Tuesday, December 18, 2018

නීතියේ සමානාත්මතාවය කඩ කලා යැයි තින්දු වූ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම!!!

ආණ්ඩුක්‍රම විවස්තාවේ 12 ව්‍යවස්ථාව අනුව "නීතියේ සමානාත්මතාවයේ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය කඩ නොවිය යුතුය" යන්න කොහොමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික මූලධර්මයකි/පිලිගන්නා කාරණයකි.
එම අයිතිය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා පුලුල් වී "නීතියේ සමානාත්මතාවයේ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් වුව කඩ නොවිය යුතුය" ලෙසින් මතුවී ඇති ආකාරයකි.

එනම් නීතියේ සමානාත්මතාවයේ ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය තුලට පාර්ලිමේන්තුව වසර හතර හමාරකට පෙර 70(1)හි දක්වා ඇති පරිද්දෙන්ම මිසක විසුරුවීමකින් තොරව පවත්වා ගැනීමේ අයිතියද ඇතුලත් වන බව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති තත්වයකි. එනම් අර්ථනිරුපණය හරහා මූලික අයිතිවාසිකම් වපසරිය පුලුල් කරනා ලද ආකාරයකි.

ජනතා මතය පාර්ලිමේන්තුවෙන් මනාව නිරූපණය නොවෙන වර්තමාන පාර්ලිමේන්තුව බදු අවස්ථාවක ඇතැම් ජනතා නියෝජිතයන්ට පාර්ලිමේන්තුව විසුරුවීම නිසා අහිමි වන්නට ගිය සිය බලය තවත් කාලයක් දක්වා රැකගැනීම පැත්තෙන් ඒ තීන්දුව නිසැකවම වැදගත් වනු ඇත.
 
එය ඔවුන් විසින් ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා වීමක්, නීතියේ ආධිපත්‍යය සුරැකීමක් ආදී බර වචන යොදා ( බාගෙදා ඒ වචන වල අර්ථයද හරි හැටි නොදැන ... ) රස කර ඉදිරිපත් කරනු ඇත. ආත්ම තෘප්තිය පැත්තෙන් සැලකූ කල්හි එහි වරදක් ද නැත.

කෙසේ නමුත් එකී තින්දුව ඔය ඇතැම් අය කියනා තරමටම එක එල්ලේම ජනතාවට නම් වැදගත් නොවෙනා තැන ඇතැයි කීම වරදක් නැත්තේ ජනතා මතය මේ වන විට නිවැරදිව පාර්ලිමේන්තුවේ නිරූපණය වන තත්වයක් දකින්නට නොමැති නිසාය. වසර හතර හමාරක් යන තුරු වෙනස් නොකරනවා නම් නොකල යුත්තේ ජනමතය මනාව නියෝජනය වන පාර්ලිමේන්තුවකි.

ජනතා මතය පැහැදිලි ව පාර්ලිමේන්තුවෙන් නිරූපණය වන හෝ පාර්ලිමේන්තු මැතිවරණය කින් මෙහා වුව එලෙස සකසා ගත් පසුව නම් මේ තීන්දුව වටිනා තීන්දුවක් වනු ඇත. මන්ද එවන් තත්වයකදී නම් එවන් පාර්ලිමේන්තුවකට අත නොතැබිය යුතු ද වන නිසාවෙනි.

ඒ අනුව මේ තීන්දුවට බොහෝ සතුටුව උදම් අනනා අය මතක තබා ගත යුත්තේ මෙම තීන්දුව ලැබුණේ බලය කුමන හෝ ක්‍රමයකින් රැක ගන්නට දිරි දීමක් වශයෙන් නම් නොව සහ ජනතා පරමාධිපත්‍යයට පටහැනි කිසිදු ක්‍රියා මාර්ගයක් පාර්ලිමේන්තුව තුළින් ගැනීමටද නොව ජනමතය නිවැරදිව නිරූපණය වන පාර්ලිමේන්තුවක පැවැත්ම තහවුරු කරගැනීම සඳහාම පමණක් වන බවය. ඒ වෙනුවෙන් පමණක් ක්‍රියාත්මක විය යුතුය.

එසේම මේ තීන්දුවට කනගාටුවෙන් බොහෝ අතෘප්තිමත්ව, එයින් නොනැවතී තම තමන් විනිශ්චයාරූඪ වෙමින් මත පල කරන්නට යන අයද අමතක නොකල යුත්තේ මෙය අති විශේෂ ජයග්‍රහණයක් ලබා ගත් පරිදි සිතනා / ක්‍රියාත්මක වන / පෙන්වා දෙන අයට පක්ෂව දුන් තීන්දුවක් නොවන බවත් ජනතා පරමාධිපත්‍යයේ එන ඡන්ද බලය නොසලකා දුන් තීන්දුවක් ලෙස සැලකිය යුතු ද නොවන බවයි.

ඒ මන්ද යත් පාර්ලිමේන්තුවේ දකින්නට ඇති ගැටලුකාරී, නිසි පරිදි ජනමතය නියෝජනය නොවන ස්වභාවය නිවැරදි කරන්නට අධිකරණයට ව්‍යවස්ථාව අර්ථ නිරූපණය හරහා මැදිහත් වන්නට නොහැකි තැනට කරුණු කාරණා යෙදී ඇති බවද ඔය තීන්දුවෙන් ගත හැකි යුක්තිමත් අදහසක් වන නිසාය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සම්බන්ධව කවරාකාර සීමාව ඉක්මවන මට්ටමේ වර්ණනා, සහ සීමාව ඉක්මවන මට්ටමේ විවේචන තිබුණත් මධ්‍යස්ථව බැලූ කල්හි නීතිය අනුව එහි අපක්ශපාතී බව ගැන යුක්තිසහගතව සෑහීමට පත්විය හැකිය.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විය යුතු නියමිත කාලයට පෙර අප මහමැතිවරණයක් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය ‍මැතිවරණයකින් මෙහා නිවැරදි කරගැනීමට නොහැකි තැන ඇති බව පෙනෙන්නට තිබූ නිසාය.

නියමිත කාලයට පෙර මැතිවරණයක් තැබීම මූලික අයිතිවාසිකම් / පරමාධිපත්‍යය කඩ කිරීමක් නොවේ. ඒ කාරනයට මෙම නඩු තීන්දුව පටහැනිද නොවේ. මන්ද අවැසි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් ඇති කරගෙන එමගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ එහෙමම ඇති නිසාවෙනි. එහෙත් ජනාධිපතිවරයා විසින්ම පෙරදී මෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු කරන්නට පෙර නොතිබූ ව්‍යවස්ථාමය බාධකයක් ඇති බව ගරු අධිකරණයේ මතය වී ඇත. ඒ අනුව එය පාර්ලිමේන්තුටම විසදා ගන්නට යැයි නොකියා කියා ඇති ආකාරයකි. එය අප විසින් පිලිගත යුතුව ඇත.

මෙහිදී ව්‍යවස්ථා රාමුවේ තිබිය යුතු යැයි සලකන සංවරණ තුලන පාලන ක්‍රමයට කිසියම් වූ බලපෑමක් සිදුවී ඇතිද එසේ නම් ඒ කොයිතාක් දුරට ද යන්න මෙම නඩු තීන්දුවෙන් පැන නැගුණු තත්ත්වයත් සමග වෙනම අර්තසාධනීය මට්ටමින් සාකච්ඡා කළ යුතු මාතෘකාවකි.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු සිදුවනු ඇත්තේ / කළ හැක්කේ කුමක්ද ?
* පාර්ලිමේන්තුව විසිරුවා හැරීමක් සිදුව නැත. එනම් පාර්ලිමේන්තුව විසුරුවාලීමට ගැසට් නිවේදනයක් නිකුත් නොකලා බදුය.
* පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කළ ගැසට් පත්‍රයට පසුව මේ තාක් පාර්ලිමේන්තුව විසින් නීතියට අනුව ගෙන අැති සහ ඉදිරියට ගන්නා එවැනි පියවර / පියවරයන් වේ නම් ඒවා පමණක් වලංගු ඒවා ලෙසට සැලකේ.
* නඩු තීන්දු නිසාවෙන්ම වත්මන් අගමැතිවරයාගේ හෝ ඇමති මණ්ඩලය වෙනසක් සිදු නොවේ.
* වත්මන් අගමැතිවරයා හෝ ඇමති මණ්ඩලයේ වෙනසක් ව්‍යවස්ථාව අනුවම සහ අධිකරණයේ බලයට පටහැනි නොවෙනා ලෙසින් මිසක සිදුකළ නොහැක.

මූලික අයිතිවාසිකම් සම්බන්ධ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව පාර්ලිමේන්තුවේ ඇති නොසන්සුන් / ජනමතය නියෝජනය නොවෙනා තත්වය නිවැරදි කරන්නට මහ මැතිවරණයකදී ඡන්දයක් භාවිතා කරන්නට ජනාධිපතිවරයා මැදිහත්ව ලබා දුන් අවස්ථාව මග හැරී ගිය මුත් එහි වගකීම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ගත නොහැකිය. එලෙස වගකිමක් පැවරිය නොයුතු ද වේ. මන්ද එය එසේ සිදුවූයේ ව්‍යවස්තාදායකය හෙවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාවක් නිසාවෙනි. එනම් 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔය බාධාව ඇති කලේ පාර්ලිමේන්තුව වන නිසාය.

අධිකරණය කලේ අධිකරණයේ භූමිකාව හෙවත් ඒ නීතිය අර්ථදක්වා පැහැදිලිව ප්‍රකාශ කිරිම පමණි. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනතා පරමාධිපත්‍යය ඉක්මවා හෝ එයට අභියෝග කර නම් නැත. පාර්ලිමේන්තුවේ සිටින්නේද රටේ ජනතාවගේ ජනතා නියෝජිතයන් වන නිසා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් ද සලකන්නට වන බව අර්ථවත් කරමින් ජනතා පරමාධිපත්‍යය වෙනුවෙන් නිතියෙන් දී තිබුණු අවකාශය තුල පසුගිය දින ගණනාව පුරාම ගොස් ලබා දිය හැකි යුක්තිමත්ම තීන්දුව එලි දක්වන්නට ඇතුවාට කිසිම සැකයක් නැත / එවන් සැකයක් පුරවැසියන් වශයෙන් අධිකරණය සම්බන්ධව තබා ගත යුතුද නොවේ. මන්ද එසේ වුවහොත් එහි හානිය වනු ඇත්තේද ජනතාවටම වන නිසාවෙනි.

No comments:

Post a Comment