිරිමත් කිරීම පිණිසය !!!

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

අපි දන්නා, අපි ඉගෙනගත් සහ විභාගද සමත්වූ දැනුමට අනුව නම් ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි අදහස ලෙස කිව හැක්කේ බහුතර ජනමතය බහුතරයක් මගින් නියෝජනය කරමින් පාලනය ගෙන යාම ය.

දැන් වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර ජනතා මතයක් නියෝජනය වේ ද ? බහුතරයක් හෝ තිබේද?
ඒ දෙකම ඇති බවක් පෙනෙන්නට නැත. යාන්තමට 113 අමුණාගන්නට හැකි බව කියනා මුත් එයද විශ්වාස නැති බව ආණ්ඩුවේ සමහර අයගේ අදහසක් බව පෙනේ. ජනමතය නියෝජනය වන ලෙස පාර්ලිමේන්තුව සකස් වීමක් ද නැත. ඒ තබා බහුතරය ද එකදු පක්ෂයකට හෝ නැත.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරය දැරූ පහුගිය ආණ්ඩුවේ බහුතරය ගැන මහා ඉහළින් ප්‍රශ්න කළ කිසිවෙකු වත්මන් ආණ්ඩුවේ බහුතරය ගැන ප්‍රශ්න නොකරති, විපක්ෂය සමග එක්ව යුහුසුළුව විශ්වාසභංගයක් ගෙන එනවා තබා මීක් සද්දයක් හෝ නැත. ඒ අනුව ඔවුන්ට අනුව වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය මැනැවින් ස්ථාපිතව ඇතිවා විය යුතුය.

පහුගිය මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය දී ඇත්තේ එකතු පක්ෂයකටවත් බහුතරය හෝ නොලැබෙන පරිදිය. ඒ අනුව හවුලේ පාලනයකට ජනමතය ලබාදුන්නා දෝ සිතේ.

එසේ නම් එක පක්ෂයක් / සන්ධානයක් විසින් බහුතර බලයක් යටතේ පාලනයක් ගෙන යනවාටත් වඩා වගකිවයුතු පාලනයක් ඒ හවුල යටතේ ජනතා නියෝජිතයින්ගෙන් ජනතාව බලාපොරොත්තු වී ඇත.
ඒ මිසක තමන්ට උවමනා උවමනා හැටියට පක්ෂ එක්වීමෙන් ලැබෙන බලය පාවිච්චි කරන්නට ජනතාව ඡන්දය දී නැත.

ඒ අනුව බහුතරය ලබා ගැනීමට ජාතික ආණ්ඩුවක් අටවා ගැනීමට එනම් හවුලේ පාලනයක් ගෙනයාමට පොතේ හැටියට සිද්ධ විය.

මහ මැතිවරණයේ ප්‍රතිඵල ලැබෙන විට ඒ ආකාරයේ පාලනයක් ගෙන යාම සඳහා පොත ද සකසා තිබුණි.
පවුල් පාලනය හොඳ නැතැයි සමහරුන් කීවද හවුල් පාලනයේ කිසිම අවුලක් ඇතිවිය හැකි බවක් එසේ කියනා සමහරක් අය දකින්නේ නැත.

හවුලේ කැදත් එපා යැයි ජනවහරේ සම්මතව ඇත. එසේ වන්නේ හවුලක් අවුලට යොමු වීමේ වැඩි ඉඩක් ඇති නිසාය. එසේ වුවත් අවුලක් නැතිව හවුලක් ගෙන යාමට හැකිතාක් කල් හවුලක් පවත්වා ගැනීමට නිතිය ඉඩ දේ. හවුල් ව්‍යාපාර සදහා ඉඩ ඇත්තේ ඒ ආකාරයටය.

කෙසේ හෝ දේශපාලන ප්‍රතිපත්ති බොහෝ විට වෙනස් වන පක්ෂ දෙකක හවුලක් අවුලක් නැතිව දුවනු ඇත්තේ සම්පූර්ණයෙන්ම වාගේ එකිනෙකා මත තියා ගන්නා වූ විශ්වාසය මතය.

එය බිඳී යන්නේ නම් එයින් පසු කිසිවෙකු පිළිගත්තා නැතා ජනමතය පාර්ලිමේන්තුවෙන් නිරූපණය වීමද අවසන් වේ.

එවැනි විටෙක ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැනම අදහස් දක්වන අය නම් කළ යුත්තේ තමන් විසින්ම විසින් ම මූලිකත්වය ගෙන නැවත ජනමතය පරීක්ෂා කිරීමට යොමු වීම ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම තුළින් ජනාධිපතිතුමා උත්සාහ කළේ එම අවස්ථාව ලබා ගැනීමටය.

එහෙත් නඩු තීන්දුවෙන් පසුව අපද දැනගත් පරිදි පාර්ලිමේන්තුව පෙර අවස්ථාවලදීට වඩා බලයෙන් ඉහළ ගොස් ඇත.

ඒ කෙසේද යත්, පාර්ලිමේන්තුවේ බහුතරය ඇතා නැතා, පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වූවා නැතා, අයවැය සම්මත කර ගැනීමට හැකි වුවා නැතා තුනෙන් දෙකක් පෙන්නුවේ නැතිනම් මුල් වරට රැස්ව වසර හතර හමාරක් යන තුරු හොල්ලන්ට බැරි එකක් බවට පත්වීමෙනි.

ජනාධිපති ධුරයේ බලතල ගැන ප්‍රශ්න කරනා සම හරක් පාර්ලිමේන්තුවට දී ඇති අනවශ්‍ය බලය සම්බන්ධව මීක් නොකියති. ඒ වෙනුවට තව තවත් බලය පාර්ලිමේන්තුව වෙතම ගොනු කර ගැනීම සඳහා වූ යෝජනා ද ගෙනෙති.
බලයට කෑදර කවුරුන්දැයි බලය බෙදීම පිලිබද මුලධර්මය ( the doctrine of separation of powers ) ගැන දන්නා වූ කිසිවෙකුට අමුතුවෙන් කියා දෙන්නට එන්නට අවශ්‍ය නැත!!!

එසේම ශක්තිමත් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නාවූ විපක්ෂයක පැවැත්ම පිළිගන්නට මනාප නැති මට්ටමේ ජනතා නියෝජිතයන් යැයි කියා ගන්නා උදවියද රගමින් සිටිනා අරුම පුදුම පාර්ලිමේන්තුවක් ද වීම සම්බන්ධව ඔය පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරනා අයටම මිස අපට නම් අල්ප මාත්‍රයක ප්‍රසාදයක් නැත්තේය.

ඒ අප්‍රසාදය පල කරන්නට ලැබෙනා පලමු අවස්ථාවේදී ඔවුන්ට එරෙහිව කතිරයෙන් කණ රත්වෙන්නට භාවිතා කරනු ඇත!!!

කුඩා දරුවන් මහණ කිරීමේදී කැමැත්ත

කුඩා දරුවන් මහණ කිරීම වෙනුවෙන් දෙන දරුවන්ගේ කැමැත්තේ ගැටළුවක් ඇත්නම් හෝ එයට කැමැත්ත දෙන්නට දෙමාපියන්ට නොහැකි නම් හෝ එකී කැමැත්ත ගැන ගැටළුවක් ඇති නම් දරුවන්ගේ උපරිම භාරකරු වන දිසා උසාවිය හමුවට එම ගැටලුව රැගෙන යා යුතුය.

එසේම වයෝපුර්ණත්වය ( අවුරුදු 18 ) සම්පුර්ණ වීම දක්වා යම් කාලයකට වතාවක් එම දරුවන් පිලිබදව නීතියෙන් සොයා බලන තත්වයක් ඇති කල හැකිය.

මෙහි අර්ථය ශාසනයට දරුවන් ඇතුලත් කිරීමේදී එය උසාවිය හරහා සිදු කිරීමට යටත් කිරීම නම් නොව කිසියම් ගැටළුවක් ඇත්නම් එය විසදා ගැනීමට යොමු කිරීම පමණි!

එවිට ඒ පිලිබදව සැක පහල කරන අයගේ සැකයද දුරුවන අතර කුඩා දරුවන් මහණ කිරීම සම්බන්ධව පදනමක් නැතිව සිදු කල හැකි විවේචන වලටද ඉඩක් නැතිවේ.

නීතියේ දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු අයුරු

අතීතයේ තිබුණේ සාපේක්ෂව දඩුවම් වැඩි සමාජයකි. දැන් ඇත්තේ සාපේක්ෂව දඩුවම් අඩු සමාජයකි.
කෲර සහ අමානුෂික මට්ටමේ දඩුවම් සහ ඒවා නියම කිරීමේදී එකල රජු සතුව තිබුණු පාලනය කළ නොහැකි වූ අභිමතය නිසාවෙන් සැබෑවටම වැරදිකරුවන් වූ අයට කල වරදට වඩා බරපතළ දඩුවම් නියම වීමේ අනිවාර්ය අවදානම තිබුණු අතර ඊටත් වඩා රජු නොමඟ යාම නිසා ඔහු නොමඟ යැවීම නිසා නිර්දෝෂී තැනැත්තෙකු / තැනැත්තන් නිරපරාදේ දඬුවමට ලක්වීමේ අනිවාර්ය අවදානම තිබුණි.

එදා තත්වය එයාකාර වෙද්දි අද වන විට තත්වය නම් එකල තිබූ දඬුවම් ආකාර සියල්ලම වාගේ කෲර සහ අමානුෂික වන බවත් ඒවා නියම නොකල යුතු බවටත් දේශීය වශයෙන් සහ අන්තර් ජාතික වශයෙන් ද මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය යන්නත්ය. 

එහිදී ඔය කියන මානව හිමිකම් රැකීම වෙනුවෙන් දඬුවමේ ඇති වැදගත්කම සහ එහි ඇති අනිවාර්ය මට්ටමේ අවශ්‍යතාව නිසි පරිදි ඇගයීමට ලක්කර තිබේ ද ලක් කර තිබේද යන්න ප්‍රශ්නයකි.

ඒ අනුව එදා නිරපරාදේ නිර්දෝශී මට්ටමේ මිනිසුන්ද දඩුවම් වින්දා නම් වින්දේ සහ අද එවැනි මට්ටමේ මිනිසුන්ට හිතට හරියන ලෙසින් නීතියේ පිළිසරණ නොලැබ අගතියට පත්වනවා නම් එසේ වන්නේ ඔය අසමතුලිතභාවය නිසාය!!!

එදා මානව හිමිකම් දඬුවමින් යටපත් ව තිබුණු ආකාරයක් දකින්නට තිබුණු අතර අද සිදුව ඇත්තේ දඬුවම, මානව හිමිකමට යටකර හැම ඉලව්වටම මානව හිමිකම් ඉස්සරහට දමා ගැනීමය.

එම අන්ත දෙකම බැහැර කල යුතු ඒවාය!!!

මන්ද ඒ දෙකෙන්ම තැලෙන්නේ සැබෑ ලෙසටම මානව හිමිකම් ආරක්ෂා කළයුතු වන පුද්ගලයින්ගේ අයිතීන්ය. ඒ අනුව එහි ප්‍රතිඵලයක් වන්නේ එම මානව හිමිකම් රැකීමට හේතුවනවාට වඩා කැඩී යාමට හේතු වීමය!!!

මානව හිමිකම් රැකිය යුතු ද වේ. එසේම සමාජයේ අපරාධ පාලනය කළ යුතු ද වෙයි. සමාජයේ අපරාධ නිසියාකාරව පාලනය නොවන්නේ නම් මානව හිමිකම් රැකීමක් ගැන ප්‍රායෝගිකව තවදුරටත් කතා කළ නොහැකි තත්ත්වයට පත් වේ.

ඒ අනුව මානව හිමිකම් රැකිම පිණිස ක්‍රියාත්මක වීමේදී නීතියේ දඬුවම අත්හළ නොහැකි අනිවාර්ය ප්‍රායෝගික අංගයක් බවට පත්ව ඇති බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු ද නැති පැහැදිලිව පෙනෙන්නට ඇති කාරණයකි.

එසේ නම් කළ යුත්තේ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වීමය!!!

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එන ආකාරය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනා යුත්තේ පවතින නීතියට අනුවය. ඒ අනුව එකී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම විවස්තාවේ 78(1) අනුව ගැසට් කල යුතුය.

එහිදී ඒ ගැන ජනතාව වන අපට දැනගත හැකිය / කියවා බලන්නට අවස්ථාව උදාවේ.
විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන්නේ නම් සහ ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධව සමාජයේ ඇතිවී ඇති කසුකුසුව නිසාවෙන් යම් සංශෝධනයක් ගෙන එයි නම් ඒ සම්බන්ධව ගැසට් පත්‍රයේ පළ කරනවාට අමතරව මාධ්‍ය මගින් එවැනි සංශෝධනයක් කිරීමට බලාපොරොත්තු වන බවට ජනතාව දැනුවත් කිරීම පැහැදිලිව ම වටී.

නව ව්‍යවස්ථාවක හෝ සංශෝධනයක වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට / නීතියට පටහැනි කිසියම් හෝ කාරණා හෝ කාරණයක් හෝ අන්‍තර්ගත වන්නේ නම් ඒ සම්බන්ධ ව ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂාවට ලක් කර ගැනීමට අවස්ථාව ඕනෑම පුරවැසියෙකුට ඇත.

එවැනි කිසියම් වූ හෝ කාරණාවක් අන්තර්ගත වේ නම් එය අනිවාර්යෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ යුතු ද වේ.

පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කරන්නේ ජනතාව විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාවේ පරමාධිපත්‍යය බලයට අයත් ව්‍යවස්ථාදායක බලය යි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (අ) අනුව ජනමතවිචාරණයකදී සෘජුව ජනතාව විසින් ද අනෙකුත් අවස්ථාවල දී ජනතාව තෝරාපත් කර ලබන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

එනම් ජනතාව හා පාර්ලිමේන්තු අතර ඇත්තේ ප්‍රධානියා සහ නියෝජිතයා අතර ඇති ගිවිසුමකි. ඒ අනුව බලය ලබා දෙන බලයේ ප්‍රභවය වන ජනතාව එහි දී සලකන්නේ ප්‍රධානියා ලෙස ට සහ එම බලය ලබන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ නියෝජිතයා ලෙසටය!!!

ඒ අනුව පාර්ලිමේන්තුවට තමාට අවැසි අවැසි ලෙසින් ක්‍රියාත්මක වන්නට බලයක් ජනතාව දී නැත. සරලව කිව හොත් පාර්ලිමේන්තුව නැටිය යුත්තේ ජනතාවගේ පදයට ය.

ප්‍රධානියා විසින් දෙන ලද බලය ප්‍රධානියාගේ උපරිම යහපත පිණිස ක්‍රියාත්මක කිරීම නියෝජිතයාගේ පරම යුතුකම බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම මතකයේ තබා ගත යුත්තකි!

එසේ නොවන්නේ නම් අවස්ථාව ලද විගස කතිරයෙන් එවන් පාර්ලිමේන්තුවක් බිමට සමතලා කොට ජනමතය නිවැරදිව නිරූපනය වන නව පාර්ලිමේන්තුවක් ජනතාව විසින් පත් කර ගනු ඇත! එසේ කළ යුතු ද වෙයි!

නව ව්‍යවස්ථාව සම්බන්ධව පිළිතුරු නොමැති ප්‍රශ්න

විධායක ජනාධිපතිධූරයේ බලතල අහෝසිම වන තැනට සිදුකරන්නාවූ ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ ගෙන ආ යුතු යැයි කියනා එබදු නව ව්‍යවස්ථාවකින් හෝ ජනරජයේ ඒකීයභාවය ආරක්ෂා කරන්නේ කෙසේද, දේශ පූර්ණ ඒකීයභාවය පවත්වා ගන්නේ කෙසේද, පාර්ලිමේන්තුවේ මතුවන අස්ථාවරත්වයකදී රටේ ආරක්ෂාව බාර විධායකයේ අඛණ්ඩභාවය පවත්වා ගන්නේ කෙසේද, නූතන බලය බෙදීමේ පිළිගත් සිද්ධාන්තය වන ආයතන ත්‍රිත්වය ( විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ) අතර සංවරණය සහ තුලනය නිසියාකාරව පවත්වා ගන්නේ කෙසේද යනාදී ප්‍රශ්න සඳහා නිසි පිළිතුරු ලබා දීමට ඒ මතයට පක්ෂ අය සමත් වූ බවක් ඔය කාරණාව හා සම්බන්ධව මූහුණු පොතේ දකින්නට තිබෙන සාකච්ඡාවලදී තබා පැවති රූපවාහිනී වැඩසටහනක දී ද දකින්නට තිබුණේ නැත ...

ඊට අමතරව ව්‍යවස්ථා සංශෝධනයකදී හෝ නව ව්‍යවස්ථාවක දී ජන රජයේ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා, දේශ පූර්ණ ඒකීයභාවය ආරක්ෂා කිරීම සඳහා, ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සඳහා, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා, අධිකරණයේ භූමිකාව කොයි ආකාරව තිබේද යන්න සාකච්ඡා වූයේ නැත ...

එසේ වන්නේ මන්ද ???

එම කාරණා කිසිවෙකුටවත් සාකච්ඡා කළ නොහැකිද?

නොඑසේ නම් ඔය සිදුකරනවා සංශෝධනයකදී හෝ ගෙනෙනා නව ව්‍යවස්ථාවක දී ඔය කාරණා වලට රටට පක්ෂව හරිහමන් පිළිතුරු දීමට කොහොමත්ම නොහැකි ද ?

එසේනම් ගෙන එන එවන් සංශෝධනයක හෝ නව ව්‍යවස්ථාවක පැහැදිලිවම රට පැත්තෙන් ගැටලුවක් තිබෙනවා යැයි කීමේ වරදක් නැත !!!

පළාත් සභා මැතිවරණ හරහා ක්‍රියාත්මක වන්නේද ජනතා පරමාධිපත්‍යයයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හඳුන්වා දුන් පළාත් සභා යම් විධායක බලයක් සහ ව්‍යවස්ථාදායක බලයක් සහ පළාත තුළ අධිකරණ බලයක් ද ක්‍රියාත්මක කරයි. පළාත් සභා ඡන්දයක දී ඡන්ද බලය ඒ ඒ පළාත්වල ජනතාව විසින් ක්‍රියාත්මක කරයි. මූලික අයිතිවාසිකම් කඩ වීමකදී නම් එයට පිළියම් ලබා ගැනීම වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවට අයත් කොළඹ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ම ඒමට සිදුවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැන ව්‍යවස්ථාවෙ දක්වා ඇති පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලය 4 වන ව්‍යවස්ථාවේ පරිදි ක්‍රියාත්මක කිරීම යටතට පළාත් සභා ඡන්ද ඇතුලත් කර නැතත් ඡන්දය පවත්වන්නේ පළාත් පාලන ආයතන වෙනුවෙන් ද, පළාත් සභා වෙනුවෙන්ද, පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ද යන්නෙන් ස්වායත්තව කිසියම් වූ ඡන්දයක් ප්‍රමාද වන්නේ නම් එය ජනතා පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලය කඩවීමක් ලෙස සැලකිය හැකි සහ සැලකිය යුතු ද වන තැන ඇත.
එසේ සැලකිය යුතු නොවන බවට මතයක් ද ඇත. එය ඉලක්ක කර ඇත්තේ පළාත් සභාවක ඡන්දයද මහමැතිවරණයේ හෝ ජනමතවිචාරණය හෝ ජනාධිපතිවරණ ජන්දය මෙන් ඒ තත්ත්වයම පිළිගත හොත් පළාත් සභාවක් එනයින්ම පූර්ණ බලධාරී ස්වයං ඒකකයක් බවට පත්වනවා යැයි කියමිනි.
බැලූ බැල්මට එහි සත්‍යතාවක් ඇති බව පෙනුනත් කාරණා දෙකක් මත එය බැහැර කළ හැක.
1. පලාත් සබා හා පලාත් පාලන ආයතන ඡන්ද බලයද පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලයම බව පිළිගැනීමෙන්ම එනයින් ම පළාත් සභාවක් පූර්ණ බලධාරී ස්වයං ඒකකයක් බවට පත් නොවේ. මන්ද ඡන්ද බලය යනු ජනතා පරමාධිපත්‍යයේ එක අංගයක් පමණක් වන බැවිනි.
2. පළාත් සභාවක් ස්වයං ඒකකයක් බවට පත් කරන්නට නම් එය කළ යුත්තේ ප්‍රධාන වශයෙන්ම පළාත් සභාවේ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල පළාත් සභාවේ අනුමැතියෙන් තොරව මධ්‍යම ආණ්ඩුවට ඇඟිලි ගැසීමට නො හැකි ලෙස සැකසීමෙනි. එනම් පළාත් සභා දැනට වඩා ස්වාධිපත්‍යයෙන් එනම් තමන්ට අවශ්‍ය නීති තමන්ටම සකසාගෙන තමන්ට අවැසි ලෙස පාලනයක් ගෙනයන්නට සැලකිය යුතු ලෙ හැකිවන වන බලවත් ඒකක බවට පත් කිරීමෙනි.
(මෙය සිදු නොකළ යුතු කාරණයකි. ඒ පිළිබඳව පිළිබදව මෙහිදී අවධානය යොමු නොකරනු ලබයි)
පළාත් සභාවලට අදාලව ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම පවත්නා ආණ්ඩුවක් විසින් යම් හේතුවක් මත ප්‍රමාද කරන්නේ නම් සහ ඒ හේතුව යුක්තිසහගත එකක් නොවෙන බව පෙනෙන්නේ නම් එය අභියෝග කිරීමට හැකියාව ජනතාවට තිබිය යුතු ද වෙයි.

එහෙත් පළාත් සභා ඡන්දය ජනතා පරමාධිපත්‍යයට අයත් ඡන්දයක් නොවන බවට මතය දරන අය නොඑසේ නම් පළාත්සභා ඡන්දය ද ජනතා පරමාධිපත්‍යයට අයත් ඡන්දයක් ලෙස පිළිගතහොත් එනයින්ම පළාත් සභා වලට ස්වයං පාලන බලතල ඇති ඒකකයක් ලෙස පිළි ගත්තා යැයි මතය දරණා අයට අනුව නම්

1. පළාත් සභා බලයෙන් අඩු ඒකක ලෙස එලෙසින්ම පවති.
නමුත්

2. පළාත් සභා ඡන්දයක් ඕනෑම කාලයක් කල් දැමුවද ජනතා පරමාධිපත්‍යයට එයින් කිසිම හානියක් නොවේ.

1 යහපත් තත්ත්වයකි. එහෙත් 2 අයහපත් ය. 1 සිදුකිරීමට 2 හි දක්වන ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ අයිතිය බිලි දිය යුතු නැත. අනෙක් අතින් 2 හි දක්වන කරුණ සත්‍යයක් ද නො වේ. සත්‍යයක් ලෙස පිළිගත යුතු ද නැත. කුමන ආකාරයක හෝ ඡන්ද ප්‍රමාද වීම යනු පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ජනතාවට අවස්ථාව අහිමි කිරීමකි.

රැවුලත් කැඳත් දෙකම බේරා ගත යුතු ය.

එනම්

1. පළාත් සභාවක් තනිකරම තමාට වුවමනා හැටියට ක්‍රියාත්මක වීම වැලක්විය යුතුය.
2. පළාත් සභාවකට අදාළව ඡන්ද බලය නිසි වෙලාවේ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දිය යුතු ද වේ.
කවුරුත් යෝජනා ගෙන ආ යුත්තේ ඔය කාරණා දෙකම ඉෂ්ට කරගැනීම වෙනුවෙන් මිසක එකක් පමණක් ඉලක්ක කර නොවේ.

මන්ද එක අතකින් පලාත් සභා අධික ලෙස ස්වාධිපත්‍යයෙන් බලවත් වීමෙන් රටේ ඒකීය භාවය පවත්වා ගැනීමට බාධා එල්ල කිරීම වලක්වා ගැනීම අනිවාර්යෙන්ම වැදගත් වනවා සේම පලාත් සභා වලද ඡන්ද බලය නිසි කලට ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද ආරක්ෂා කර ගත යුතු වන හෙයිනි.

ඒ අනුව ගෙන ආ යුත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු නෙලා ගන්නාවූ යෝජනාවක් මය!!!

සම්මත වූ නිතිය නිසි ලෙස සම්මත වූවාද යන්න දැන ගැනීම

පාර්ලිමේන්තුව තුළ නීතියක් සම්මත කිරීමේ කාර්යය පටිපාටිය / කාරක සභා ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීමට නොහැකි වීම පාර්ලිමේන්තුවට හොඳ විය හැකි වුවත් ජනතාවට අහිත පිණිස පැවතිය හැකිය!

ඒ අනුව ගැසට් පත්‍රයේ පළ කළ පනත් කෙටුම්පතම නීතිය බවට පත් වූවා ද නො එසේ නම් ජනතාවගේ ඇස වසා පාර්ලිමේන්තුව තමන්ගේ බලය රැක ගන්නට / ජනතාවට අහිත පිණිස හේතුවන මට්ටමේ තමන්ට උවමනා සංශෝධනයන් පාර්ලිමේන්තුවේ දී එකතු කරගත්තාද යන්න පනත සම්මත වීම අවසානයේ අධිකරණයේ පරීක්ෂාවට ලක් වීම වැදගත් වන්නේ එබැවිණි!!!