Saturday, November 24, 2018

අගමැතිවරයා පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ මතයේ අදාලත්වය

"ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා ...." ලෙසින් එහි සදහන්‍ ය.

මෙහිදී "පාර්ලිමේන්තුවේ "විශ්වාසය යන්න සමග "පාර්ලිමේන්තුවේ බහුතරය" අනිවාර්යෙන් බද්ධ වී ඇති බවක් අදහස් කර ඇති බවක් පෙනෙන්නට නැත.

ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය නැති වුවත් අගමැතිවරයෙකු පත් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට ඇත.
අනික් අතට "පාර්ලිමේන්තුවේ බහුතරය" ඇති අයෙකුට "පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය" ද තිබිය යුතු යැයි අදහස් කල බවක් දකින්නටද නැත.

ප්‍රායෝගිකව සාමාන්‍යයෙන් සිදුවන්නේ නම් බහුතර බලයක් ඇතැයි පැහැදිලිව පෙනීයන හෝ සැලකෙන ( බහුතර බලයක් ඇතැයි පෙන්වා දිය යුතු බවක් ව්‍යවස්ථාවේ දක්වා නැත ) මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ මතය අනුව අගමැතිවරයා ලෙස තෝරා ගැනීමය.

ඒ අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයා පත් කිරීමේ සැලකිය යුතු අභිමතයක් ඇති බවත් අදටද අදහස් වේ. විශේෂයෙන් මේ තත්වය මතුවන්නේ මහ මැතිවරණයකින් මෙහා අගමැතිධූරය යම් හේතුවක් මත හිස් වූ / හිස් කල අවස්ථාවක ය.
( උදාහරණයක් වශයෙන් වත්මන් සිදුවීමේදී වූවා බඳු පැවැති ආණ්ඩුවේ වෙනසක් වීමෙන් ආණ්ඩුව විසිරී යාමේදී )

ඒ අනුව එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුවේ ඉතිරි ධුර කාලයට ජනාධිපතිවරයා විසින් සිය මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිමව ඇතැයි සිතනා මන්ත්‍රීවරයෙකු අගමැතිවරයා ලෙස පත් කරනු ඇත.
ඒ අනුව වත්මන් ජනාධිපතිවරයා එදා පාර්ලිමේන්තුවේ 2/3 බලයක් එවකට තිබූ, ඔය කියනා පාර්ලිමේන්තුවේ විශ්වාසය කියනා එක ඕනෑවටත් වඩා තිබූ, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන්ම බැලූවද ඒ අනුවත් හරියන ලෙස පත්කර සිටි දි මු ජයරත්න අගමැතිවරයා ඉවත් කොට ( අද අගමැතිවරයා පත් කිරීමේ ව්‍යවස්ථානුකූලභාවය ගැන මහා ඉහලින් ප්‍රශ්න කරනා සමහරක් ඒ ඉවත් කිරීමේ කාර්ය පටිපාටියේ ව්‍යවස්ථානුකූලභාවය ගැන නිකමට හෝ ප්‍රශ්න කලේ නැත ) පාර්ලිමේන්තුවේ ආසන හතළිස් ගණනක් තිබූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්කර ගන්නා ලදී.
එදා ඒ කළ දේ හරියටම හරි යැයි කිසිවකු කියන්නේ නම් ඒ අයට ඒ ජනාධිපතිවරයාම ගිය 26 වැනිදා කල දේ වැරදියි කියන්නට අයිතියක් ද නැත!

මන්ද එසේ කියන්නේ නම් ඒ වනාහී ඔවුන් පැහැදිලිවම බොහෝ දුරට එකම ආකාරයේ සිදුවීම් දෙකකට අදාළව එකම ස්ථාවරයක් නොගෙන වෙනත් ස්ථාවරයන් ගැනීමක් වන නිසා එවැන්නවුන් පැහැදිලිවම පක්ෂපාතීත්වයක් පෙන්වන අය ලෙස නම් කල හැකි නිසාවෙනි.

සාමාන්‍ය වචනයෙන් කියන්නේ නම් "ස්වාධීනයි" "මධ්‍යස්ථයි" කියාගෙන කඩේ යෑමකි.

අනෙක් කාරණය නම් ජනාධිපතිවරයාට අගමැතිවරයා ව තෝරා ගැනීමේදී "මතයක්" ගැනීමේ හැකියාව ය.
අහවලා නම් නැවත අගමැති ලෙස පත් කර ගන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එවැන්නක් කළ හැක්කේ එය ජනාධිපතිවරයාට "මතයක්" ගැනීමේ හැකියාව ගැබ්ව තිබීම තුලය. ඒ මතය යුක්ති සහගතව ගත යුතු යැයි සලකන මුත් ඒ තුළ විධායකයේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමේ හැකියාව ද වළක්වා නැත.

බදු ගෙවීම

අප මහන්සියෙන් උපයා ගන්නා මුදලින් බදු ( tax ) ගෙවිය යුත්තේ මන්ද සහ එසේ නම් ඒ කොපමණක් යන ප්‍රශ්නය මතු කිරීම සාධාරණ ය.

සෑම පුද්ගලයෙකු ම වාගේ

01. රජය විසින් ලබාදෙන නිදහස් අධ්‍යාපනය තුලින් යම් කාලයක් හෝ ප්‍රතිලාභ ලබා ඇතුවාට සැක නැත.
02. රජය විසින් ඉදිකරන ලද මහා මාර්ගවල ගමන් කර ඇතුවාට සැක නැත.
03. රජයේ ආරෝග්‍ය ශාලාවක ප්‍රතිකාර ලබා ගෙන ඇතුවාට සැක නැත.
04. රජය විසින් ජනතාව වෙනුවෙන් පාලනය කරනාවූ අලුත් වැඩියා කරනාවූ පොදු දේපල පරිහරණය කර ඇතුවාට සැක නැත.
05. රජය විසින් ලබා දිය හැකි වෙනත් සහනාධාර / පහසුකම් ලබාගෙන ඇතුවාට සැක නැත.
06. රාජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කර ඒවායේ පොලී ආදායම් ද ලබනවාට සැක නැත.
07. රජය විසින් අවකාශය ලබාදී ඇති පරිදි අනිකුත් පෞද්ගලික බැංකු, ණය දෙන ආයතන වල ගනුදෙනුකරුවන් වී ඒවායේ ප්‍රතිලාභ ලබනවාට සැක නැත.
08. රජයේ සේවය නිරත වී එයින් ලැබිය හැකි විශ්‍රාම වැටුප, වෙනත් පහසුකම්, ශිෂ්‍යත්ව, දීමනා ආදිය ලබනවාට සැක නැත.
09. රජය විසින් ලබා දෙන නීතියේ රැකවරණය ප්‍රායෝගිකව එක් වරක් හෝ ලබාගෙන ඇතුවාට සැක නැත.
මෙලෙස සඳහන් කළ හැකි කාරණාවලින් අවම වශයෙන් එක කාරණයකින් හෝ ප්‍රතිලාභ ලබා ගෙන ඇතුවාට සැක නැත.

ඒ අනුව එලෙස ප්‍රතිලාභයක් ලබා ගැනීම තමාට ලැබෙන වාසියකි. ඊටත් වඩා එය ජනතාව වශයෙන් තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් යැයි නිතැතින්ම සඳහන් කරනා දෙයකි.
ඒ අනුව කාසියක දෙපැත්ත බදු අයිතිවාසිකම් සහ යුතුකම් සැලකීමේදී අයිතිවාසිකම් ඇති තැන ඉටු කළ යුතු යුතුකමක් ද ඇත්තේය.

බදු ගෙවීම හරහා ඉටු කරන්නේ එම යුතුකම යි.

ඒ අනුව තමන් උපයන මුදලින් බදු ගෙවීම අවශ්‍යද ‍යන ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක්ද ලැබේ.
ඒ අනුව බදු ගෙවන්නා තමන් ලබාගන්නා සේවාවලට සිය යුතුකම ඉටු කරමින් සමාජ ආරක්ෂණයට ද දායකත්වය සපයනු ලබන අතර එසේ බදු නොගෙවා පැහැර හරින්නෙකු වේ නම් හෙතෙම ඒ යුතුකම පැහැර හරින්නෙකු වේ.

බදු ගෙවන්නා තමන් ලබාගන්නා සේවාවලට සිය යුතුකම ඉටු කරමින් ලබා දෙන බදු මුදල් අය කරගත යුත්තේද යුක්තිසහගත ලෙසිනි. ( උදා: ආදායම් ඉපයීමට සාපෙක්ෂව )

එසේම ඒ ලබා ගන්නා බදු මුදල් මහජන භාරයක් ( public trust ) ලෙස තබාගෙන පෙරලා බදු ගෙවන්නන්ගේ යහපත පිණිසම යෙදවිය යුතුද වේ.

Thursday, November 22, 2018

අධිකරණයට අපහාස කිරීම

"අධිකරණයට අපහාස කිරීම" වරදක් වන්නේ සහ එසේ විය යුත්තේද එයට වග කිව යුත්තන්ට නීතියෙන් දඩුවම් කරන්නේ ද අධිකරණයේ ප්‍රතිරුපයත්, ස්වාධීනත්වයත් වඩ වඩාත් ශක්තිමත් කිරීම හරහා අධිකරණය පිලිබදව මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීම තුලින් ජනතාවගේම යහපත වෙනුවෙනි.

ඒ අනුව අවැසි අවස්ථා වලදී එසේ කල යුතුද වෙයි.

අධිකරණයට අපහාස කිරීම කිසියම් අයකු කිසියම් මාධ්‍යයකදී අධිකරණය / ඊට සම්බන්ධ කාරනා සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමේදී අධිකරණය සම්බන්ධව ඇති යම් බැදීමක් කඩ කිරිමේදී සිදුවේ.

* අධිකරණයට අපහාස කිරීම යන්නට හසුවීම අදහස් පල කිරීමට ඇති බාධාවක්ද ?

කොහෙත්ම නැත !!! ( එසේ නොවන්නට වගබලා ගන්නා තාක් කල් )

පොදුවේ සෑම දෙනාම සහ විශේෂයෙන් විවෘතව අදහස් පල කිරීමට මනාප කවුරුත් පැහැදිලිව මතක තබා ගත යුතු කරුණ නම් අදහස් පල කිරීමට මුලික අයිතිවාසිකමක් ඇති මුත් එය සිමා සහිත එකක් බවය. ඒ අනුව එම අයිතිය සිමා කල හැකි බවත් අවශ්‍ය අවස්ථා වලදී නීතියට අනුව එසේ කරනු ලබනු ඇති බවත්ය !!!

හෝෆීල්ඩ් න්‍යාය අනුව අයිතිවාසිකමක් ඇති තැන යුතුකමක්ද ඇත්තේය. ඒ අනුව තමන්ට ලැබී ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නෛතික අයිතිවාසිකම භාවිතා කල යුත්තේ නෛතික යුතුකම්ද සලකමිනි. එම නෛතික යුතුකම් සිමා කිරීම් මගින් දක්වයි.

පොතට අනුවම දැක්වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) (අ) මගින් දී ඇති ඔය කියනා අදහස් ප්‍රකාශ කරන්නට ඇති මුලික අයිතිවාසිකම 15 (2) සහ 15 (7), (8) ව්‍යවස්තාවල සීමාවන්ට යටත්ව භාවිතා කල යුතුවේ. නො එසේ නම් ඒ අවශ්‍යතාවයන් උදෙසා සිමා කල හැකිය. ඒ සිමාවන් තුල අධිකරණයට අපහාස කිරීම වලක්විමද ඇත!

ඒ අනුව අදහස් ප්‍රකාශ කරන්නට තමන්ට මුලික අයිතියක් ඇතැයි සිතා තමන්ට හිතෙන ඕනෑම දෙයක් කියන්නට ලියන්නට හෝ වෙනත් යම් ආකාරයකින් ප්‍රකාශ කර දක්වන්නට ( විශේෂයෙන්ම අධිකරණය සම්බන්ධව ) නීතියෙන් අවකාශය නැත!!!

අධිකරණයට අපහාසයක් ලෙස සලකන, එනිසාම නොකළ යුතු දේ.

01. අධිකරණයේ චර්යාව විවේචනය කිරීම.

අධිකරණය කෙරේ මහජන විශ්වාසය බිද වැටෙනා ලෙසින් / ඒ වෙත නැබුරු වෙමින්, ස්වාධීනව අධිකරණයට නඩු විසදීමේ හැකියාවට බලපෑමක් එල්ල වෙන / එල්ල කල හැකි වන ලෙසින් විනිසුරුවරුන්ට, නඩු කටයුතු වලට සහය දක්වන අධිකරණ නිලධාරින් ( නීතිඥවරුන්ද ඇතුළුව ) විවේචනයේ යෙදීම මෙයට ඇතුලත් වනු ඇත.

02. අධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතු ගැන ප්‍රසිද්ධියේ විවේචනය කිරීම.

නඩු තීන්දුවට බලපෑමක් එල්ල වන ලෙසින් / එල්ල විය හැකි ලෙසින් විවේචනයන් එල්ල කිරීම.

03. අවිචාරමත් අන්දමින් නඩු තීන්දු විවේචනය කිරීම.

අදහස් ප්‍රකාශ කිරීමේ මුලික අයිතිවාසිකම අයිතිය තුල ද්වේශයෙන් තොරව, අර්තසාධනිය / ශාස්ත්‍රීය මට්ටමේ විවේචනයේ බාධාවක් නැති මුත් තමා විනිශ්චයාරුඩ වෙමින් ද්වේශසහගතව, කිසිදු හරවත් / නෛතික පදනමක් නොමැතිව උසාවි තීන්දු විවේචනයේ යෙදෙන්නට අයිතියක් නැත. උසාවි තීන්දුවකට පළමුව අවනත විය යුතුය. (Comply and compel ) එයින් තෘප්තිමත් නැති නම් නීතියෙන් ඉඩ දී ඇති / පිළිගත් පරිද්දෙන් අභියාචනා / ප්‍රතිශෝධනය වෙත යොමු විය හැකිය.

04. අධිකරණයට තමා විසින්ම දුන් පොරොන්දුවක් කඩ කිරීම.
05. අධිකරණ තීන්දුවක් / අතුරු නියෝගයක් අනුව කටයුතු නොකිරීම.
06. අධිකරණ ශාලාව තුල අධිකරණ කටයුතු වලට බාධාවන ලෙසින් ක්‍රියාත්මක වීම ( වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් )
07. අධිකරණයේ අධිකරණ බලය පහත හෙලන ලෙසින් ක්‍රියාත්මක වීම ( වාචික , ලිඛිත, හෝ වෙනත් ක්‍රමයකින් )

උක්ත කාරනා පමණක්ම නොව අවස්තානුකුලව අධිකරණයේ ස්වාධිනත්වය / බලය ආරක්ෂා කරගැනීම සදහා අවශ්‍ය විය හැකි යැයි සලකනු ලැබිය හැකි කරුණුද තිබිය හැකි අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමක්ද නැද්ද යන්න තීරණය කරනු ඇත ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයේ ඉත්තෙක් විය යුතුද

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පක්ෂයක සාමාජිකයකු වූවද හෙතෙම මන්ත්‍රීවරයකු වශයෙන් තෝරාගත් පසුව හෙතෙම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටම නියෝජනය කරනා අයෙකු / නියෝජිතයකු බවට පත්වේ.
ඒ අනුව හෙතෙම තම පක්ෂයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමට වන මූලික බැඳීමක් තිබුණද එම ප්‍රතිපත්ති රටේ, ජාතියේ, ආගමේ, සංස්කෘතියේ තවත් සරලව කිවහොත් ජනතාවගේ හිතසුව සමග පක්ෂයේ ප්‍රතිපත්ති ගැටෙන්නේ නම් එතනදි පක්ෂයෙන් තෝරා ගත්තා වුවත් තව දුරටත් ඔහු ඒ පක්ෂයේම ඉත්තෙකු / ගැත්තෙකු / පක්ෂය නම් දැති රෝදයේ දැත්තක්ව සිටිය යුතුද යන්න සැබැවින්ම යුක්තිසහගත ප්‍රශ්නයකි.

එසේම

පක්ෂ ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අතර යම් කාරණයක් සම්බන්ධව ගැටුමකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට පැහැදිලිවම මුල් තැන ලැබිය යුතුය. එහිදීද මන්ත්‍රීධූරය අහිමි විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති පරිද්දෙනි.

ඒ අනුව මන්ත්‍රීවරයෙකු පක්ෂය මාරු කිරීම සිදු කළේ පෙර කී පරිදි යුක්ති යුක්ති සහගත තත්වයක් මත නම් එවැනි අවස්ථාවකට ආන්ඩුකම විවස්තාවේ 99(13) බාධාවක් නොවිය යුතුය. එනම් හුදෙක් පක්ෂ ව්‍යවස්ථාවට / ප්‍රතිපත්තියට එකඟ නොවීම මතම පක්ෂයෙන් නෙරපා හරිනු ලැබිය හැකි වුවද එනිසාම එවන් මන්ත්‍රීවරයකුගේ මන්ත්‍රී අසුන හිස් නොවිය යුතුය.

එවැනි මාරුවකට එරෙහිව පක්ෂය විසින් එම මන්ත්‍රීවරයා නෙරපීමට ගත් තීන්දුවට එරෙහි වූ නඩුවේදී යුක්ති සහගත හේතුවක් පෙන්වීමට අදාල පක්ශය සමත්වීම / එම මන්ත්‍රීවරයා විසින් එවැනි හේතුවක් පෙන්වා දීමට නොහැකිවීම මත පමණක් මන්ත්‍රී අසුන අහිමිවිය යුතුය!

මා එසේ දැක්වූ නිසාම මා පක්ෂ මාරු කරන්නන්ට පක්ෂව කරුණු දැක්වූවා යයි හෝ පනින රිලවුන්ට ඉනිමන් තැබීමක් කලා යැයි මෙය කියවූ ඔබ සිතන්නේ නම් ඔබ එහෙම පිටින්ම වැරදිය !!!

මන්ද මා සිදු කලේ ජනතා පරමාධිපත්‍යයේ එන ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනා ජනතා නියෝජිතයකුගේ එම බලය හුදෙක් පක්ශය හැර ගියා හෝ පක්ශයේ ප්‍රතිපත්ති අනුව සිටියේ නැතැයි කියූ පමණින් අහිමි කිරීම නොකල යුතු බව යන්න වෙනුවෙන් පෙනී සීටිම පමණකි!

සවස දුම්රියෙන් බැස යාමට පෙර විවෘත කල ජනේලය වසා යාමට කාරුණික වන්න

"සවස දුම්රියෙන් බැස යාමට පෙර විවෘත කල ජනේලය වසා යාමට කාරුණික වන්න"
ලෙසින් කාරුණික ඉල්ලීමක් කර තිබෙනු මා දුටිමි.

එහෙත් සැබවින්ම එසේ කිරීම අවශ්‍යද ?
එසේ නම් මන්ද ?
නො එසේ නම් ඒ මන්ද ?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඈ) අනුව පොදු දේපල සුරක්ෂිත කොට ආරක්ෂා කිරීමේ පුරවැසියන් සතු යුතුකම යටතේ වුව නෛතික බැදීමක් ( legal obligation ) දක්වා පුළුල් කිරිම කර නැති සහ එසේ කිරීම අවශ්‍යද නොවෙන ඉල්ලීමකි.

මන්ද යත් ,,,

දුම්රිය දෙපාර්තුමෙන්තුවක් තියෙන්නේ / එහි සේවකයින් සිටින්නේ සහ ඔවුන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවන්නේ ඔය කටයුතුද කිරීම පිණිසය. ඒ කටයුතු මුලිකව / පළමු කොටම ඇත්තේ ඔවුන්ගේ භාරයේය. ඒවා පිලිබදව නිරන්තර සොයා බලා අවශ්‍ය පියවර ගත යුත්තේ මුලිකව ඔවුන් ය.

ජනතාව වන අපට යුතුකමක් වශයෙන් ඇත්තේ ඒ රජයේ දේපල හානි නොකොට ප්‍රවේශමින් භාවිතා කිරීමේ යුතුකම පමණි. නඩත්තු කටයුතු සහ හානි වීමෙන් වලක්වා ගැනීමට පියවර ගැනීමේ යුතුකම ඇත්තේ අප අත නොවේ. ඒ අනුව මාස් පඩි ගෙවමින් ඒ වගකීමට බැද ඇත්තේ රජයේ සේවකයින් ය ...

01. අප ඔවුන්ගේ ක්‍රියාකාරකම් යටතට අයත් දේ / වගකීම් විහින් කරට බාරගෙන ඔවුන්ට නිකං පඩි ගන්නට ඉඩ හැරිය යුතු නැත.
02. එසේ කරන්නට පටන් ගත හොත් ඔවුන් සැමදා ඒ කාරිය අපටම බාර දී නිකම්ම සිටිනු ඇත.

අප ගෙවනා ගාස්තුවට හරියන්නට පහසුවට සහ කලට වෙලාවට සේවය තෘප්තිමත් ලෙසින් ලැබුනා නම් එනම් අපේ නෛතික අයිතිවාසිකම හරිහමන් ලෙස ඉටු වුවා නම් ඒ ගැන සිතා හෝ සදාචාරය පැත්තෙන් හෝ සිතා ඔය ඉල්ලීම අනුව කටයුතු කරන්නට හෝ අවම වශයෙන් එය සලකා බලන්නට හෝ තිබුණි ...
මේ කාරණය සම්බන්ධව ධනාත්මකව සිතන්නට බැරි කමක් මා හට නැත. ඒ පැත්තට අදහසක් දක්වන්නටද නොහැකියාවක් නැත. එහෙත් මා ඕනෑකමින්ම එසේ කරන්නේ නැත.

මන්ද යත් සරල කාරණයක් නිසාවෙනි.

යුතුකම් ගැන කතා කරන්නේ නම් / ක්‍රියාත්මක වන්නේ නම් අයිතිවාසිකම් වලින් ස්වායත්ව කතා නොකළ යුතු / ක්‍රියා නොකළ යුතු වන නිසාවෙනි. ඒ අනුව ඒ තාක් කල් ඔය ස්ථාවරය පවත්වා ගැනීම යුක්තිසගත යැයි මා නම් සත්භාවයෙන් විශ්වාස කරනා කාරණයකි.

මේ කාලයේ පාර්ලිමේන්තුව කැදවීම අත්යාවශ්යමද

ජනතාව සාමකාමිව සිටිද්දී පාර්ලිමේන්තුව රැස් වන හැම විටදීම වාගේ නොසන්සුන් ව තිබෙන්නේ නම් ජනමතයට පැහැදිලිවම පටහැනි සහ එය නියෝජනය නොවෙන තත්වයක් ලෙස සදහන් කල හැකි තත්වයකි.

එසේ නම් කල යුත්තේ කුමක්ද ...

කල යුත්ත එනම් පාර්ලිමෙන්තුව විසුරුවා හරිනු ලැබූ මුත් එය ගරු අධිකරණය ඉදිරියේ අභියෝග විය. ඒ එහි නීතිමය තත්වය හරියටම උසාවියෙන්ම පැහැදිලි කරගැනීමටය. එනිසා එතෙක් බලා සිටිය යුතුව ඇත.

කෙසේ නමුත් එම අවසන් තීන්දුව ගරු අධිකරණයෙන් එනතුරු පාර්ලිමේන්තුව නොවැම්බර් 14 වනදා කැදවීමට ජනාධිපතිවරයා දී තිබු බලය යටතේ කැදවුවා යැයි කීවද එම රැස්වීම් අවසන් වන්නේ පාසැල් සමිතියක රැස්වීමකටත් වඩා අසාර්ථක තත්වයෙන් වෙද්දී සහ සහ රැස් වෙන වාරයක් පාසා තත්වය ඔයාකාර නම් ඒ අවසන් උසාවි තීන්දුව එනතුරු හෝ ඔය පාර්ලිමේන්තුව නැවත නැවත රැස් වීමෙන් ඇති ඵලය කීම ???

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව සෑම වසරකට වරක් හෝ කැදවිය යුතුව ඇත.
ඒ අවශ්‍යතාවය මේ වෙද්දී තෘප්ත කර ඇතුවාට සැක නැත.

වි. සැ. යු: මෙයින් ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනා පාර්ලිමේන්තුව කැදවීමේ වරදක් ඇතැයි කිසිසේත්ම අදහස් නොකෙරේ ...

( මෙහිදී නැවත යුක්ති සහගත ප්‍රශ්නයක් මතුවේ ... )

එසේ වුවද ජනතාව වෙනුවෙන් ව්‍යවස්ථාදායක බලයක් ක්‍රියාත්මක කිරීමට තබා යෝජනාවක් සම්මත කරගන්නට නොහැකි මට්ටමට නොසන්සුන් වන කල්හි එවැන්නක් නිතර නිතර කැදවීමේ ඵලය කීම???
- ආණ්ඩුව එමගින් හෝ අප්‍රසාදයට පත් කල හැකිදැයි බලන්නටද ?
- තවදුරටත් පාර්ලිමන්ට් ජෝක්ස් බලන්නටද ?
- දේපල ජිවිත හානි කරගන්නටද ?
- ඒ හරහා හෝ ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්නටද ?

කෙසේ නමුත් ගිය 19 වැනිදා නම් පාර්ලිමේන්තුව රැස් වුයේ විනාඩි කීපයකි. කාරක සභාවක සංයුතිය ගැන ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් කල ඉල්ලීම විය. ඉන් පසුව නියෝජ්‍ය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව කල් තබන ලදී. එදා පෙරදී මෙන් ගැටුමක් නොවිය. හෙට දිනයේ (23) නැවත පාර්ලිමෙන්තුව නැවත කැදවනු ඇත.

මෙම පුවතෙන් හෙළි කරනා පරිද්දෙන් සැලකිය යුතු මුදලක් වැයකරමින් පාර්ලිමේන්තුවේ කැදවන්නේ නම් එය කල යුත්තේ හරවත් අවසන් ප්‍රථිපලයක් අපේක්ෂා කරගෙනමය. නො එසේ නම් හරවත් හේතුවක් නැතිව හානි වන්නේ ජනතා මුදල්ය.

පිල් මාරුවේ නීතිමය තත්වය

"පක්ෂය මාරු කල විටදී මන්ත්‍රීධුරය අහෝසි වන ලෙස තිබු නිතිය හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ කාලයේදී අහෝසි නොකලා නම් " ...
ලෙසින් අදහසක් දුටිමි.

පළමුව කිව යුත්තේ නිතියක් අහෝසි කරන්නට [ මෙහිදී Article 99(13) ] අගවිනිසුරුවරයෙකුට / ශ්‍රේෂ්ඨාධිකරණයට / උසාවියකට නම් නොහැකි බවය.

එය අහෝසි කරනවා නම් කල යුත්තේ පාර්ලිමෙන්තුවෙනි.

~ නීති ඇති කරන අයුරින්ම නීති නැති කරනු ලබයි ~

පාර්ලිමේන්තුව එසේ කර නැත ...

තවම නිතිය ඇත ...

සිදුව ඇත්තේ කුමක්ද ...

ජනතාවගේ ව්‍යව්ස්තාදායක බලය ක්‍රියාත්මක කරන්නට තෝරා එවන මන්ත්‍රීවරයෙකු යම් හේතුවක් මත පක්ෂය මාරු කලේ නම් එනයින්ම ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන්නට ඇති අයිතිය නැති කරමින් ඔහුගේ / ඇයගේ මන්ත්‍රීධුරය අහෝසි කල යුතුද යන ප්‍රශ්නය සලකමින් පක්ෂය මාරු කිරීම නිසාම මන්ත්‍රීධුරයක් අහිමි කිරීමට දේශපාලන පක්ෂයකට ඇති හැකියාව බෙහෙවින් සිමා කිරීමය ...

එය තනිකරම සිදු කලේ හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාම නම් නොවේ. ඊට පෙර එම උත්සාහය නඩු තීන්දුවල ඇතුලත්ව තිබුණි. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා එය වඩාත් තහවුරු කළා පමණි.
එහෙත් හිතුමනාපෙට පක්ෂ මාරු කරන්නට එරෙහිව 99 (13) යටතේ පක්ෂයෙන් නෙරපා හැරීමට ඇති අයිතිය තවම එහෙමම ඇත. ඒ සදහා ක්‍රියාත්මක විය යුත්තේ මන්ත්‍රීවරයා අයත් ව සිටි දේශපාලන පක්ෂය / ස්වාධින කණ්ඩායමය.

පක්ෂ කීපයක් සන්ධාන ගත වීම / ජාතික ආණ්ඩු සංකල්පය හරහා ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරනා කල්හි ඒ සන්ධානයේ පක්ෂයකින් ඒ සන්ධානයේම තවත් පක්ෂයකට යම් හේතුවක් මත මන්ත්‍රීවරයෙකු මාරුවූවද, පෙරදී මෙන් එසේ සන්ධාන ගත නොවී සිටිද්දී එක් පක්ෂයකින් තවත් පක්ෂයකට මන්ත්‍රීවරයෙකු මාරු වුවද ක්‍රියාත්මක වනවා දකින්නට නැති එනම් නිදාගෙන සිටිනවා බදු ඒ නිතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.

~ ඇතැම් විට නීතියක් නිදයි. එහෙත් එය කිසිවිට නොමැරෙයි ~

කෙසේ නමුත් පක්ෂ විනය සලකද්දී පක්ෂයේ ප්‍රතිපත්ති වලට අනුගත විය යුතුය යන සංකල්පය අනුව මන්ත්‍රීවරයෙකු පක්ෂය නම් දැති රෝදයේ දැති මෙන්ම කටයුතු කල යුතුය යන අදහසද 100 % ක්ම බැහැර නොකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ හෘද සාක්ෂියේ / නිදහස් අදහසක් ද දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යව්ස්තානුකුල අයිතිය ද මන්ත්‍රීවරයෙකුට ඇති බව මේ වෙද්දී නීතියෙන් පිළිගෙන ඇත.
එහි වරදක් නැත, එසේ විය යුතුද වේ.