Thursday, November 22, 2018

වැඩ වර්ජනය කිරීමට නෛතික අයිතියක් ඇතිද ?

වැඩ කිරීමට ඇති අයිතිය (රැකියාවක/වෘත්තියක වීම හරහා) මූලික අයිතිවාසිකමක් ලෙස දක්වා තිබෙනවා වුවද වැඩ වර්ජනය කිරීමට නීතියෙන් අයිතියක් ප්‍රකාශිතව දක්වා නැත. එහෙත් තනි ව හෝ එක් ව, වෘත්තිීය සමිති හරහා තමාගේ රැකියාවකට/වෘත්තීිීයකට අදාළ නෛතික අයිතිවාසිකමක් යයි කිව හැකි දෙයක් සම්බන්ධව ඉල්ලීමක් කිරීමට නීතියෙන් තහනමක් නොමැත. නීත්‍යානුකූල රැකියාවක/වෘත්තියක නිරත වීම මූලික අයිතිවාසිකමක් නම් එයට සරිලන වැටුපක් ලබා ගැනීමේ අයිතිය ද අනිවාර්යෙන්ම ගැබ්ව ඇති කාරණයකි.

එහි අර්ථයෙන් වැටුප් / වැටුප් වැඩිවීම් ඉල්ලා සිටීමට නීතියෙන් බාධාවක් නොමැත.

සිය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් යැයි කියමින් ඉල්ලීම් ඉල්ලන්නන් වැඩ වර්ජන ඉදිරියට දමාගන්නේ ඔතැනදි ය. වැඩවර්ජන නොමැති නම් ඒ එක්කෝ වැඩ වර්ජනයක් කිරීමට තරම් හෝ අල්ප මාත්‍ර මට්ටමේ නිදහසක් නොමැති වීම හෝ වැඩවර්ජනයක් පැවැත්වීමට තරම් අවශ්‍යතාවක් මතු වන කිසිදු තත්වයක් නොමැති වීම නිසා ය. ඒ නරකම තත්වය හෝ සුපිරිම තත්වය නොවන්නට තිබිය යුත්තේ සාමාන්‍ය තත්ත්වයයි.

එනම් ඉඳහිට කිසියම් වූ සාධාරණ යැයි කියූ සහ ඒ බවට පෙනීයන ඉල්ලීමක් වෙනුවෙන් ජනතාව ඒකරාශී වීමකි. නමුත් එයිනුත් ඔබ්බට ගොස් වැඩ වර්ජන බහුල වීම ප්‍රජාතන්ත්‍රවාදය රජ වීමේ සුබ ලකුණක් බව ඇතැමුන් කියති.

එයට එකහෙලාම එකඟ වන්නට නො හැක්කේ නීතිය සාමය රැකීමට ආණ්ඩුවක ඇති නොහැකියාව පෙන්නුම් කරනා ප්‍රධාන සාධකයක් වන්නේ ද වැඩ වර්ජන බහුලවීම වන හෙයිනි. ඒ කෙසේ ද යත් ආණ්ඩුවක පාලනයේ අකාර්යක්ෂමතාවය මතු කරවමින්, එය ප්‍රයෝජනයට ගනිමින් වෘත්තීය සමිති හරහා බලය ඒකරාශී කර ගනිමින් තම ඉල්ලීම් දිනා ගැනීමට උත්සුක වන්නන් බලය දරනා වූ ආණ්ඩුවක් අල්ලේ නැටවීමක් ලෙසද දැක්විය හැකි බැවිනි. එසේම තවත් කාරණයක් මතු කළ හොත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වුව තිබිය යුත්තේ මධ්‍යම ප්‍රතිපදාවට යටත්වය. එනම් ඕනෑවට වඩා එක් අන්තයකට අන්තගාමී නොවී මධ්‍යම වශයෙනි. දෝරෙ ගලා යන නිදහස හෝ නිදහසක් ඇත්තේම නැති තරමට සිර කිරීම යන අන්ත දෙකෙන් ම බැහැර විය යුතුයි. එසේ නොවන්නට ආණ්ඩුවක් කෙසේ වෙතත් ඒ ආණ්ඩුව පත් කිරීමට දායක වූ සහ දායක නොවූ සියලු ජනතාව පීඩාවට පත්වනු ඇත

No comments:

Post a Comment