Thursday, November 22, 2018

උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍යයයි

උත්තරීතර වන්නේ ජනතා පරමාධිපත්‍යයයි. උත්තරීතර නිතිය ලෙස සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලය ලැබ ඇත්තේ ජනතාවගෙනි. පාර්ලිමේන්තුව වනාහි ඒ තුලින් නිර්මාණය කල අංගයක් පමණි.
එහෙත් උත්තරීතර යැයි කියා ගන්නාවූ පාර්ලිමේන්තුවේ ඇතැම් සාමාජිකයින්ගේ ක්‍රියාකාරිත්වය අපිට දකින්නට ලැබුණි.

ඒ ප්‍රජාතන්ත්රාවාදය යැයි කියා ගන්නා එක ස්ථාපිත කරගන්නට වෙහෙසුණු ආකාරය විය හැකිය. ඒ තුලින් ඒ කියා ගන්නා උත්තරීතර තත්වය කොතරම් පැහැදිලි වුවාද යන්න සැක නැත.
බාධා මධ්‍යයයේ වත්මන් අගමැතිතුමා හරවත් ලෙසින් කතා කල අතර හිටපු අගමැතිතුමා නම් නිසොල්මන්ව තැන්පත්ව සිටිනු දකින්නට ලැබුණි.

ලේ සෙලවෙන ලද බවක් සහ පිහියා අතැතිව සිටීමක් ගැන මාධ්‍යවාර්තා විය. ඔය තත්වය කල් තියා පුර්වෙක්ෂණය එනම් දුටු නිසාදෝ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවන්නට ඇත ( එතුමාගේ කතාවේ අන්තර්ගතය අනුව ද එවන්නක් අදහස් විය ) එහෙත් ජනාධිපතිවරයාගේ වගකීම වඩාත් දක්වන්නට / වඩා ප්‍රජාතන්ත්‍රවාදී වන්නට යැයි ව්‍යවස්ථාවට කලා යැයි කියනා 19 වන සංශෝධනය නිසාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 ව්‍යවස්ථාවට කල වෙනස නිසාවෙන් අත්‍යාවශ්‍ය යැයි පෙනී යන අවස්ථාවක ඔවැනි තත්වයක් කල් තියා වලක්වා ගැනීමට සිය විධායක බලය දැන් පෙර මෙන් භාවිතා කල හැකිදැයි උසාවියේ ප්‍රශ්න කරන්නට හැකි තැනට පත් කර ඇත.

එකක් ලිවිය යුතුය. ඔය ප්‍රජාතන්ත්‍රවාදය කියනා එකට නීතියෙන් අවකාශය වැඩියෙන් දෙන්නට දෙන්නට එය අවභාවිතා කරන්නට / පාලන තන්ත්‍රය එමගින් අවුල් කරන්නට උත්සාහ දරනා පිරිසක් වේ නම් ඒ වනාහි එවන්නවුන් අතට ආයුධ දුන්නා බදු විය හැකි බවය ...

ඒ අනුව වගකීම පවරන්නට ඕනෑ ඒ ප්‍රායෝගික කාරණයද සැලකීමට ලක් කරමිනි!
ඔය දකින්නට ලැබුනාවූ තත්වය අනුව නව පාර්ලිමේන්තුවක අවශ්‍යතාවය නැවත මැනවින් විද්‍යාමාන වී ඇතැයි කීමේ වරදක් නැත. දැන් ඇත්තේ ඒ සංශෝධිත පොතේ හැටියට කා කොටා ගැනීම වෙනුවට එක්වී ඒ ඇත්තන් ගේ 2/3 න් යෝජනාවක් සම්මත කරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය, බල කල යුත්තේ එයටය, ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇති ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රය අභියෝග කර ඇති මුලික අයිතිවාසිකම් නඩු වලින් ඊට බාධාවක් නැත!

එයින් පසුව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයද සලකමින් මහා මැතිවරණයක් සදහා අවස්ථාව ලබා ගත යුතුය.

"රටකට ඕනෑ අපමණ අගයක්, හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක්" යැයි එදා කියමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාව බලයට ගෙන එන්නට වෙර විරිය ගත් ඇතැමෙකුට දැන් එතුමන් පෙන්වන්නට බැරි තැනට පත්ව ඒ කොතරම්ද යත් ධුරයෙන් ඉල්ලා අස් වන ලෙස කියා සිටි. එහෙත් එසේ කරන්නට අවශ්‍ය නැත. මන්ද එයින් වනු ඇත්තේ තව තවත් අස්ථාවරත්වයක් උදාවීම පමණි. අනික් අතට තමන්ට හොද වෙද්දී "එනු" සහ තමන්ට ඇලජික් වෙද්දී "යනු" ලෙස කියන්නට හැකි තැන ඇති මුත් පත් කරගත යුත්තේ නම් සහ පහකළ යුත්තේ එක එක්කෙනාගේ පෙර වූ මතය මේ වෙද්දී ඇලජික් වීම නිසා නම් නොව නීතියට අනුව වරදක් කර ඇති නම් එය ඔප්පු කරගැනීම තුලින්ම පමණි.

වැඩි සද්දෙන් සම්මත කරගත්තා යැයි කියනා එහෙත් පාරදුශ්‍යභාවයක් දකින්නට නොලැබුණු පක්ෂව ලැබුණු සහ විපක්ෂව ලැබුණු ඡන්ද ගණන හෝ දැනගන්නට නොලැබුණු මට්ටමේ විශ්වාසභංගයකි. එහි නෛතික වලංගුතාවය ගැන විවිධ මත පළවේ. පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණක් උසාවියේ තිබියදී පාර්ලිමේන්තුවේ එවැනි යෝජනාවක් ගෙන එම නඩුවට යම් බලපෑමක් ඇති විය හැකිය යන මතයද බැහැර කල නොහැකි තැන ඇති කාරණයකි.

එසේම අගමැතිවරයාගේ කතාවට විරෝධය පලවිමකි. ඉන් පසුව ගැටුමක් ඇතිවූ ආකාරයකි.
මේ අනුව පාර්ලිමේන්තුව අවුලක් වී ඇති බව පෙනෙන්නට ඇති කල විධායකයේ හෝ ස්ථාවරබව තිබිය යුතුය. ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉතිරි ධුර කාලයට නැවත පක්ෂ එක්ව කටයුතු කරන්නටම බැරිම නම් දැන් කල යුතු හොදම දේ පාර්ලිමේන්තු යෝජනාවක් අනුවම පාර්ලිමේන්තුව විසුරුවා හැර වත්මන් ජනමතය නියෝජනය වන බහුතර බලයකින් හෙබි සහ ඒ සමගම ජනමතය නියෝජනය වන විපක්ෂයක් ද තෝරා ගැනීමය. ඒ වෙනුවෙන් සාමකාමිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකට එක් විය යුතුව ඇත. ඔවුන්ව උනන්දු කල යුතුවද ඇත.

No comments:

Post a Comment