Saturday, January 12, 2019

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය

අපි දන්නා, අපි ඉගෙනගත් සහ විභාගද සමත්වූ දැනුමට අනුව නම් ප්‍රජාතන්ත්‍රවාදය යන්නෙහි අදහස ලෙස කිව හැක්කේ බහුතර ජනමතය බහුතරයක් මගින් නියෝජනය කරමින් පාලනය ගෙන යාම ය.

දැන් වත්මන් පාර්ලිමේන්තුවේ බහුතර ජනතා මතයක් නියෝජනය වේ ද ? බහුතරයක් හෝ තිබේද?
ඒ දෙකම ඇති බවක් පෙනෙන්නට නැත. යාන්තමට 113 අමුණාගන්නට හැකි බව කියනා මුත් එයද විශ්වාස නැති බව ආණ්ඩුවේ සමහර අයගේ අදහසක් බව පෙනේ. ජනමතය නියෝජනය වන ලෙස පාර්ලිමේන්තුව සකස් වීමක් ද නැත. ඒ තබා බහුතරය ද එකදු පක්ෂයකට හෝ නැත.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරය දැරූ පහුගිය ආණ්ඩුවේ බහුතරය ගැන මහා ඉහළින් ප්‍රශ්න කළ කිසිවෙකු වත්මන් ආණ්ඩුවේ බහුතරය ගැන ප්‍රශ්න නොකරති, විපක්ෂය සමග එක්ව යුහුසුළුව විශ්වාසභංගයක් ගෙන එනවා තබා මීක් සද්දයක් හෝ නැත. ඒ අනුව ඔවුන්ට අනුව වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය මැනැවින් ස්ථාපිතව ඇතිවා විය යුතුය.

පහුගිය මහ මැතිවරණයේදී ජනතාව ඡන්දය දී ඇත්තේ එකතු පක්ෂයකටවත් බහුතරය හෝ නොලැබෙන පරිදිය. ඒ අනුව හවුලේ පාලනයකට ජනමතය ලබාදුන්නා දෝ සිතේ.

එසේ නම් එක පක්ෂයක් / සන්ධානයක් විසින් බහුතර බලයක් යටතේ පාලනයක් ගෙන යනවාටත් වඩා වගකිවයුතු පාලනයක් ඒ හවුල යටතේ ජනතා නියෝජිතයින්ගෙන් ජනතාව බලාපොරොත්තු වී ඇත.
ඒ මිසක තමන්ට උවමනා උවමනා හැටියට පක්ෂ එක්වීමෙන් ලැබෙන බලය පාවිච්චි කරන්නට ජනතාව ඡන්දය දී නැත.

ඒ අනුව බහුතරය ලබා ගැනීමට ජාතික ආණ්ඩුවක් අටවා ගැනීමට එනම් හවුලේ පාලනයක් ගෙනයාමට පොතේ හැටියට සිද්ධ විය.

මහ මැතිවරණයේ ප්‍රතිඵල ලැබෙන විට ඒ ආකාරයේ පාලනයක් ගෙන යාම සඳහා පොත ද සකසා තිබුණි.
පවුල් පාලනය හොඳ නැතැයි සමහරුන් කීවද හවුල් පාලනයේ කිසිම අවුලක් ඇතිවිය හැකි බවක් එසේ කියනා සමහරක් අය දකින්නේ නැත.

හවුලේ කැදත් එපා යැයි ජනවහරේ සම්මතව ඇත. එසේ වන්නේ හවුලක් අවුලට යොමු වීමේ වැඩි ඉඩක් ඇති නිසාය. එසේ වුවත් අවුලක් නැතිව හවුලක් ගෙන යාමට හැකිතාක් කල් හවුලක් පවත්වා ගැනීමට නිතිය ඉඩ දේ. හවුල් ව්‍යාපාර සදහා ඉඩ ඇත්තේ ඒ ආකාරයටය.

කෙසේ හෝ දේශපාලන ප්‍රතිපත්ති බොහෝ විට වෙනස් වන පක්ෂ දෙකක හවුලක් අවුලක් නැතිව දුවනු ඇත්තේ සම්පූර්ණයෙන්ම වාගේ එකිනෙකා මත තියා ගන්නා වූ විශ්වාසය මතය.

එය බිඳී යන්නේ නම් එයින් පසු කිසිවෙකු පිළිගත්තා නැතා ජනමතය පාර්ලිමේන්තුවෙන් නිරූපණය වීමද අවසන් වේ.

එවැනි විටෙක ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැනම අදහස් දක්වන අය නම් කළ යුත්තේ තමන් විසින්ම විසින් ම මූලිකත්වය ගෙන නැවත ජනමතය පරීක්ෂා කිරීමට යොමු වීම ය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීම තුළින් ජනාධිපතිතුමා උත්සාහ කළේ එම අවස්ථාව ලබා ගැනීමටය.

එහෙත් නඩු තීන්දුවෙන් පසුව අපද දැනගත් පරිදි පාර්ලිමේන්තුව පෙර අවස්ථාවලදීට වඩා බලයෙන් ඉහළ ගොස් ඇත.

ඒ කෙසේද යත්, පාර්ලිමේන්තුවේ බහුතරය ඇතා නැතා, පාර්ලිමේන්තුවේ ජනමතය නියෝජනය වූවා නැතා, අයවැය සම්මත කර ගැනීමට හැකි වුවා නැතා තුනෙන් දෙකක් පෙන්නුවේ නැතිනම් මුල් වරට රැස්ව වසර හතර හමාරක් යන තුරු හොල්ලන්ට බැරි එකක් බවට පත්වීමෙනි.

ජනාධිපති ධුරයේ බලතල ගැන ප්‍රශ්න කරනා සම හරක් පාර්ලිමේන්තුවට දී ඇති අනවශ්‍ය බලය සම්බන්ධව මීක් නොකියති. ඒ වෙනුවට තව තවත් බලය පාර්ලිමේන්තුව වෙතම ගොනු කර ගැනීම සඳහා වූ යෝජනා ද ගෙනෙති.
බලයට කෑදර කවුරුන්දැයි බලය බෙදීම පිලිබද මුලධර්මය ( the doctrine of separation of powers ) ගැන දන්නා වූ කිසිවෙකුට අමුතුවෙන් කියා දෙන්නට එන්නට අවශ්‍ය නැත!!!

එසේම ශක්තිමත් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නාවූ විපක්ෂයක පැවැත්ම පිළිගන්නට මනාප නැති මට්ටමේ ජනතා නියෝජිතයන් යැයි කියා ගන්නා උදවියද රගමින් සිටිනා අරුම පුදුම පාර්ලිමේන්තුවක් ද වීම සම්බන්ධව ඔය පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දේශනා කරනා අයටම මිස අපට නම් අල්ප මාත්‍රයක ප්‍රසාදයක් නැත්තේය.

ඒ අප්‍රසාදය පල කරන්නට ලැබෙනා පලමු අවස්ථාවේදී ඔවුන්ට එරෙහිව කතිරයෙන් කණ රත්වෙන්නට භාවිතා කරනු ඇත!!!

No comments:

Post a Comment