Tuesday, December 18, 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නඩු තීන්දුව - 2018

නඩු තීන්දුව සදහා :

https://drive.google.com/file/d/1MD-Ls4ufygY4ucWBIW4BonahuLJSId3y/view?fbclid=IwAR3xezcPs98-8_huidLH99B2r6jM-tVfrahjyxAmov2ywewwSyrLJUVGB34

පෙත්සම්කරුවන්, වගඋත්තරකරුවන් අතරමැදි පෙත්සම්කරුවන් සහ ඔවුන්ට පෙනී සිටින නීතිඥවරුන් හඳුන්වාදීමෙන් පසුව නඩුව විභාග කළ විනිසුරුවරුන්ගේ නම් දක්වා නඩුව විභාග කළ දිනයන්, ලිඛිත දේශන ගොනු කළ දිනයන්, නඩුව තීන්දු කළ දිනයත් දක්වමින් නඩුවේ පසුබිම් වූ කාරණය හෙවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය සහ වත්මන් පාර්ලිමේන්තුව මුලින්ම කැඳවීමට අදාළ ගැසට් පත්‍රය යන ලේඛණ p1, p2 ( සහ තවත් ලේඛන ) ලෙස දක්වමින් ගරු අගවිනිසුරුතුමා විසින් කරුණු දැක්වීම අරඹා ඇත.

- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් සංශෝධිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව ක්‍රියාත්මක නොවීම, එහි දක්වා ඇති පරිදි යෝජනා සම්මතයක් නොමැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වත්මන් පාර්ලිමේන්තුව මුල් වරට රැස්ව අවුරුදු තුනකුත් මාස දෙකක් සහ දින අටක් පමණක් ගෙවී තිබියදී එය විසුරුවා හැරීම, යන පෙත්සම්කරුවන් දක්වන කාරණා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17, 126 සහ 35(1) අනුව පෙත්සම්කරුවන් විසින් එම ක්‍රියාවන් අභියෝගයට ලක් කර තිබුණි. එහිදී ඔහු විසින් වග උත්තරකරු ( ජනාධිපතිවරයා ) ක්‍රියාත්මක වූයේ බලාතික්‍රමණය ( Ultra Vires ) යටතේ, අයුක්තිසහගතව ( unreasonableness ) ව්‍යවස්ථාවට පටහැණි ව (Unconstitutionally), ජනතා පරමාධිපත්‍යය කඩවීම, පෙත්සම්කරුවන්ගේ නීත්‍යානුකූල නිත්‍යානුකුල අපේක්ෂාව (L.E) කඩ වෙන ආකාරයට ආදී ලෙසින් කරුණු ගණනාවක් දක්වා ඇත.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) කඩවීම (නීතිය ඉදිරියේදී සමානාත්මතාවය, නීතියේ සමාන ආරක්ෂාව ලැබීම) යන්න මත එම පෙත්සම් විභාගයට අවසර දෙන මෙන් කරුණු දක්වා ඉල්ලා සිටීමේදී එම අවසරය ලබාදී තිබුණි. ( Leave Granted )

ඒ අනුව අතුරු සහනයක් ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ක්‍රියාත්මකවීම
නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවන ලදී ( Suspended the operation of the Gazette )
දෙසැම්බර් 4, 5, 6 යන දින නඩු විභාගයට නියම කර ඊට ප්‍රථම විරෝධතා, ප්‍රතිවිරෝධතා සහ ලිඛිත දේශන ගොනු කරන ලෙස දක්වා ඇත ( objections, counter affidavits and W/S)

නඩු විභාගයේදී මුලින්ම ගරු නීතිපතිවරයා විසින් මූලික විරෝධතාවයක් ගෙන තිබුණි.
එනම් මෙහිදී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී නැති බවත්, මූලික අයිතිවාසිකම් ආණ්ඩුකම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 15(7) අනුව සීමා කළ හැකිවීම මත ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝග කළ නොහැකි බවත් ජනාධිපතිවරයා විවස්තාවේ 33(2), 62(2), සහ 70(3) අතුරු විධානය ii අනුව කටයුතු කර ඇති බවත් මැතිවරණයක් කැඳවීම නිත්‍යානුකූල බවත් පෙත්සම්කරුවන් ගේ ඉල්ලීම් ලබා දුනහොත් එමගින් ජනතාවගේ ඡන්දය භාවිතා කිරීමේ අයිතිය කඩවෙන බවත්
අනෙකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන්;

- අත්‍යවශ්‍ය සියලුම පාර්ශ්වයන් සඳහන් නොකිරීම නිසා පෙත්සම් ඉවත දැමිය යුතු බව,
- පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම දේශපාලනමය තීන්දුවක් ( political decision ) බවත් ඒ අනුව ගරු අධිකරණය එවැනි කාරණාවකට මැදිහත් නොවිය යුතු බව,
- පාර්ලිමේන්තුවේ මතුව ඇති තත්ත්වය අනුව වෙනත් විකල්පයක් නොමැති වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල බව,
- ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකම විවස්ථාව කඩ කර ඇත්නම් එයට ප්‍රතිකර්ම ලබා ගත යුත්තේ මූලික අයිතිවාසිකම් හරහා නොව ව්‍යවස්ථාවේ 38(2) හරහා බව.

ඒ සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය අදහස් කර ඇත්තේ:

ආණ්ඩුකම විවස්ථාවේ 4(d) සහ 118 (b) අනුව මූලික අයිතිවාසිකම් සම්බන්ධව විශේෂයෙන් සොයා බැලීමට ව්‍යවස්ථාමය වගකීමක් ඇති නිසාත් මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35(1) අනුව ජනාධිපතිවරයා නිල තත්වයෙන් කරන ක්‍රියා හෝ නොකර හැරීම ( Act / Omission ) මූලික අයිතිවාසිකම් නඩුවක් හරහා විමර්ශනය කර ගැනීමට ( Subject to Judicial Review ) අවස්ථාව උදා කර ඇති බව ය.
ඉන් පසුව වගඋත්තරකරුවන් ගෙන ඇති ස්ථාවරය වන්නේ: ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන්න සාමාන්‍ය විධායක ක්‍රියාවක් නොව අධිකරණ විමර්ශනයට බඳුන් නොවන / නොකල යුතු බලයක් ( prerogative Power ) ලෙසටය.

ඒ සම්බන්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් කර ඇත්තේ:

එවැනි බලයක් 1972 ට පෙරදී නම් අදහස් කළ හැකිව තිබුණු මුත් 1978 ව්‍යවස්ථාව 3 ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ලැබෙන්නේ පරමාධිපත්‍යය දරන ජනතාවගේ විධායක බලය බවත් හෙතෙම එය 4 වන ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කළ යුතු බවත් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල බලය ඇතුළත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදය වන "විධායකය" යටතේ බවත්ය.

එම බලය ක්‍රියාත්මක කිරීම විමර්ෂණයට ලක් කිරීම බැහැර කර ඇති ද ... ආණ්ඩුක්ම ව්‍යවස්ථාවේ 35(1) අනූව බැහර කර ඇත්තේ 33(2)(උ) පමණි. expressio unius මූලධර්මය අනුව ප්‍රකාශ කර ඇති දෙයක් මගින් ප්‍රකාශ කර නොමැති දේ බැහැර කෙරේ. ඒ අනුව 33(2)(ඇ) අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළ හැක.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ ව 33(2), 62(2), 70, 48(1),48(2) සලකා බලන ලදි. 48(1),(2) අන්තර් ගතය දක්වා ඇත.

මෙහිදී වගඋත්තරකරුවන් සහ අතරමැදි පෙත්සම්කරුවන් විසින් දක්වා සිටි පරිදි සංවරනය තුලනය පවත්වා ගැනීමද අදහස් කරමින් 33(2)(ඇ) යනු පෙරදී නොතිබුණු එහෙත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අලුතින්ම එකතු කළ විධිවිධානයක් බවත් එය වර්ග කර ඇත්තේ "අමතරව" ලෙස සදහන් තත්වය නිසා එය භාවිතා කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ඇති බවත් 62(2) මගින් ද දක්වා ඇති පරිද්දෙන් එම විවස්තාවද භාවිතා කොට 70 අවස්ථාවේ දක්වා ඇති සීමා කිරීම් වලින් බැහැරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් / අභිමතයක් ජනාධිපතිවරයාට ඇතැයි දීර්ඝ වශයෙන් කළ කරුණු දැක්වීම් සලකමින් අනුව සැබැවින්ම එවැනි අදහසක් වගන්තියේ වචන ඇසුරින් / අර්ථ නිරූපණ රීති යටතේ ගත හැකි දැයි ගරු අධිකරණය විසින් සොයා බලා ඇත.

මෙහිදී ගරු අධිකරණයේ අවධානයට ලක්කර ඇත්තේ ව්‍යවස්ථා අර්ථ නිරූපණය සම්බන්ධවයි. එහිදී සාමාන්‍ය ව්‍යවස්ථාවක විධිවිධාන මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණයේ දී ද අර්ථ නිරූපනයට අදාළ රීති භාවිතා කළ යුතු බවත් එහිදී පාර්ලිමේන්තුවේ චේතනාව ( intention of the parliament ) සොයා බැලිය යුතු බවත්, යම් වගන්තියක අර්ථය පැහැදිලිව දකින්නට ඇති විටදී / භාෂාව පැහැදිලි විටදී එය ඒ ආකාරයෙන්ම අර්ථ නිරූපණය කළ යුතු බවත් ( literal meaning ) පාර්ලිමේන්තුවට කිසියම් වූ වැරදීමක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීම අධිකරණය කටයුත්තක් නොවන බවත් නඩු තීන්දු දක්වමින් සඳහන් කර ඇත. එකම විෂය කාරණයක් සම්බන්ධව වගන්ති කීපයක සඳහන් කර ඇති විටදී ඒ සියලු වගන්ති එක් ව කියවිය යුතු බවත් දක්වා ඇත.

එහෙත් යම් අවස්ථාවක ව්කල්ප අර්ථයන් දෙකක් ( two alternative constructions ) ගත හැකි විටදී ව්‍යවස්ථාවේ අනිකුත් කොටස් සමග ගැටීමක් නොවෙන / අනුකූල වන වන අර්ථය තෝරාගෙන එසේ නොවන සහ ව්‍යාකූල ( Absurd ) ප්‍රායෝගික අපහසුතාවයට පත්කරන, අර්ථය ශූන්‍ය කරවන ( Nugatory ) අර්ථය බැහැර කළ යුතු බව දක්වන ලදී - [Golden Rule] එසේම ආණ්ඩුක්‍රම විවස්තාවක විධිවිධාන වලට සාමාන්‍ය විධිවිධාන වලට වඩා වැඩි වටිනාකමක් දිය යුතු ද වේ ( not formal, vital ) එසේම ව්‍යවස්ථාවේම විශේෂයෙන් සඳහන් කර / අර්තවත් කර ඇත්නම් මිස ව්‍යවස්ථාවේ කොටසක් එලෙස විශේෂ කොට සැලකිය යුතු නැත. එසේම අර්ථ නිරූපණය කළ යුත්තේ පනත තුල ( හතර කොන තුල සිට ය ) සිටය.

පෞද්ගලිකව ක්‍රියාත්මක වෙන තැනැත්තෙකුට මෙන් නොව මහජන ධූරයක් / අධිකාරියක් (Office / Authority ) දරන තැනැත්තෙකු සිය ධූරයේ ක්‍රියාත්මක වෙද්දී / බලතල භාවිතයේදි ක්‍රියාත්මක කරනාවූ අභිමතය යන්න සීමා කල හැකි / යුතු අභිමතයක් මිස සීමා නොකළ අභිමතයක් නොවේ ( not an unfettered discretion )
මෙහි සරල අදහස නම් තීරණ ගත හැකි බලයක් දරන පුද්ගලයකු කිසියම් වූ තීරණයක් ගත යුත්තේ එවන් තීරණයක් ගැනීමට තමාට ඇති හැකියාව ( අභිමතය ) යුක්ති සහගතව ( with a reasonable cause ) භාවිතා කරමිනි.

ජනාධිපතිවරයා සැලකූ කල කළ හෙතෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිය බලතල භාවිතා කළ යුතු / නීතියේ ආධිපත්‍යයට ( Rule Of Law ) යටත් අයෙකි. ඔහුගේ ක්‍රියා අධිකරණ විමර්ශනයට ලක් කළ හැකි තැන ඇති නිසා ඔහු සතුව නීතියට පිටතින් ක්‍රියාත්මක කළ හැකි අභිමතයක් නැත.
19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනයට පෙර 42 ව්‍යවස්ථාව යටතේ ද, 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ 33අ යටතේ ද ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට බැඳී සිටියි.
ඒ අනුව ජනාධිපතිවරයාට සීමා නොකළ අභිමතයක් ( unfettered discretion ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී නැත.

මෙහිදී ගරු අධිකරණය විසින් බලය බෙදීම ( Seperation of Powers ) යන්න පිළිබඳ කරුණු දක්වා ඇත.
ඒ අනුව එහි අර්ථය නම් ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන තුන ව්‍යවස්ථාමය වශයෙන් එකිනෙකට සමාන සහ ( constitutionally equal status ) අනෙකුත් ආයතන වලින් ස්වාධීන, යම් බලතල ප්‍රමාණයක් තනිව ක්‍රියාත්මක කරන, එකක් අනෙක අභිබවා ක්‍රියාත්මක නොවෙන ( Should not be in a position to dominate others ) එහෙත් අනිත් ආයතන කෙරෙහි සංවරණ තුලනය පැවැත්විය යුතු වේ.
අධිකරණයේ කාර්ය භාරය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමි උත්තරීතර තැන ලබා දෙමින් කටයුතු කිරීමයි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසියම් විවස්තාවක් කඩ වී ඇති බවට දක්වමින් අධිකරණය ඉදිරියට ගෙනා විට ගෙනා විට එය බැලූ බැල්මට ම ( primafacie ) ප්‍රතිකර්ම දිය යුතු තත්ත්වයකි.

33(2)(ඇ) හි සඳහන් පරිදි පාර්ලිමේන්තුව විසුරුවීම විසුර වීමේ හැකියාව ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න ගරු අධිකරණය සොයා බලයි.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ට අනුවය. ඒ අනුව 33(2)(ඇ) යන්න සාමාන්‍ය විධිවිධානයක් ( General Provision ) බවට පත්වන අතර 70(1)-(7) විස්තරාත්මක විධිවිධානය ( detailed / special provision ) බවට පත් වෙයි. මේ ආකාරයට එක ම කාරණයක් සම්බන්ධව සාමාන්‍ය විධිවිධානයක් සහ විශේෂ විධිවිධානයක් ඇති විටදී විශේෂ ලෙස දක්වා ඇති විධිවිධානය ක්‍රියාවට නැංවේ.
33(2)(ඇ) පමණක් ම සලකන්නේ නම් එයින් 70 ව්‍යවස්ථාව නොසලකා හැරීමකට ලක් වන බවත් ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත්තේ 70 වන විධිවිධානය වෙත අවධානය යොමු නොකරමිනි.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් ගරු අධිකරණයේ අවධානය යොමු කර ඇත්තේ 19 වන ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පෙර තිබුණු 70(1) ඉවත් කොට වත්මන් වගන්තිය ඇතුළත් කර ඇති බවය. 19 වන සංශෝධනයට පෙර දී විසර්ජන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් දෙවරක් ප්‍රතික්ෂේප කළ විටදී ජනාධිපතිවරයා විසින් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීය යුතු වුවත් වර්තමානයේ ජනාධිපතිවරයාට එම හැකියාවද නැති ව ගොස් ඇති බවත් එනම් එවන් පාර්ලිමේන්තුවක් වුවත් විසුරුවා ලිය හැක්කේ පාර්ලිමේන්තුව විසින් ම තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් යෝජනා කොට ඉල්ලා සිටියොත්
පමණක් බවය.

නමුත් ගරු අධිකරණය දක්වා ඇත්තේ වගඋත්තරකරුවන් දැන් දක්වන එම කාරණය ( view )ට සහය පිනිස කිසිවක් 33(2)(ඇ) තුල හෝ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පතට අදාල නඩුවේදී තහවුරු ( support ) කිරීමක් දකින්නට නොලැබුණු බවත් ඒ අනුව මෙම කරුණු ඉදිරිපත් කිරීම මනක් කල්පිත ( hypothetical ) සහ පිළිගත නොහැකි එකක් බවය - page 73 of the judgment.

කෙසේ වුවත් 19 වන සංශෝධනයට අදාළව 33(2)(ඇ) සහ 70 දැන් පෙනෙනා පරිදි කියවා තේරුම් ගත යුතු බවත් සම්මත කළ පනතක් පිළිබඳ අධිකරණ විමර්ශනයට 80(3) ව්‍යවස්ථාව අනුව අධිකරණය ට ඉඩක් නොමැති බව ගරු අධිකරණය දක්වා ඇත.

ඒ අනුව නීතිපතිවරයාගේ මතය පිළිගත හොත් 33(2)(ඇ)මගින් ජනාධිපතිවරයා ට 70 ව්‍යවස්ථාව අබිබවා ක්‍රියාත්මක වන්නට බලයක් ලැබෙන බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව අභිබවා යන උපරිම බලයක් ( Supreme Power ) ජනාධිපතිවරයා සතුවනු ඇති බවත්, එවැනි බලයක් සංවරනය තුලනය පවත්වා ගැනීම සඳහා බලපෑ හැකි බවත් ඒ ආකාරයේ පාලනය නොකළ එනම් විලංගු නොයෙදූ ( unfettered ) අභිමතයක් ජනාධිපතිවරයාට තබා වෙනත් කිසිම රජයේ නිලධාරියෙකුට අපගේ නීතිය අනුව ලබාදී නොමැති බවත්, විශේෂයෙන් එවැනි බලයක් ජනාධිපතිවරයාට ඇති බව අර්ථවත් නොකර ඇතිවිට අර්ථ නිරූපණ රීති යටතේ නීතිපතිවරයාගේ සහ අනිකුත් වගඋත්තරකරුවන්ගේ ස්ථාවරයන් ප්‍රතික්ෂේප කළ යුතු බවත්ය.
එසේම 33(2)(ඇ) යන්න විධායකය විසින්ම පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළව බලය ක්‍රියාත්මක කර වීමක් ( executive driven ) සහ 70 යනු පාර්ලිමේන්තුව විසින් ඉල්ලා සිටි විටදී ජනාධිපතිවරයා විසින් බලය ක්‍රියාත්මක කරවීමක් ( legislative deiven ) යන එකිනෙකට වෙනස් සහ ස්වාධීන ලෙස සැලකිය යුතු අවස්ථා යන්නද ඉහත හේතු දැක්වීම මත ප්‍රතික්ෂේප කර ඇත.

33(2)(ඇ) හි සදහන් "අමතරව" යන්න තුල 70 ව්‍යවස්ථාව නොසලකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති හැකියාවක් ගැබ්ව ඇතැයි යන ස්ථාවරය ද ඉහත හේතු මත ප්‍රතික්ෂේප කර ඇත.
එසේ ම ගරු අධිකරණය වැඩිදුරටත් දක්වා ඇත්තේ 19 වන සංශෝධනයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධ විධිවිධාන ඇතුළත් වූයේ 70 ව්‍යවස්ථාවේ පමණක් බවත් එහිදී ජනාධිපතිවරයාගේ බලතල / කාර්‍ය යටතට පාර්ලිමේන්තුව කැඳවීම වාර අවසාන කිරීම විසුරුවා හැරීම යන්න සඳහන් නොවූ බවත් 19 වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය 33(2)(ඇ) යටතේ එය සඳහන් කර ඇති බවත් එමගින් අදහස් වන්නේ එම බලය ජනාධිපතිවරයාට ඇති බව හඳුනා ගැනීම ( only a recognition of that power ) පමණක් බවය.
62(2) විවස්තාවෙ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් කෙරෙහි ගරු අධිකරණය අවධානය යොමු කර ඇත.
එහි කාරණා තුනක් හඳුනා ගත හැක.

1. පාර්ලිමේන්තුව එහි පළමු රැස්වීමේ සිට වසර පහක ධුර කාලයක් පවතී.
2. පාර්ලිමේන්තුව වසර පහකට පෙර විසුරුවා හැරිය හැක. (parliament may be sooner dissolved )
3. වසර 5 සම්පූර්ණ වූ පසුව පාර්ලිමේන්තුව ඉබේම විසුරුනා සේ සැලකේ.

මෙහි සඳහන් වසර පහකට පෙර විසුරුවා හැරිය හැක යන්න කියවිය යුත්තේ ද තනි විවස්තාවක් වශයෙන් නොව 70 ව්‍යවස්ථාවට යටත් ව බව දක්වන ලදී.

70(5) ඒ දක්වන පරිදි 62(2) හි පරිද්දෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ විට ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තේරීම සඳහා ප්‍රකාශනයක් මගින් නොපමාව දිනයක් හෝ දින නියම කොට .... යන්නෙහි සිංහල පිටපතේ 62(2) ඇති 'විසුරුවා හරිනු ලැබූ විට' සහ ඉංග්‍රීසි පිටපතේ ඇති "up on the dissolution" හි අදහස වන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු යන්න බව දක්වන ලදී. 62(2) හි සඳහන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය යන්න ක්‍රියාත්මක විය යුත්තේ 70 ව්‍යවස්ථාවට යටත් වූ බව දක්වන ලදී. 70(3) ව්‍යවස්ථාව සැලකීමේදී පාර්ලිමේන්තුව කල් තබා ඇති අවස්ථාවක එය විසුරුවීම දක්වයි. එම අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් එය කළ යුත්තේ ද 70 ව්‍යවස්ථාවේ විධිවිධාන වලට යටත් වූ බව දක්වන ලදී.

ගරු අධිකරණයේ නිගමනය:

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලතල 33(2)(ඇ) හි දක්වා තිබුණත් එම බලතල 70 වන ව්‍යවස්ථාවට අනුව ක්‍රියාත්මක කළ යුතු ය.

ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නම් එහි මුල් රැස්වීමේ සිට වසර හතර හමාරක් ගත වී
තිබිය යුතු අතර නො එසේ නම් ඊට ප්‍රථම සිදුකරන විසූරුවා හැරීමකට පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව 2/3 ක මන්ත්‍රීවරුන් ගේ යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතුය. පාර්ලිමේන්තුවේ මුල් රැස්වීමේ සිට වසර හතර හමාරක් ගත වූ පසුව ජනාධිපතිවරයාට සිය අභිමතය මත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය ලැබේ. පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර 5 කාලය වසර පහ සම්පූර්ණ වූ පසුව 62(2) ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පාර්ලිමේන්තුව විසුරුනා සේ සැලකේ. එවැනි අවස්ථාවක ව්‍යවස්ථාවේ 70(5) අනුව ජනාධිපතිවරයා කටයුතු කළ යුතු ය. මෙම නිගමනයට ගරු අධිකරණය පැමිණ ඇත්තේ ව්‍යවස්ථා අර්ථ නිරූපනයට අදාළ සම්මත රීති භාවිතා කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය වශයෙන් සලකමින් නීතියේ ආධිපත්‍යය බලය බෙදීම යන සංකල්පය සහ සීමාවක් නොමැති අභිමතයක් කිසිදු මහජන අදිකාරියකට නොමැති ය යන කරුණු සලකමිනි.

මේ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලාතික්‍රමණ ක්‍රියාවකි. එය අධිකරණ විමර්ශනයට බඳුන් කළ හැකි ය. එමගින් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුව ඇති අතර එයට මූලික අයිතිවාසිකම් හරහා ප්‍රතිකර්ම ලබා දිය හැකිය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මගින් නව පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම සඳහා වන මැතිවරණයක් කැඳවීමට නියම කර තිබීම හරහා එහිදී ජනතාවට සිය ඡන්ද බලය ක්‍රියාත්මක කළහැකි වන මුත් එවැන්නක් ක්‍රියාත්මක කරන්නට සිදු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හරහා වන නිසාවෙන් එහිදී ක්‍රියාත්මක කරන වූ ඡන්ද බලය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක කරන ඡන්ද බලයක් ලෙස හැඳින්විය නොහැක ( not a true exercise of franchise of the people )

මෙහිදී පෙත්සම්කරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) අර්තය තුල අසමාන ව සැලකීම යන්න ධනාත්මක ක්‍රියාවක් ( positive act ) මගින් ඔප්පු කිරීමට අසමත් වුවත් මූලික අයිතිවාසිකම් නඩු විභාග කොට ප්‍රතිකර්ම ලබා දීමට ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති අධිකරණ බලය යටතේ විශේෂයෙන් 12(1) යන සියලු පුද්ගලයින්ට නීතිය නීතියේ සමාන ආරක්ෂාව ලබාදෙන බව දක්වන, බලය ඉක්ම
වා භාවිතා කිරීම / අසත්භාවයෙන් භාවිතා කිරීමට එරෙහිව ප්‍රතිකර්ම ලබා දීමට ඇති හැකියාවත් ( 12(1) හි විෂය පථයට නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම, නිත්‍යානුකුල අපේක්ෂාව ආරක්ෂා කිරීම, ස්වභාවික යුක්ති මූලධර්ම ආරක්ෂා කිරීම ආදියද ඇතුලත් ය ) 4(ඉ) ව්‍යවස්ථාව ද සලකමින්, නීතිය කඩ කරන සෑම ක්‍රියාවක්ම නීති විරෝධී යන පදනම සලකමින්, වෙනස්කොට සැලකීමක් / අසමානව සැලකීමක් විශේෂයෙන් පෙන්නුම් නොකළ ද ප්‍රතිකර්ම ලබා දිය හැකි බවය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව කඩ වී ඇති බව බව තීන්දු කරයි. ප්‍රතිකර්මය ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටි පරිදි පාර්ලිමේන්තුව විසුරුවීමට අදාළ ජනාධිපතිවරයා ගේ ගැසට් පත්‍රය මුල සිටම ශුන්‍ය සහ බල රහිත නීතිය ඉදිරියේ කිසිදු බලයක් නොමැති බව තීන්දු කරයි!

සැ. යු: මෙහි මා විසින් දැක්වූයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සම්බන්ධ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවේ මා විසින් මාගේ පහසුව උදෙසා කියවා ගැනීමට සරලව සකස් කළ සිංහල පරිවර්තනය වන අතර ඒ අනුව නිතියට අනුව බලධාරී පරිවර්තනයක් ලෙස නොසැලකිය යුතු බවත් කරුණාවෙන් සලකන්න!!!
එසේම මෙය මෙහි පල කලේ මේ සම්බන්ධව උනන්දු වන අයහට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා පමණි!!!

No comments:

Post a Comment