Wednesday, April 11, 2018

"ඔවු" සහ "පුළුවන්" වාගේම "නෑ" "බෑ" හි වැදගත්කම

"ඔවු" සහ "පුළුවන්" වාගේම "නෑ" "බෑ" වචන දෙක සාමාන්‍ය ජීවිතයේදී කොයි කාටත් වාගේම ඇතැම් අවස්ථා වලදී ඕනෑම වෘත්තිකයකුට ප්‍රයෝජනවත් විය හැකිවා සේම නීතිඥවරයකුටද ප්‍රයෝජනවත්ය ...

ඒ තමන්ගේ යහපත, තමාගේ සේවය ලබා ගන්නා අයගේ යහපත සහ ඇතැම් අවසථා වලදී අධිකරණයේ කාලය අපතේ නොයවිම පිණිස සහ තමන්ගේ තත්වය ආරක්ෂා කරගැනීම පිණිසය.

ඉදිමිය යුත්තේ ඇගිල්ලේ තරමටය ... එනම් වැඩ කල යුත්තේ තමන්ගේ හැකියාවේ තරමටය ...

එය හදුනා ගැනීම වැදගත්ම කාරණයකි.

එය හරියටම දන්නේ අන් කිසිවකු නොව තම තමන්මය. අනිත් අය කියන නිසාම, අනිත් අය කරන නිසාම තමනුත් ඒ ගොඩටම දමා ගැනීම සුදුසු නොවන්නේ එබැවිනි.

තමන්ගේම පන්තියේ සිටි තමන්ගේ සගයකු තමන්ට වඩා වැඩ වලින් ඉදිරියට යනවා නම් / ගියා නම් ඒ එම තැනැත්තාගේ හැකියාවය. ඔහුට පුළුවන් නම් මට බැරි ඇයි ලෙසින් එයින් ඔබ ධෛර්යමත් වීම එනම් ධනාත්මක චින්තනය එක දෙයකි, එහි වරදක් නැත. එහෙත් ඒ නිසාම තමන්ට ඒ මොහොතේ කරන්නට නොහැකි දෙයක් නම් කරන්නට ගොස් විහින් අපහසුවට පත්වන්නේ නම් එය තවත් කාරණයකි.

රිය පැදවීම පුහුණු විමේදීද එය කල යුත්තේ ඉතා කල්පනාවෙන් සහ පියවරෙන් පියවරය. මදක් පුළුවන් වූ කල්හි දැන් සියල්ල දැනගත්තා යැයි සිතා / රිය පැදවීම නම් අභියෝගය බිය නැතිව බාර ගනිමි යයි සිතා රිය පදවන්නට ගිය හොත් අමාරුවේ වැටෙනු නියතය.

අනෙක් අතින් "නෑ" "බෑ" කියන්නට ලජ්ජා විය යුතුද නැත ...

වේදිකාවේ සජීවී රංගනයක යෙදෙන ශිල්පියකු අතින් වරදක් වන්නේ නම් එය එම නාට්‍යය නරඹන සියලු දෙනාගේ අවධානයට යොමු වනවා සේම අධිකරණය ඉදිරියේ පෙනී සිටිනා නීතිඥවරයාද අධිකරණ ශාලාවේ සිටිනා සියලු දෙනාගේ අවධානයට ලක්වේ.

නීතිඥවරයෙකු ලෙසින් කිසියම් සේවාදයකයකුගේ වැඩක් බාර ගැනීම යනු වගකීමක් බාර ගැනීමකි. එය බාර ගත්තේ නම් නෑ බෑ නොකියා කරන්නට සිදුවේ. එහිදී අඩුවක් සිදුවුයේ නම් එයට ඔබගේ දායකත්වයක් තිබුණේ නම් වගකීම ඔබ මත පැවරෙනු ඇත ...

ජේෂ්ඨ නීතිඥවරයකුගේ උපදෙස් මත / සමග පෙනී සිටිනවා යයි කියා සැමවිටම වගකීම සිමා කරගන්නටද නොහැකි වනු ඇත ...

මන්ද සාමාන්‍ය පුරවැසියෙකු සේම කනිෂ්ඨ නීතිඥවරයකු යන දෙදෙනාටම "නිතිය නොදනිම සමාවට කරුණක් නොවේ" යන නීති මුලධර්මය සේම "හැම තැනැත්තෙකුම විසින් දැනගත යුතු දේ නොදනිම සමාවට කරුණක් නොවේ" යන නීති මුලධර්මයද අදාළ වන නිසාය. එසේම ශ්‍රේෂ්ඨාධිකරණ රීති මාලාවකින් ද ඔබ බැදී සිටි.

ඒ අනුව වර්තමානයේ ඔබට හැකි නොහැකි සීමාව හදුනාගෙන කටයුතු කිරීමෙන් ප්‍රධාන කොට ඔබගේ යහපත, සේවාදායකයාගේ යහපත සහ ඇතැම් අවසථා වලදී අධිකරණයේ කාලය අපතේ නොයවිම සහ ඔබගේ ප්‍රතිරූපය ආරක්ෂා කරගැනීම ආදිය පිණීස හේතුවක් වනු නියතය.

No comments:

Post a Comment