Thursday, November 22, 2018

අලුතින් දිවුරුම් දෙන ඔබට

දන්නා කියනා සහ දැන හදුනා ගත් දිවුරුම් දීමට නියමිත පිරිසක් සමග කතා කරන්නට අවස්ථාව උදා විය.
නැවුම් බලාපොරොත්තු සහ නැවුම් පැතුම් !!!

ඇතැම් කරුණු මා සදහන් කල අතර තවත් කරුණු ද සමග මෙසේ කරුණු කීපයක් දක්වන්නට සිතුවෙමි.

ප්‍රධාන වශයෙන් තමාගේ ආරක්ශාවට වැදගත් කරුණු :
- "ඔව් පුළුවන්" සමගම "නෑ බෑ" වචන ද සුදානම් කර තියා ගැනීම.
( අදටද මා එසේය )
- ගාස්තුව දීමට සුදානම් නිසාම පෙනී නොසිටීම.
( අදටද මා එසේය )
- ගාස්තු නොගෙවීම නිසාම එකවරම නඩුවකට පෙනී සිටීමෙන් බැහැර නොවීම ( විශේෂයෙන් සිවිල් නඩුවක ) පෙනී නොසිටින්නේ නම් ඒ බවට සාධාරණ හේතු එකතු කරගෙන උසාවිය දැනුවත් කොට උසාවි අවසරය මතම නඩුවෙන් බැහැර වීම.
- පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද / කාගේ උපදෙස් මතද යන්න දැනුවත් වීම ( සිවිල් නඩුවක අනිවාර්යෙන්ම )
- පෙර පියවර, වත්මන් හා ඉදිරි පියවර දැන ගැනීම.
- පෙනී සිටින්නේ / ඉල්ලීම කරන්නේ කවර නිතියක් යටතේද දැන ගැනීම.
- කෙටියෙන් පැහැදිලිව එක්කෝ සිංහලෙන් / දෙමලෙන් නැති නම් ඉංග්‍රීසියෙන් ඉල්ලීම කිරීම.
- ලේඛණ ඉදිරිපත් කිරීමේදී අනෙක් පාර්ශවයට පිටපත් ලබා දිය යුතු නම් ඒවාද ලැස්ති කර තබා ගැනීම.
- පෙරකලාසි දමන්නේ නම් නිසි පරිදි මුද්දර ගාස්තු ගෙවා තිබේ දැයි සහ එවැනි නඩු පිලිබදව විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව හොදින් මතකයේ තියා ගැනීම.
- ආවාට ගියාට තමාගේ සීල් එක අත්සන භාවිතා නොකිරීම. සිල් එක අත්සන තැබූ ලේඛණ වල පිටපත් / අවම වශයෙන් ඡායාරුප හෝ තබා ගැනීම.
- දින ඉල්ලීමේදී එයට පිළිගත හැකි හේතු ඉදිරිපත් කිරීම සහ ඉල්ලීම සාධාරණිකරණය කිරීම.
- මුල් කාලයේදී විශ්වාස අයගෙන්ම පමණක් නඩු ලබා ගැනීම.
මා නම් කලක් යන තුරුම ලබා ගත්තේ මා හට ක්ෂේත්‍රයේ අකුරු කියවූ මාගේ පළමු ජේෂ්ඨ නීතිඥතුමාගේ නඩුම පමණි. මිතුරන්ගේ නඩු තබා කොටින්ම වෙනත් නීතිඥවරයකුගේ නඩුවක් හෝ නොගත්තෙමි.
- තමාගේ ඉල්ලීම පිලිබදව පුර්ණ විශ්වාසය ඇතිව යාම, එසේ විශ්වාසය හරියටම නැති නම් හරියට දන්නා අයෙකුගෙන් සහය ලබා ගැනීමට මැලි නොවීම!
බොහෝ විට සහෝදර වෘත්තිකයන් උදව් කරනු ඇත! විශේෂයෙන් උසාවියේ මුඩ්ලියර් මහතා / මිය ද උපකාර කරනු ඇත.
- රිසිට් පතක දෙයක් ඉවත නොදමා පිටපත් / ඡායාරුප ගෙන 1 වැනි දිනයේ සිට සිදු කරනා කාර්යයන් වල සටහන් දමා ගැනීම.
එය උවමනා වන වෙලාව කල් තියා කියන්නට නොහැකිය. අද වෙද්දී මා සතුව 1 වැනි දිනයේ සිට දින 326 ක වාර්තා ඇත!
- සිවිල් / අපරාධ / ඔප්පු වැඩ ආදියට වෙන වෙනම ෆයිල් තබා ගැනීම.
එසේ වුවද මාද අපහසුවට පත්වූ අවස්ථා ඇත.
ඒ නිසා අලුත් ඔබ කොහොමත් කල්පනාකාරී විය යුතුව ඇත!

No comments:

Post a Comment