Thursday, November 22, 2018

අගමැතිවරයාට එරෙහිව නිවැරදිව විශ්වාසභංගය සම්මත කරනු ලැබුවේද

අගමැතිවරයෙකුට එරෙහිව ගෙන එන විශ්වාසභංගයක් සදහා ඡන්ද විමසීම කිරීමේදී ස්ථාවර නියෝග අත් හිටුවා ඇති අවස්ථාවක සාමාන්‍ය කාර්ය පටිපාටිය ලෙස අනුගමනය කල යුතු යැයි දක්වන ලද පියවර අනුගමනය කිරීම අවශ්‍ය නොවෙන බවත් හඩින් සම්මත කිරීම කල හැකි බවත් අදහසක් ලෙසට ඇත. එයම හිටපු පාර්ලිමේන්තු මහලේඛම්වරයෙකුද දක්වා ඇත.

පළමු කාරණය නම් අගමැතිවරයෙකුට එරෙහිව ගෙන එන විශ්වාසභංගයක් වැනි වැදගත් අවස්ථාවක එනම් ආණ්ඩු පෙරලියක් සිදුවන අවස්ථාවක එවැන්නක් ස්ථාවර නියෝග අත් හිටුවා එය සිදු කිරීම කොතරම් යෝගයද යන්නයි. අනෙක් අතින් එසේ කිරීමට ඇති බලවත් වූ සහ යුක්ති සහගත කල හැකි අවශ්‍යතාවය කුමක්ද යන්නයි. එවන් කිසිදු යුක්ති සහගත හේතුවක් අපට දකින්නට හෝ අවම වශයෙන් විපක්ෂයෙන් අහන්නට දකින්නට හෝ ලැබුණේ නැත.

විශ්වාසභංග යෝජනාවේ නිත්‍යානුකුලබව පරික්ෂා කල යුතුය. එසේ කල බවක් පෙනෙන්නට තිබුණේ නැත. එහි ඇතුලත් කරුණු මොනවාද යන්න දක්වුයේද නැත. ඒවා විවාදයකට බදුන් කලේද නැත ( අවම වශයෙන් දිනක් ගෙන එය සාකච්ඡා කල හැකිව තිබුණි ) දෝෂාරෝපණයක් කිරීමේදී පළමුව එය විධිමත්ව ඉදිරිපත් කල යුතු අතර එයට පිළිතුරු දෙන්නට අවස්ථාව දිය යුතුය. එය උසාවියේ පමණක් නොව තීන්දුවක් ගන්නා වූ යම් විනිශ්චය සභාවක / අමාත්‍යංශයක / කාර්යාලයක පමණක් නොව පාර්ලිමේන්තුවේද විය යුතුය. 

විනිසුරුවරයෙකුට චෝදනා එල්ල කිරීමේදීද එසේ කරුණු දක්වන්නට අවස්ථාව දීම සිදුවේ. හඩ අනුව නම් තීරණය දිය යුත්තේ "පක්ෂයි" / "විපක්ෂයි" ලෙසින් ඡන්ද ගණන් කිරීමෙන් පසුව එම ප්‍රථිපලය අනුවයි.
එවැන්නක් දකින්නට ලැබුණේද නැත. දකින්නට ලැබුනේ හඩ වැඩි පැත්තට ප්‍රථිපලය දීමකි. ඔය හඩ අතර බාහෙදා කටහඩ පමණක්ම නොව වෙනත් හඩවල් ද ඇතුලත් විය හැකිය, හඩ වැඩියෙන් ආවේ පක්ෂ පැත්තටද විපක්ෂ පැත්තටද කියා වෙන්කරගන්නට නොහැකි මට්ටමට සභාව නොසන්සුන් වූ අවස්ථාවකදී බහුතරයෙන් යෝජනාව සම්මත වුවා යැයි කිම යුක්ති සහගත ද නැත. එසේම ආණ්ඩු පක්ෂ කණ්ඩායම සහ විපක්ෂ කණ්ඩයම යන දෙකම ආසන්න වශයෙන් සමාන පිරිසක් වෙද්දී එලෙස තීන්දුවක් ගැනීම යන්තමින් හෝ යුක්ති සහගත නැත.

විශ්වාසභංග යෝජනාව සම්මත කරගැනීමට තිබුණේ වෙන කවරදාකටත් වඩා විශාල කුලප්පුවකි.
කතානායකතුමාද සියල්ල සභාවට කරගෙන යන්නට බාර දී සිටි බවක් දකින්නට තිබුණි. ඒ අනුව ව්‍යවස්ථාදායකයේ ප්‍රධානියා විශ්වාසභංග යෝජනාවක් බදු අවස්ථාවක තමාගේ භූමිකාව නිසියාකාරව ක්‍රියාත්මක කලාද යන ප්‍රශ්නය නිතැතින්ම මතුවේ. හඩ අනුව හෝ පක්ෂ විපක්ෂ ඡන්ද ගණන මෙතරම් යැයි දක්වා එම යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වුවා යැයි ඔය කොයි කාටත් වඩා සද්දෙන් කිව යුතු දේ වුවත් එවැන්නක් කියූ බවක් ඇසුනේද නැත. මේ කාරනා සැලකු කල්හි එතුමාගේ ස්වාධිනත්වය / අපක්ෂපාතිත්වය ගැන යුක්තිසහගත ප්‍රශ්නයක් මතුවේ, මන්ද යත් තීන්දුවක් ගැනීමේදී පක්ෂපාති නොවෙනා අයකු හරහා එය ලබා ගත යුතු වීම නීතියට අනුව විය යුතුම දෙයක් වන නිසාවෙනි.

ඒ අනුව ඔය කියනා ස්ථාවර නියෝග පසෙකින්ම තැබුවත් තීන්දුවක් ගැනීමේදී නීතියට අනුව අනුගමනය කල යුතු සාමාන්‍ය කාර්ය පටිපාටිය උල්ලංගණය කිරීමක් බව / ස්වභාවික යුක්ති මුලධර්ම කඩ කිරීමක් බව දැක්වීමේ වරදක් නැත. එලෙස ගත් තීන්දුවක බලාත්මක බවක් / බැදීමක් නැත !!!

No comments:

Post a Comment