Saturday, January 12, 2019

පළාත් සභා මැතිවරණ හරහා ක්‍රියාත්මක වන්නේද ජනතා පරමාධිපත්‍යයයි

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හඳුන්වා දුන් පළාත් සභා යම් විධායක බලයක් සහ ව්‍යවස්ථාදායක බලයක් සහ පළාත තුළ අධිකරණ බලයක් ද ක්‍රියාත්මක කරයි. පළාත් සභා ඡන්දයක දී ඡන්ද බලය ඒ ඒ පළාත්වල ජනතාව විසින් ක්‍රියාත්මක කරයි. මූලික අයිතිවාසිකම් කඩ වීමකදී නම් එයට පිළියම් ලබා ගැනීම වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවට අයත් කොළඹ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ම ඒමට සිදුවේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැන ව්‍යවස්ථාවෙ දක්වා ඇති පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලය 4 වන ව්‍යවස්ථාවේ පරිදි ක්‍රියාත්මක කිරීම යටතට පළාත් සභා ඡන්ද ඇතුලත් කර නැතත් ඡන්දය පවත්වන්නේ පළාත් පාලන ආයතන වෙනුවෙන් ද, පළාත් සභා වෙනුවෙන්ද, පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ද යන්නෙන් ස්වායත්තව කිසියම් වූ ඡන්දයක් ප්‍රමාද වන්නේ නම් එය ජනතා පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලය කඩවීමක් ලෙස සැලකිය හැකි සහ සැලකිය යුතු ද වන තැන ඇත.
එසේ සැලකිය යුතු නොවන බවට මතයක් ද ඇත. එය ඉලක්ක කර ඇත්තේ පළාත් සභාවක ඡන්දයද මහමැතිවරණයේ හෝ ජනමතවිචාරණය හෝ ජනාධිපතිවරණ ජන්දය මෙන් ඒ තත්ත්වයම පිළිගත හොත් පළාත් සභාවක් එනයින්ම පූර්ණ බලධාරී ස්වයං ඒකකයක් බවට පත්වනවා යැයි කියමිනි.
බැලූ බැල්මට එහි සත්‍යතාවක් ඇති බව පෙනුනත් කාරණා දෙකක් මත එය බැහැර කළ හැක.
1. පලාත් සබා හා පලාත් පාලන ආයතන ඡන්ද බලයද පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලයම බව පිළිගැනීමෙන්ම එනයින් ම පළාත් සභාවක් පූර්ණ බලධාරී ස්වයං ඒකකයක් බවට පත් නොවේ. මන්ද ඡන්ද බලය යනු ජනතා පරමාධිපත්‍යයේ එක අංගයක් පමණක් වන බැවිනි.
2. පළාත් සභාවක් ස්වයං ඒකකයක් බවට පත් කරන්නට නම් එය කළ යුත්තේ ප්‍රධාන වශයෙන්ම පළාත් සභාවේ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලතල පළාත් සභාවේ අනුමැතියෙන් තොරව මධ්‍යම ආණ්ඩුවට ඇඟිලි ගැසීමට නො හැකි ලෙස සැකසීමෙනි. එනම් පළාත් සභා දැනට වඩා ස්වාධිපත්‍යයෙන් එනම් තමන්ට අවශ්‍ය නීති තමන්ටම සකසාගෙන තමන්ට අවැසි ලෙස පාලනයක් ගෙනයන්නට සැලකිය යුතු ලෙ හැකිවන වන බලවත් ඒකක බවට පත් කිරීමෙනි.
(මෙය සිදු නොකළ යුතු කාරණයකි. ඒ පිළිබඳව පිළිබදව මෙහිදී අවධානය යොමු නොකරනු ලබයි)
පළාත් සභාවලට අදාලව ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම පවත්නා ආණ්ඩුවක් විසින් යම් හේතුවක් මත ප්‍රමාද කරන්නේ නම් සහ ඒ හේතුව යුක්තිසහගත එකක් නොවෙන බව පෙනෙන්නේ නම් එය අභියෝග කිරීමට හැකියාව ජනතාවට තිබිය යුතු ද වෙයි.

එහෙත් පළාත් සභා ඡන්දය ජනතා පරමාධිපත්‍යයට අයත් ඡන්දයක් නොවන බවට මතය දරන අය නොඑසේ නම් පළාත්සභා ඡන්දය ද ජනතා පරමාධිපත්‍යයට අයත් ඡන්දයක් ලෙස පිළිගතහොත් එනයින්ම පළාත් සභා වලට ස්වයං පාලන බලතල ඇති ඒකකයක් ලෙස පිළි ගත්තා යැයි මතය දරණා අයට අනුව නම්

1. පළාත් සභා බලයෙන් අඩු ඒකක ලෙස එලෙසින්ම පවති.
නමුත්

2. පළාත් සභා ඡන්දයක් ඕනෑම කාලයක් කල් දැමුවද ජනතා පරමාධිපත්‍යයට එයින් කිසිම හානියක් නොවේ.

1 යහපත් තත්ත්වයකි. එහෙත් 2 අයහපත් ය. 1 සිදුකිරීමට 2 හි දක්වන ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ අයිතිය බිලි දිය යුතු නැත. අනෙක් අතින් 2 හි දක්වන කරුණ සත්‍යයක් ද නො වේ. සත්‍යයක් ලෙස පිළිගත යුතු ද නැත. කුමන ආකාරයක හෝ ඡන්ද ප්‍රමාද වීම යනු පරමාධිපත්‍යයට අයත් ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට ජනතාවට අවස්ථාව අහිමි කිරීමකි.

රැවුලත් කැඳත් දෙකම බේරා ගත යුතු ය.

එනම්

1. පළාත් සභාවක් තනිකරම තමාට වුවමනා හැටියට ක්‍රියාත්මක වීම වැලක්විය යුතුය.
2. පළාත් සභාවකට අදාළව ඡන්ද බලය නිසි වෙලාවේ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව දිය යුතු ද වේ.
කවුරුත් යෝජනා ගෙන ආ යුත්තේ ඔය කාරණා දෙකම ඉෂ්ට කරගැනීම වෙනුවෙන් මිසක එකක් පමණක් ඉලක්ක කර නොවේ.

මන්ද එක අතකින් පලාත් සභා අධික ලෙස ස්වාධිපත්‍යයෙන් බලවත් වීමෙන් රටේ ඒකීය භාවය පවත්වා ගැනීමට බාධා එල්ල කිරීම වලක්වා ගැනීම අනිවාර්යෙන්ම වැදගත් වනවා සේම පලාත් සභා වලද ඡන්ද බලය නිසි කලට ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද ආරක්ෂා කර ගත යුතු වන හෙයිනි.

ඒ අනුව ගෙන ආ යුත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු නෙලා ගන්නාවූ යෝජනාවක් මය!!!

No comments:

Post a Comment