Thursday, November 22, 2018

නව අගමැතිවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව විවිධ මත ඇත්තේ මන්ද

නව අගමැතිවරයකු පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධව සමාජය සහ විශේෂයෙන් නීතිඥවරුන් අතර ඇති මතවද විවිධත්වය දකින ඇතැමුන්ගේ ඒ සම්බන්ධ විමසීම වන්නේ එලෙස අර්ථ අර්ථ දක්වද්දි නීතියට යන කලදසාව කුමක්ද කියාය.

එක් එක් අය වගන්තියක් අර්ථ දක්වන ආකාරය වෙනස් විය හැක. එය එකම ආකාරයෙන් විය යුතුය කියා නියමයක්ද නැත. එහෙත් බොහෝ දුරට එකම අදහස අවසන් ප්‍රතිඵලය ලෙස මතුවිය හැක. එසේ නොවිය හැක.

නීතිය සම්බන්ද කොට මතයක් ප්‍රකාශ කිරීමේදී ඒ ඒ අයගේ නීතිය සම්බන්ධ දැනුම සහ අත්දැකීම් වල ප්‍රමාණය මත ද එකම කාරණයක් සම්බන්ධව විවිධ මත ඇතිවන්නට බොහෝ ඉඩ ඇත. එසේම යම් වගන්තියක් හෝ විවස්තාවක් ඉතා පැහැදිලි නොවෙන අවස්ථාවක ඒ සම්බන්ධ විවිධ මත මතු වීම ස්වභාවිකය.

ඒ කෙසේ නමුත් මතයක් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබාදී ඇති මූලික අයිතිවාසිකමක් වේ. ඒ මතය නීතියෙන් තහනම් කර ඇති හෝ තහනම් කළ හැකි සීමාවේ නොවේ නම් අවශ්‍ය වන්නේ එච්චරය. ඒ අනුව එම සිමාවේ තමා සිටී නම් මත වල විවිධත්වය ගැටලුවක් කරගත යුතු නැති කාරණයකි.

ඇත්ත වශයෙන්ම මතවල විවිධත්වයක් නොතිබෙන්නේ නම්, එනම් සියලු දෙනාම එකම ආකාරයෙන් යම් කරුණක් දකින්නේ නම්, විග්‍රහ කරන්නේ නම් නීති සාහිත්‍යය ද දියුණු වීමක් ද සිදු නො වනු ඇති සේම සේවාදායකයින්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමේ දී ද ගැටලු මතුවන්නට ඉඩ ඇත. එහිදී විවිධ පුද්ගලයන් විසින් විවිධ කෝණවලින්, තම දැනුම අවබෝධය අත්දැකීම් මත ප්‍රකාශ කරන මත වැදගත්කම ඉස්මතු වේ.
යම් ආරවුලක පැමිණිලි පාර්ශවය සහ විත්ති පාර්ශ්වය කරුණු ඉදිරිපත් කරන්නේ එක හා සමාන ආකාරයෙන් නොවේ. නමුත් එමගින් නීතියට කිසිදු කිසිඳු හානියක් සිදු නොවේ. සිදුවන්නේ ඒ ඒ පාර්ශ්වයන් විසින් නීතිය මුසු කොට ඉදිරිපත් කරන කරුණු ඇසුරින් අධිකරණයෙන් තීන්දුවක් ලැබීම ය.

එහිදී ඇතැම්විට නීතියේ සංවර්ධනයක් විය හැක. එතෙක් තිබුණු අපැහැදිලි තැනක් පැහැදිලිව දක්වනවා විය හැක. ඒ මිසක පවත්නා නීතියකට හානිවීමක් එමගින් සිදු වෙතැයි කිව නොහැකිය.

නමුත් පවත්නා යහපත් නීතියකට නිසැක වශයෙන් ම හානියක් සිදුවිය හැකි අවස්ථාවක් නම් ව්‍යවස්ථා සම්පාදකයින්ගේ අනිසි අත පෙවීමට ලක්වීමෙනි. ව්‍යවස්ථාදායකය, නීති සම්පාදනය කරන ස්ථානය හෙවත් පාර්ලිමේන්තුවට කවර පක්ෂයකින් උවත් යවන පුද්ගලයින් සම්බන්ධව දැඩි ලෙස ජනතාව සුපරීක්ෂාකාරී විය යුත්තේ එබැවිනි.

No comments:

Post a Comment