Wednesday, April 11, 2018

ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් නඩු කටයුතු කිරීමේ වැදගත්කම


ශ්‍රී ලංකාව තුල සිංහල භාෂාවෙන් නඩු කටයුතු කිරීමේ වැදගත්කම බැහැර කරන්නට බැරි ලෙසින් "නිතිය නොදනිම සමාවට කරුණක් නොවේ" යන නීති මුලධර්මය හා බැදී ඇති ආකාරය මනාව ඒ දේශනයෙදී විග්‍රහ කර දෙන ලදී ...
 
ඉංග්‍රිසි භාෂාවට ශ්‍රී ලංකාව තුල සන්ධාන / ආධාරක භාෂාවක් (link language) විනා රාජ්‍ය භාෂාවක තත්වයද නොමැත.

මහේස්ත්රාත් අධිකරණය, දිසා අධිකරණය, මහාධිකරණය, සිවිල් අභියාචනා මහාධිකරණය, අභියාචනාධිකරණය, සහ ශ්‍රේෂ්ඨාධිකරණය යන සියලු අධිකරණවලදී ඉංග්‍රිසි භාෂාව සහ සිංහල භාෂාව භාවිතා කොට පෙනී සිටිනා නීතිඥවරුන් දැක ඇත්තෙමි.

සිංහල භාෂාවටත් වඩා ඉංග්‍රිසි භාෂාව හැකි අය සිටින්නට පුලවන. එහෙත් බහුතරය එසේ නොවෙන තැන ඇතුවාට සැක නැත. සාමාන්‍ය ඉංග්‍රිසි කෙසේ වෙතත් අධිකරණය ඉදිරියේ වුයේ කුමක්දැයි අවබෝධ කරගන්නට දන්නා ඉංගිරිසිය ප්‍රමාණවත් නොවෙනවාද විය හැකිය.

සිංහල බසින් මා අධිකරණයක් ඉදිරියේ කල කරුණු කියාපෑමක් අවබෝධ කරගැනීමට නොහැකි වූ සේවාදායකයකු මහත්තයා මොකද්ද උනේ අද ? ලෙසින් මා විමසා සිටියා මතකය. සිංහල බසින් අධිකරණය තුල සිදු වූ දේ අවබෝධ කරගැනීමට නොහැකි තැනක සිටිනා මිනිසුන්ට ඉංග්‍රිසි බසින් කරනා කරුණු කියාපෑමක් කෙසේ නම් අවබෝධ කරගැනීමට හැකි වනු ඇතිද ? එහෙත් අවබෝධ කරගත්තා, නැතා ඒ හැම දෙනාම

"නිතිය නොදනිම සමාවට කරුණක් නොවේ" යන දැඩි නෛතික මුලධර්මයන් බැදේ ...

භාෂාව අවබෝධ කරගැනීම ට බැරි නම් කල යුත්තේ භාෂාව ඉගෙන ගෙන එන එකය යැයි කීමට නොහැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ( 24 ව්‍යවස්ථාව ) සිංහල භාෂාව ( 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව දෙමල භාෂාවද ඇතුලව ) රාජ්‍ය භාෂාවක් ලෙසින් දක්වා එය අධිකරණය භාෂාවක් ලෙසින් දක්වා තිබෙන නිසාවෙනි.

අධිකරණ යනු මහේස්ත්රාත් අධිකරණයේ (එයද ඇතුළුව) සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම (එයද ඇතුළුව) සියලුම අධිකරණයන් ය.

ඒ අනුව සිංහල භාෂාවෙන් කටයුතු කරන්නට නෛතික අයිතියක් ඇත්තේය.

"අයිතියක් ඇති තැන පිලියමක් ඇත"

එනම් එය ප්‍රයෝගිකව යොදා ගැනීමට හැකියාව ඇත / තිබිය යුතුද වෙයි.

සිංහල භාෂාවෙන් අධිකරණ කටයුතු කිරීම වර්ධනය වෙමින් පවතින නිසා සහ භාෂා පරිවර්තක මෙවලම් නිසාවෙන් ඉංග්‍රිසි භාෂාව නිසා කිසියම් ආධිපත්‍යයක් තිබුණේ නම් එයද දියාරු වන්නට පටන් ගෙන ඇත.

මහේස්ත්රාත් අධිකරණයේ, දිසා අධිකරණයේ, මහාධිකරණයේ හිදී මා නම් භාවිතා කරන්නෙම සිංහල භාෂාවය. සිවිල් අභියාචනා මහාධිකරණයේ, අභියාචනාධිකරණයේ, සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පමණක් ඉංග්‍රිසි බස යොදා ගනිමි.



එකදාස් අටසිය බර ගණන් වලදී සුද්දාගේ ඉංගිරිසියෙන් ඇරඹි නඩු කටයුතු සිංහලෙන් මුල් වරට පටන් ගත්තේ සුද්දා අප රට අතහැර ගොස් තවත් කලක් ගත වීමෙනි ...

එනම් ගම්පහ දිසා අධිකරණයේ එකදාස් නවසිය හැට අටේ අගෝස්තු 3 වන දින බව දේශණයකදී ඇසුවා මතකය. එය වනාහි සිංහල දේශයට නැවත සිය භාෂාවෙන් ජවය දීමකි ...

ඉන් පසුව 1971 දී නීති විද්‍යාලයේද සිංහල භාෂාවෙන් අධ්‍යයන කටයුතු ඇරඹි ඇත. 2010 දී එය නතර කර ඇත ... ඒ අනුව අපි ඉගෙන ගත්තේ ද සිංහල භාෂාවෙන් නොවේ ...

භාෂාවේ වැදගත්කම අන් කවර ක්‍ෂේත්‍රයකදිටත් වඩා නීතියේදී ඉස්මතු වෙන කල නිතියට අදාළ වෘත්තීය පුහුණුව ලබා දෙන නීති විද්‍යාලයේදී අවැසි අයට ඉංග්‍රිසියෙන්ම ඉගෙන ගන්නට ඉඩ හැර නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සිංහල මාධ්‍යයෙන් කල යුතු නැතිද . . . ?

ඉංග්‍රිසි බස හැකියාව පෙන්වීමක් ලෙසට, ආඩම්බරයට හේතුවක් හෝ තත්වය ඉහල දමාගැනීමට ඇති ඉනිමගක් ලෙසින් මා නම් කොහොමත් සලකන්නේ නැත ... උපරිමාධිකරණ වල ඉංග්‍රිසි බසින් අමතන සම්ප්‍රදායක් ඇති නිසාම මා එසේ කරනවාද නොවේ ... හෙළ බසට තැන ලබා දීමට නම් පළමුව එයට අවැසි පසුබිම හදා ගත යුතුවේ. දැනට සිංහල බසින් අධිකරණ ඉදිරියේ පෙනී සිටිනා නීතිඥවරුන්ද සිය ගමන ආරම්භ කර ඇත්තේ එසේය.

එහෙත් දේශනයේදී පෙන්වා දුන් ආකාරයේම වැදගත් තැනක ඇති නිසා හැකියාව ලද පසුව / අවැසි පසුබිම සකස් වූ කල සිංහල බසින් එම අධිකරණ ඉදිරියේ ද පෙනී සිටිනා නීතිඥවරුන්ගේ ලැයිස්තුවට ජාතික ඇදුමද ඇද ඇතුලත් වන්නට කලබලයක් නොමැතිව අපේක්ෂාවෙන් මා ද පසුවෙමි.

No comments:

Post a Comment