Thursday, November 22, 2018

අධිකරණයට අපහාස කිරීම

"අධිකරණයට අපහාස කිරීම" වරදක් වන්නේ සහ එසේ විය යුත්තේද එයට වග කිව යුත්තන්ට නීතියෙන් දඩුවම් කරන්නේ ද අධිකරණයේ ප්‍රතිරුපයත්, ස්වාධීනත්වයත් වඩ වඩාත් ශක්තිමත් කිරීම හරහා අධිකරණය පිලිබදව මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීම තුලින් ජනතාවගේම යහපත වෙනුවෙනි.

ඒ අනුව අවැසි අවස්ථා වලදී එසේ කල යුතුද වෙයි.

අධිකරණයට අපහාස කිරීම කිසියම් අයකු කිසියම් මාධ්‍යයකදී අධිකරණය / ඊට සම්බන්ධ කාරනා සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේදී අධිකරණය සම්බන්ධව ඇති යම් බැදීමක් කඩ කිරිමේදී සිදුවේ.

* අධිකරණයට අපහාස කිරීම යන්නට හසුවීම අදහස් පල කිරීමට ඇති බාධාවක්ද ?

කොහෙත්ම නැත !!! ( එසේ නොවන්නට වගබලා ගන්නා තාක් කල් )

පොදුවේ සෑම දෙනාම සහ විශේෂයෙන් විවෘතව අදහස් පල කිරීමට මනාප කවුරුත් පැහැදිලිව මතක තබා ගත යුතු කරුණ නම් අදහස් පල කිරීමට මුලික අයිතිවාසිකමක් ඇති මුත් එය සිමා සහිත එකක් බවය. ඒ අනුව එම අයිතිය සිමා කල හැකි බවත් අවශ්‍ය අවස්ථා වලදී නීතියට අනුව එසේ කරනු ලබනු ඇති බවත්ය !!!

හෝෆීල්ඩ් න්‍යාය අනුව අයිතිවාසිකමක් ඇති තැන යුතුකමක්ද ඇත්තේය. ඒ අනුව තමන්ට ලැබී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නෛතික අයිතිවාසිකම භාවිතා කල යුත්තේ නෛතික යුතුකම්ද සලකමිනි. එම නෛතික යුතුකම් සිමා කිරීම් මගින් දක්වයි.

පොතට අනුවම දැක්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) මගින් දී ඇති ඔය කියනා අදහස් ප්‍රකාශ කරන්නට ඇති මුලික අයිතිවාසිකම 15 (2) සහ 15 (7), (8) ව්‍යවස්තාවල සීමාවන්ට යටත්ව භාවිතා කල යුතුවේ. නො එසේ නම් ඒ අවශ්‍යතාවයන් උදෙසා සිමා කල හැකිය. ඒ සිමාවන් තුල අධිකරණයට අපහාස කිරීම වලක්විමද ඇත!

ඒ අනුව අදහස් ප්‍රකාශ කරන්නට තමන්ට මුලික අයිතියක් ඇතැයි සිතා තමන්ට හිතෙන ඕනෑම දෙයක් කියන්නට ලියන්නට හෝ වෙනත් යම් ආකාරයකින් ප්‍රකාශ කර දක්වන්නට ( විශේෂයෙන්ම අධිකරණය සම්බන්ධව ) නීතියෙන් අවකාශය නැත!!!

අධිකරණයට අපහාසයක් ලෙස සලකන, එනිසාම නොකළ යුතු දේ.

01. අධිකරණයේ චර්යාව විවේචනය කිරීම.

අධිකරණය කෙරේ මහජන විශ්වාසය බිද වැටෙනා ලෙසින් / ඒ වෙත නැබුරු වෙමින්, ස්වාධීනව අධිකරණයට නඩු විසදීමේ හැකියාවට බලපෑමක් එල්ල වෙන / එල්ල කල හැකි වන ලෙසින් විනිසුරුවරුන්ට, නඩු කටයුතු වලට සහය දක්වන අධිකරණ නිලධාරින් ( නීතිඥවරුන්ද ඇතුළුව ) විවේචනයේ යෙදීම මෙයට ඇතුලත් වනු ඇත.

02. අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතු ගැන ප්‍රසිද්ධියේ විවේචනය කිරීම.

නඩු තීන්දුවට බලපෑමක් එල්ල වන ලෙසින් / එල්ල විය හැකි ලෙසින් විවේචනයන් එල්ල කිරීම.

03. අවිචාරමත් අන්දමින් නඩු තීන්දු විවේචනය කිරීම.

අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකම අයිතිය තුල ද්වේශයෙන් තොරව, අර්තසාධනිය / ශාස්ත්‍රීය මට්ටමේ විවේචනයේ බාධාවක් නැති මුත් තමා විනිශ්චයාරුඩ වෙමින් ද්වේශසහගතව, කිසිදු හරවත් / නෛතික පදනමක් නොමැතිව උසාවි තීන්දු විවේචනයේ යෙදෙන්නට අයිතියක් නැත. උසාවි තීන්දුවකට පළමුව අවනත විය යුතුය. (Comply and compel ) එයින් තෘප්තිමත් නැති නම් නීතියෙන් ඉඩ දී ඇති / පිළිගත් පරිද්දෙන් අභියාචනා / ප්‍රතිශෝධනය වෙත යොමු විය හැකිය.

04. අධිකරණයට තමා විසින්ම දුන් පොරොන්දුවක් කඩ කිරීම.
05. අධිකරණ තීන්දුවක් / අතුරු නියෝගයක් අනුව කටයුතු නොකිරීම.
06. අධිකරණ ශාලාව තුල අධිකරණ කටයුතු වලට බාධාවන ලෙසින් ක්‍රියාත්මක වීම ( වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් )
07. අධිකරණයේ අධිකරණ බලය පහත හෙලන ලෙසින් ක්‍රියාත්මක වීම ( වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් )

උක්ත කාරනා පමණක්ම නොව අවස්තානුකුලව අධිකරණයේ ස්වාධිනත්වය / බලය ආරක්ෂා කරගැනීම සදහා අවශ්‍ය විය හැකි යැයි සලකනු ලැබිය හැකි කරුණුද තිබිය හැකි අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමක්ද නැද්ද යන්න තීරණය කරනු ඇත ...

No comments:

Post a Comment