Wednesday, April 11, 2018

ජේෂ්ඨ, කනිෂ්ඨ නීතිඥ සබදතාවය



අද වෙද්දී තවත් ජේෂ්ඨ නීතිඥවරුන් අතරේ අදටත් දැනමුතුකම් දෙන මාගේ පළමු ජේෂ්ඨ නිතිඥතුමා මා හට කලකට පෙරදී කියූ කාරණයක් සිහිපත් විය, එනම් නිතිඥවරයකුට 'සර්' කියන්නට අවම වසර 10 ක් වත් වෘත්තියට පැමිණ කාලය ගත වී තිබිය යුතු බවත්, එසේ වුවත් ක්ෂේත්‍රයේ දැනුම බෙදා ගන්නේ නැත්නම් / ජුනියර් කෙනෙක් හදන්නේ නැත්නම්., ජුනියර් කෙනෙක්ට දෙයක් කියා දෙන්නේ නැත්නම් 'සර්' කියා එවැන්නෙකුට ඇමතීමේ ඵලක් ඇතිදැයි කියා සිටියා මතකය ...

'සර්' යන්න වෙනුවට 'මැඩම්' ද ආදේශ කරගත හැකිය ...

සරලව සැලකුව හොත් A ට වඩා දිනක් හෝ B වෘත්තියේ නිරතව ඇති නම් A B ජේෂ්ඨයෙකි. B ට සාපේක්ෂව A කනිෂ්ඨයෙකි ...

එහෙත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා 3 දෙනෙකු ඉදිරියේ රෙජිස්ට්‍රියක අත්සන් කිරීමෙන් පසුව අවුරුදු 30 ක් වෘත්තියේ නිරත වන්නාද, අද දිවූරුම් දුන් අයද "Attorney at Law" යන පොදු තනි නමකට එකසේ හිමිකම් කියනා සමාන අයිතිවාසිකම් සහිත වෘත්තිකයන් බවට පත්වේ ...

අන් හැම වෘත්තියකම, රැකියාවකම සහ ඉගෙනුම් ආයතන වල වුවද දකින්නට ඇති පරිද්දෙන් ජේෂ්ඨ, කනිෂ්ඨ බෙදීම නීතිඥ වෘත්තියේද ඇත ... එහි වරදක්ද නැත ... මන්ද "Attorney at Law" වූ පමණින්ම අවුරුදු 30 ක් වෘත්තියේ නිරත නීතිඥවරයකුගේ හැකියාව, දැනුම, කුසලතාවය ආදිය අද වෘත්තියට ප්‍රවේශ වූ කනිෂ්ඨ නීතිඥවරයාට ප්‍රායෝගිකව නොමැති නිසාය. කනිෂ්ඨයෙකු ජේෂ්ඨයෙකුට ගරු කල යුත්තේ අන්න ඒ හැකියාව, දැනුම, කුසලතාවය ආදිය ටය ... වයසින් වැඩිවීමද එයට එකතු කල යුතු නම් එකතු කල යුතුය.

වී කරල පැසෙන්නට පැසෙන්නට බිමට නැමෙනවා මෙන් දිනෙන් දින දැනුමෙන්, අත්දැකීමේන් සරු වන්නට වන්නට ජේෂ්ඨ වෘත්තිකයකු නිහතමානි වෙමින් තමාගේ, තමන් හා ක්ෂේත්‍රයේ සම වයසේ වෘත්තිකයන්ගේ යහපත කෙරේ සහ ක්ෂේත්‍රයට ඇතුළු වෙමින් නීතිඥ වෘත්තීය ජීවමාන කරන්නට දායක වෙන කනිෂ්ඨ වෘත්තිකයන්ගේ යහපත වෙනුවෙන් ද පෙනී සිටිය යුතු වෙයි.

කනිෂ්ඨ නීතිඥවරයකු යනු හුදෙක් ජේෂ්ඨ නීතිඥවරයකුගේ නඩුවලට අදාළ ෆයිල් උස්සාගෙන යන්නටම වෙන් කරගත් රථයක් බදු තත්වයකට පත් කරන්නේ නම් එය මා නම් අනුමත කරන්නේ නැත. හෙතෙම ජේෂ්ඨ නීතිඥවරයාට සහය වන්නෙක් පමණක් විය යුතු අතර කනිෂ්ඨ නීතිඥවරයාටද ස්වාධීනව නැගී සිටීමට අවස්තාව දෙන්නෙකු විය යුතුය.

අනිකුත් වෘත්තීන්ට සේම ආචාර ධර්ම කොහොමත් නීතිඥ වෘත්තියට උරුමය. එහිදී තමන්ගේ සහෝදර වෘත්තිකයන් කෙරේ දැක්විය යුතු සුභදශීලි බව මුසු ගරුත්වය යන්නට ජෙෂ්ඨත්වයට ගරු කිරීමද ඇතුලත් වුයේ නම් ඒ ප්‍රමාණවත්ය ...

එහිදී තමා අසලට පැමිණ සිටින්නේ ජේෂ්ඨ නීතිඥවරයකු බව දැනගත් පසුව හෝ එතුමා හෝ එතුමිය ඉල්ලා සිටියහොත් හෝ හැකියාව ඇති නම් ඒ තරමට අසුන පිරිනැමීම ප්‍රමාණවත්ය. එහිදී ඇතැම් නීතිඥවරුන් එම අසුන පිළිගනු ඇති අතර ඇතැමුන් ප්‍රතික්ෂේප කරනු ඇත ... ( මා එසේ අසුන ලබා දෙන්නට උත්සාහ කල අවස්ථා 99% කම වාගේ අසුන ප්‍රතික්ෂේප කරනු ලැබුවා මතකය ... )

එසේ නොමැතිව මේ එන්නේ ජේෂ්ඨ නීතිඥවරයකුද යන්න සොයා බල බල අසුන අවශ්‍ය දැයි අසා සිටිය යුතු නැත ... එසේ වන්නේ නම් එය කෝලමක් වනු ඇත ... කිසියම් ජේෂ්ඨ නීතිඥවරයකු එසේ බලාපොරොත්තු වන්නේ නම් එය අසාමාන්‍ය තත්වයකි. එය ඔය කියනා මැනස් නම් නොවේ ...

අනෙක් අතට උසාවි ඇදුමින් නොසිටින අයකුව ජේෂ්ඨ නීතිඥවරයකු තබා නීතිඥවරයකුදැයි දැන ගැනීමට එකවර අපහසු විය හැක ... එවිට කනිෂ්ඨ නීතිඥවරයකු යයි හදුනා ගත අයකු වරදක් කලේ නම් එය කාරුණිකව පෙන්වා දීමක් හොද ජේෂ්ඨ නීතිඥවරයකු ගෙන් නම් අපේක්ෂා කල හැකි / යුතු තත්වයකි.

තැන නොතැන නොබලා පාලනය නොකළ සිතින් යුතුව යම් වරදක් කල අයකුගේ වුව එකවර ඇගට කඩා පනින්නේ නම් එය නීතිඥවරයකු සම්බන්ධව පමණක් නොව එසේ නොවන තැනැත්තෙකු සම්බන්ධයෙන් වුව කොතරම් මැනස් වලට එකග දැයි ප්‍රශ්න කල හැකි තත්වයකි.

කනිෂ්ඨ නීතිඥවරයකුගේ වරදක් දුටුවහොත් එය කරුණාවෙන් පෙන්වා දිය යුතු වෙයි. මන්ද යත් පළමුව ජේෂ්ඨ නීතිඥවරයෙකු අමතක නොකළ යුත්තේ තමන්ද අද ඔතන සිටින්නේ පළමුව කනිෂ්ඨ නීතිඥවරයකුව සිට යැයි යන්න සහ කනිෂ්ඨ නීතිඥවරයකු වුවත් ඔහුට / ඇයටත් වෘත්තීය ගරුත්වයක් සහ ආත්ම ගරුත්වයක් ඇති බවය ...

එහෙත්, හැමෝම එක ආකාරයේ නොවිය හැකි නිසාවෙන් එසේ ක්‍රියාත්මක නොවෙන, තමාගේ ඇති අධ්‍යපන හෝ වයස හෝ වෘත්තීය වයස ආදිය නිසාවෙන් මානයෙන් මුසපත්ව පිම්බිය හැකි උදවියද එහෙන් මෙහෙන් සිටිය හැකිය. මා දකිනා අන්දමින් නම් එවන් අය යැයි හදුනා ගත හැකි අයගෙන් හැකිතාක් ඉවත්ව සිටීම හොදම ආරක්ෂක පියවරයි.

අනෙක් අතින් එවැනි අවස්ථාවකට පත්වුවහොත් කල යුත්තේ සිතින් නොවැටී එයම ශක්තියක් කරගෙන තමන් දන්නා පරිදි මැනස් නම් මේවා බවත් තමන් නොදන්නා මැනස් කිසිවක් කඩ කලේද එසේ නම් ඒ මොනවාදැයි පසුව එම නිතිඥවරයාගෙන් / වරියගෙන් හිමිහිට විමසා බැලීම ය. ඔහු / ඇය සිටියේ ප්‍රශ්නයක නම් ඔහුගේ හෝ ඇයගේ හැසිරීම සිදුවුයේ ඒ නිසා නම් සමාව භාජනය කරනු ඇති අතරම මානයෙන් පිම්බුණ අයකු නම් වචන අමුණන තත්වයට පත්වෙනු ඇත ...

No comments:

Post a Comment