Saturday, November 24, 2018

අගමැතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ මතයේ අදාලත්වය

"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ...." ලෙසින් එහි සදහන්‍ ය.

මෙහිදී "පාර්ලිමේන්තුවේ "විශ්වාසය යන්න සමග "පාර්ලිමේන්තුවේ බහුතරය" අනිවාර්යෙන් බද්ධ වී ඇති බවක් අදහස් කර ඇති බවක් පෙනෙන්නට නැත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුවත් අගමැතිවරයෙකු පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇත.
අනික් අතට "පාර්ලිමේන්තුවේ බහුතරය" ඇති අයෙකුට "පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය" ද තිබිය යුතු යැයි අදහස් කල බවක් දකින්නටද නැත.

ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් සිදුවන්නේ නම් බහුතර බලයක් ඇතැයි පැහැදිලිව පෙනීයන හෝ සැලකෙන ( බහුතර බලයක් ඇතැයි පෙන්වා දිය යුතු බවක් ව්‍යවස්ථාවේ දක්වා නැත ) මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ මතය අනුව අගමැතිවරයා ලෙස තෝරා ගැනීමය.

ඒ අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා පත් කිරීමේ සැලකිය යුතු අභිමතයක් ඇති බවත් අදටද අදහස් වේ. විශේෂයෙන් මේ තත්වය මතුවන්නේ මහ මැතිවරණයකින් මෙහා අගමැතිධූරය යම් හේතුවක් මත හිස් වූ / හිස් කල අවස්ථාවක ය.
( උදාහරණයක් වශයෙන් වත්මන් සිදුවීමේදී වූවා බඳු පැවැති ආණ්ඩුවේ වෙනසක් වීමෙන් ආණ්ඩුව විසිරී යාමේදී )

ඒ අනුව එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉතිරි ධුර කාලයට ජනාධිපතිවරයා විසින් සිය මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමව ඇතැයි සිතනා මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා ලෙස පත් කරනු ඇත.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් එවකට තිබූ, ඔය කියනා පාර්ලිමේන්තුවේ විශ්වාසය කියනා එක ඕනෑවටත් වඩා තිබූ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්ම බැලූවද ඒ අනුවත් හරියන ලෙස පත්කර සිටි දි මු ජයරත්න අගමැතිවරයා ඉවත් කොට ( අද අගමැතිවරයා පත් කිරීමේ ව්‍යවස්ථානුකූලභාවය ගැන මහා ඉහලින් ප්‍රශ්න කරනා සමහරක් ඒ ඉවත් කිරීමේ කාර්ය පටිපාටියේ ව්‍යවස්ථානුකූලභාවය ගැන නිකමට හෝ ප්‍රශ්න කලේ නැත ) පාර්ලිමේන්තුවේ ආසන හතළිස් ගණනක් තිබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගන්නා ලදී.
එදා ඒ කළ දේ හරියටම හරි යැයි කිසිවකු කියන්නේ නම් ඒ අයට ඒ ජනාධිපතිවරයාම ගිය 26 වැනිදා කල දේ වැරදියි කියන්නට අයිතියක් ද නැත!

මන්ද එසේ කියන්නේ නම් ඒ වනාහී ඔවුන් පැහැදිලිවම බොහෝ දුරට එකම ආකාරයේ සිදුවීම් දෙකකට අදාළව එකම ස්ථාවරයක් නොගෙන වෙනත් ස්ථාවරයන් ගැනීමක් වන නිසා එවැන්නවුන් පැහැදිලිවම පක්ෂපාතීත්වයක් පෙන්වන අය ලෙස නම් කල හැකි නිසාවෙනි.

සාමාන්‍ය වචනයෙන් කියන්නේ නම් "ස්වාධීනයි" "මධ්‍යස්ථයි" කියාගෙන කඩේ යෑමකි.

අනෙක් කාරණය නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා ව තෝරා ගැනීමේදී "මතයක්" ගැනීමේ හැකියාව ය.
අහවලා නම් නැවත අගමැති ලෙස පත් කර ගන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එවැන්නක් කළ හැක්කේ එය ජනාධිපතිවරයාට "මතයක්" ගැනීමේ හැකියාව ගැබ්ව තිබීම තුලය. ඒ මතය යුක්ති සහගතව ගත යුතු යැයි සලකන මුත් ඒ තුළ විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ හැකියාව ද වළක්වා නැත.

No comments:

Post a Comment