Sunday, August 12, 2018

සේවාදායකයා සමග සේවය සැපයීම පිණිස වන බැදීම

සේවාදායකයා සමග සේවය සැපයීම පිණිස නෛතික බැදීම ඇතිවුයේ පෙරකලාසියක් මත වේවා නොවේවා සේවාදායකයා විසින් තමාගේ කාර්යන් සදහා අවශ්‍ය වන උපදෙස් මොනවාද යන්න නීතිඥවරයාව විමසමින් අවශ්‍ය වන ගාස්තු කොපමණ වේද යන්න ද විමසා ඒවා ඉල්ලීමට පෙර හෝ අවම වශයෙන් නීතිඥවරයා ඒවා තමා වෙත ලබා දෙන මෙන් ඉල්ලා සිටින නිසි කාලයේදී / කාලසීමාවකදී හෝ ලබා දිම අවශ්‍ය ය.

උපදෙස් සහ ගාස්තු යන දෙකම සේවාදායකයෙකු වෙනුවෙන් පෙනී සිටීමේදී නීතිඥවරයෙකුට අවශ්‍යය.

එම අයිතිය අත් හරිය හැකිද ?

අයිතියක් නම් එක්කෝ භාවිතා කල හැකිය, නැතිනම් අත හරිය හැකිය.

ඒ අනුව ගාස්තු ලබා ගැනීම ද අයිතියක් නිසා එයද අවැසි නම් අත හැරිය හැකිය. අනෙක් අතට නීතිඥවරයා විසින් ප්‍රකාශිතව / ප්‍රකට ලෙස ගාස්තු අතහැරියේ නැති නම් සේවය සැපයීම සදහා ගාස්තු ගැනීමේ අයිතිය හෙතෙම සතුව ඇත.

එහෙත් ,,,

විශේෂයෙන් සේවාදායකයින් / පුරවැසියන් දැනගත යුත්තේ 1988.12.07 දින පල කල අති විශේෂ ගැසට් පත්‍රයේ දක්වන ලද 62ක් වන ශ්‍රේෂ්ඨාධිකරණ රීති වල රීති අංක අංක 27 අනුව ගාස්තු අඩු කිරීම හෝ තවත් ඉදිරියට ගොස් නොමිලයේම නඩු කිරීම නීතිඥවරයෙකු අනිවාර්යෙන් බැදිය යුතු රීතියක් නම් නොවෙන බවය.

මන්ද එය ව්‍යාතිරේකි අවස්තාවක් වන තැන ඇති නිසාවෙනි.

ඒ අනුව එය වනාහි ගාස්තු අඩුවෙන් ගන්නවාද, නැතිනම් සම්පුර්ණයෙන්ම නොමිලයේම කරනවාද යන්න තීරණය කිරීමට නීතිඥවරයෙකුට සිය අභිමතය මෙහෙයවිය හැකි අවස්ථාවකි. ඒ අනුව අවැසි නම් පමණක් එසේ කල හැකි ය.

සරලව කිවහොත් සේවාදායකයාගේ ගෙවීමේ හැකියාව අඩුවීම / දුෂ්කරතා හේතුවෙන් මනුස්සකම / සාධාරණත්වය පැත්තෙන් වැඩියෙන් සලකා එසේ අඩු කිරීම හෝ ගාස්තු අත් හැරීමම කල හැකිය.

ඒ අනුව ඇතැමුන් නැතැයි කියනා මනුස්සකම සාධාරණත්වය නීතියට එක්කොට ඇති ස්ථානයක් යැයි කීමේ වරදක් නැත.

එහෙත් එම සහනය ලබා ගැනීමේදී සේවාදායකින්ද අවංක විය යුතුය.

ගාස්තු ගෙවීමේ හැකියාව තිබියදී ගාස්තු ගෙවීමේන් බැහැර නොවිය යුතුය. අන් සිත් කල් තියා හදුනා ගැනීමට පරචිත්ත විජානන ඥානය කිසිවකුට නොමැති තාක් කල් අන් සිත් දැනගත හැක්කේ ඔවුන්ගේ බාහිර ක්‍රියාකාරකම් මගිනි.

~ බාහිර ක්‍රියාකාරකම් මගින් රහසිගත චේතනා හෙළිවේ ~

ඒ අනුව තමාගේ ක්රිකාකාරකම් නීතිඥවරයාට හසු නොවේයැයි සිතා ගාස්තු වංචාවට ලක් කරනා සේවාදායකයකු හදුනා ගැනීමට නීතිඥවරයකුට ඔය යටතේ බොහෝ දුරට හැකිවනු ඇත. 🤓 ...

මසකට වරක් හෝ නොමිලයේ නීති උපදෙස් දීමක් හෝ සේවය කිරීමක් / පෙනී සිටීමක් කිරීම සුදුසු බව මා හට නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට අදාළ පන්ති දෙකකදී සහ නීති විද්යාලයේ 3 වැනි වසරේ වෘත්තීය ආචාර ධර්ම වලදී කියා දුන්නා මතකය. ඔය කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 27 ගැනය. ඒ අනුව කටයුතු කරනවාද නැද්ද එසේ නම් ඒ කා වෙනුවෙන්ද, කොයි තරමින්ද යන්න තීරණය කිරීම පුර්ණ ලෙස නීතිඥවරයෙකු සතු අයිතියකි.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 27 ට වැටෙන අවස්ථාවකදී, විශේෂයෙන් හැකියාව නැති බව මුලින් පෙන්වුවද සත්‍ය ලෙසම සිදුවන්නේ හැකියාව තිබියදී දිලිදු බව වංක ලෙසින් අගවා අසත්භාවයෙන් යුතුව ගාස්තු ගෙවීමෙන් බැහැර වූ බව අවබෝධ වුයේ නම් එයින් පසුව එවන්නෙකු කෙරේ තව දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 27 විෂය ක්ෂේත්‍රයෙන් බැලිය යුතු නැත!

අනෙක් අතින් මුල සිටම ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 27 ට නොවැටෙන අවස්ථාවකදී, විශේෂයෙන් හැකියාව තිබියදී ගාස්තු නිසි ලෙස ගෙවීමෙන් වංක ලෙසින් බැහැර වන සේවාදායකයකු වන්නේ නම් ඔවුන් කෙරේ ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 27 කෙලෙසවත් අදාළ කල යුතු නැති අතර එයින් ඔබ්බට සේවය සපයනවාද නැද්ද යන්න දැඩි ලෙස නීතියට අනුවම සැලකීමට ලක් කලාට කමක් නැති කාරණයකි.

මන්ද යත් මනුස්සකම සාධාරණය මුසු නීතියෙන් බැලිය යුත්තේ මවා නොගත් / සත්‍ය / අවංක ලෙසම එවැනි ගුණාංග වලින් යුතු තැනැත්තන් කෙරේ ය. එබදු ගති සැබවින්ම නැති / මවා පානා අය කෙරේ එබදු ඇසකින් බැලීම තබා ඒ කෙරේ අල්පමාත්‍රයක වෙහෙසිමද අවශ්‍ය නැත.

ඒ අනුව තමාගේ නඩුවට අවශ්‍ය පියවර ගැනීමට අවශ්‍ය උපදෙස් හා / හෝ ගාස්තු සේවාදායකයා විසින් නොගෙවන්නේ නම් පෙනී සිටීම පිළිබද තීරණයක් ගැනීමට උක්ත දැක්වූ රීති වල 20, 21 සමග 22 වැනි රීතිය අනුව නීතිඥවරයාට හැකි ය.

"Client is a paid enemy" යැයි කියමනකි. එවැන්නක් නීති විද්‍යාලයේ දේශනයකදී කියා දුන්නා මතකය.

ඔය කියන්නේ ගාස්තු ගෙවූ විට තත්වයයි.

හෙතෙම ගාස්තු නොගෙවිම්කදී තත්වය ඒ අනුව හිතා ගත යුතුය.

ඒ අනුව සේවාදායකයෙක් සමග කටයුතු කරද්දී කොහොමටත් තමාගේ ආරක්ෂාවට පියවර නීතිඥවරයෙකු ගත යුතුමය.

* සුහදව සැලකුවද සේවාදායකයාව අතේ දුරින් තියා ගැනීම එනම් ඔහු / ඇය සමග ඒ අදාළ කටයුත්ත කෙරේ පමණක් ගනුදෙනු තියා ගැනීම.

* සුහදව සැලකුවද සේවාදායකයා සමග වෘත්තීය කටයුත්තේදී වුව අනවශ්‍ය ලෙස බැදීම් / ගැටුම් ඇති කර නොගැනීම.

* සේවාදායකයා විසින් සිය කාර්යය පිළිබද පළමුව උපදෙස් දුන්නද ඒවා අනුව කටයුතු කරන්නේ තමා බැවින් තමාගේ මග පෙන්වීම් අනුව සේවාදායකයා ක්‍රියාත්මක වීම අවැසි බව ඔහුට / අයට තේරුම් යන ලෙසින් තේරුම් කරදීම.

* අවශ්‍ය දේ පමණක්ම කතා කොට සේවාදායකයාගෙන් ඉවත්වීම.

* උපදෙස් හැකි හැම විටම ලිඛිතවම ගැනීම.

* සේවාදායකයා සමග සිදු කල සාකච්ඡා වලට අදාලව / දුරකථනය මගින් ලබා දුන් තොරතුරු වලට අදාළ ලිපිගොනුවක් / සාරාංශයක් තබා ගැනීම සහ එය අවැසි විට යාවත්කාලින කිරීම.

* අවශ්‍ය උපදෙස් තමා දක්වන කලට වෙලාවට දෙන ලෙස සහ එසේ නොලැබුණ හොත් සිදුවිය හැකි දේ ලිඛිතව සේවාදායකයාට දන්වා හෙතෙම දැනුවත් කර තැබීම.

* තමාට තව දුරටත් සේවාදායකයා වෙනුවෙන් කටයුතු කරන්නට නොහැකි නම් ඒ බව හේතු සහිතව කල් තියා දැන්වීම.

* ඇතැම් සේවාදායකයින් සිතා සිටින්නේ ඔවුන්ගේ වැඩ සදහා උපදෙස් හා විශේෂයෙන් ගාස්තු ඔවුන්ට අවැසි විට අවැසි අවස්ථා වලදී ගෙවිය හැකි බවය. එය එසේ නොවෙනා බව ඔවුන්ට සුහදව තේරුම්කර දීම.

මා එවැන්නක් කළේමි. 🤓 ...

ඒ අනුව ක්‍රියාත්මක වන්නේ නම් එසේය ...🙂 ...

නො එසේ නම් එසේය ... 🙂 ...

වෙනත් නීතිඥවරුන් විසින් එවැනි ඉල්ලීම් කිරීම මා නිරීක්ෂණය කර ඇති අතර එවැනි ලේඛණද මා කෙටුම්පත් කර කරුණු අධ්‍යයනය කර ඇත්තෙමි ...

ඒ අනුව ඒ කොයි විදියකින් වුව ක්‍රියාත්මක වන්නට මා හට හැකියාව ඇත!

No comments:

Post a Comment