Sunday, July 4, 2021

නොසැලකිල්ලට අදාළව සැලකිල්ලෙන් කියවිය යුතු Donoghue v Stevenson (1932) නඩුව...

 ◼️ නොසැලකිල්ලට අදාළව සැලකිල්ලෙන් කියවිය යුතු  Donoghue v Stevenson (1932) නඩුව...

🔷නොසැලකිලිමත් ලෙස ක්‍රියාත්මක වීමෙන් තවත් අයෙකුගේ නෛතික අයිතියක් කඩවීමේදී එයට නීතියෙන් ප්‍රතිකර්ම ලබා ගැනීමට හැකියාව ඇත.

එහිදී නොසැලකිල්ල ඔප්පු කිරීම සඳහා 

1. අවධානිය යුතුකමක් තිබුණු බව එනම් අන් අයගේ ආරක්ෂාව / යහපත පිළිබඳව සාමාන්‍ය සිහිබුද්ධිය ඇති තැනැත්තෙකු විසින් සැළකිලිමත් වීමේ නෛතික යුතුකම -  Duty of care 

2. එම නෛතික යුතුකම කඩ කිරීම - breach of that duty 

3. එමගින් සහන ඉල්ලන පාර්ශවයට හානියක් සිදුවී තිබුණු බව - causing damage

යන කාරණා තුනම පැමිණිලිකාර පාර්ශ්වය විසින් වැඩි බර සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු බව පිළිගැනීමයි.

🔷මෙහිදී වග උත්තරකරු විසින් පෙත්සම්කාර පාර්ශවයේ යම් අවස්ථාවකට අදාලව නීතියෙන් ආරක්ෂා කර තිබූ නීතිමය යුතුකමක් කඩ කලේ යැයි චෝදනා එල්ල කරනු ලබයි.

◾️නාශය නැති තැන නඩු කර නොමැත.

◾️ස්වේච්ඡා හානිය වරදක් නොවේ.

◾️හැම තැනැත්තෙකු විසින් ම දත යුතු දේ නොදැනීම සමාවට කරුණක් නොවේ.

◾️දේව ක්‍රියා වලට වෙනත් අය වගනොකියයි.

🔷අවස්ථානුකූලව නෛතික වගකීමක් මතු නොවෙන ඉහත බදු අවස්ථාද ඇති බැවින් චෝදනා එල්ල කළ යුත්තේ අවස්ථානුකූලව පිළිගත හැකි නෛතික පදනමක් මතය. එසේම චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි ද තිබිය යුතුවේ.

🔥එහිදී 1932 දී තීරණය කරනු ලැබූ ප්‍රසිද්ධ නඩුවක් වන Donoghue v Stevenson නඩුව වැදගත්ය. 

🔷එය දිලික්ත නීතියේ අවධානීය යුතුකම පැවරීම පිළිබදව සන්ධිස්ථානයක් සනිටුහන් කල නඩු තීන්දුවක් ලෙසින්ද සැලකෙන නඩුවකි ( Landmark Judgment - snail in the bottle case )

🔷සිද්ධිමය කරුණු කෙටියෙන් සැලකූ කල, ඩොනගියු මහත්මිය මිතුරියක්ද සමගින් ආපන ශාලාවකට ගොස් පානය කිරීමට ජින්ජර් බියර් මිලදී ගෙන තිබුණි. මුදල් ගෙවා බීම මිලදීගෙන තිබුනේ ඩොනගියු මහත්මියගේ මිතුරියයි. අඳුරු පැහැති වීදුරුවෙන්  සාදා තිබූ බීම බෝතලයේ වූ බීම ඩොනගියු මහත්මිය පානය කරමින් සිටි අතර වීදුරුවකටද වත් කළ පසු ඒ තුල ගොළුබෙල්ලෙකුගේ කොටස් තිබෙනු ඇය දැක ඇති අතර ඉන් කම්පනයට පත්ව පසුව ඇය අසනිපද වී තිබුණි. වන්දි ලබා ගැනීමට නඩු පැවරීමට ඇයට ගිවිසුම් නීතිය යටතේ නොහැකිවූයේ ඇය එම මිලදී ගැනීම සිදු නොකල නිසාය. එනම් ගිවිසුමට පාර්ශවකරුවෙකු නොවුණු නිසාය. ඒ අනුව ගිවිසුමෙන් බැහැරව තෝරත (Tort) / දිලික්ත නීතිය යටතේ Stevenson නම් නිෂ්පාදකයාට එරෙහිව නඩු පවරනු ලැබු අතර සාර්ථක විය.

🔷ඒ වන විට නොසැලකිල්ල සම්බන්ධව තිබුණු නීතිමය තත්ත්වය අනුව නිෂ්පාදකයාට ගිවිසුමකින් පරිබාහිරව වගකීමක් පැවරුණේ 

1. යම්කිසි ඌනතාවයක් නිසා නිෂ්පාදනයක් හානිකර තත්ත්වයට පත්ව ඇති බව දැන දැන එය පාරිභෝගිකයාගෙන් සැඟවූයේ නම්

2. යම්කිසි නිෂ්පාදනයක් එනයින්ම( per se ) හානිකර වන අවස්ථාවක ඒ පිළිබඳ පාරිභෝගිකයන්ට දැනුවත් කිරීමක් කිරීමට අපොහොසත් වී ඇති නම් ය.

ඒ අනුව එම කරුණු ඔප්පු කිරීමට අසමත් වූයේ නම් වන්දි ලබා ගැනීමට නොහැකි විය.

🔷Mullen v. AG Barr නම් නඩුවක දී සිසිල්බීම බෝතලයක් තුළ මීයෙකු මිය ගොස් සිටි සිදුවීමේදී එම නඩුව අසාර්ථක වී තිබිණ. 

එම නීතිමය තත්ත්වය පාරිභෝගිකයන්ගේ පැත්තෙන් වඩා යහපත් වන පැත්තට පුළුල්වීමක් මෙම නඩුවේ දී සිදුවිය.

🔷නමුත් මෙම නඩුවට පෙර ගිවිසුම්ගත වගකීම සහ ගිවිසුමකින් බැහැර වගකීම වෙන් කිරීමට යම් උත්සාහයන් තිබී ඇති නමුත් එය පැහැදිලිවම සිදුවූයේ මෙම නඩුවේ දී යැයි සැලකේ. 

🔷Donoghue v Stevenson හිදි ඇට්කින් විනිසුරුතුමා දැක්වූ පරිද්දෙන් ගිවිසුමක් නොමැති අවස්ථාවකදී අවධානිය යුතුකමක් තිබුණාදැයි සැලකීමේදී පරීක්ෂණ 2 ක් අදාල කරගනී.

1. පූර්වෙක්ෂණය කීරිමේ පරීක්ෂාව (Forseeability Test)

එනම් තම ක්‍රියාවක හෝ නොකර හැරීමක් නිසා අන් අයහට සිදුවිය හැකි අන්තරාදායකර තත්වයේ ප්‍රතිඵල පිළිබදව සාමාන්ය සිහිබුද්ධිය ඇති අයකු වශයෙන් දැන ගැනීමේ හැකියාවයි. මෙහිදී පුද්ගලයින් සාමාන්‍ය සිහි බුද්ධිය ඇති අය වශයෙන් ( Reasonable Prudent man ) සලකා අන් අයට හානි නොකොට සිටිය යුතු බවට වූ දැනුම ඇති අය සේ සලකයි.

2. සමීපබවේ පරීක්ෂාව (Proximity Test)

එනම් තම ක්‍රියාවක හෝ නොකර හැරීමක් නිසා අන් අයහට සිදුවිය හැකි අන්තරාදායකර තත්වයේ ප්‍රතිඵල වැලක්වීම පිළිබදව සාමාන්ය සිහිබුද්ධිය ඇති අයකු වශයෙන් කටයුතු කල යුත්තේ සාධාරණ ලෙසින් අපේක්ෂා කල හැකි සමීප දුරකින් සිටින අය වෙනුවෙන් පමණක් බවයි.

මෙම තත්වයට යම් වෙනස් කමක් එක් වූයේ 1977 න් පසුවය. 

🔷එහිදී Anns V London Borough Merton ( 1977 ) හිදී විල්බෆෝස් විනිසුරුතුමා තවත් නඩු තුනකද කරුනු දක්වා ඉදිරිපත් කල තත්වයට අනුව කලින් කී පූර්වෙක්ෂණය කීරිමේ පරීක්ෂාවෙන් හා සමීපබවේ පරීක්ෂාවෙන් සමත් වූ පමණින්ම අවධානිය යුතුකමක් පවතින්නේ නැති බවත් එවැන්නක් ඇති බව බැලු බැල්මට ( primafacie ) තිබෙන තත්වයක් පමණක් ඇති බවත් ඒ වන විට පිළිගන්නාවූ යම් ප්‍රතිපත්ති හා වගකීමට බැදෙන තත්වය අඩු කරනා යම් තත්වයන් වේ නම් ( බැහැර කිරීමේ වගන්ති වැනි ) එවැනි දෑට යටත්ව අවධානිය යුතුකම පැන නගින බව දක්වන ලදී.

🔷මේ තත්වය 1984 න් පසුව තවත් ඉදිරියට ගොස් ඇත. Donoghue v Stevenson හිදි ඇට්කින් විනිසුරුතුමා දැක්වූ පරීක්ෂණ දෙකට අමතරව Caparo Industries PLC V Dickman 1990 හිදී බ්‍රිජ් විනිසුරුතුමා දැක්වූ කරුනු අනුව ඉහත පරික්ෂණ දෙකට අමතරව අවස්ථාව අනුව එවන් අවධානීය යුතුකමක් විත්තිකරුවෙත පැවරීම කොතරම් සාධාරණද ( Reasonability ) යන්නද සැලකිය යුතු බව දක්වන ලදී.

ඒ අනුව වර්තමානය වන විටදී

* පූර්වේක්ෂණය කිරිමේ පරීක්ෂාව (foreseeability)

* සමීපබවේ පරීක්ෂාව (proximity)

* වගකීම පැවරීම කොතරම් සාධාරණද ( fairness

)

යන්න පිළිබද පරීක්ෂාවට යටත්ව අවධානීය යුතුකම පැවරීම සිදුවේ.

මෙම නඩුව තුළින් අවධානයට ලක්කර ඇති කාරණා අනුව

✳️ ගිවිසුමකින් බැහැරව නොසැලකිල්ල යන්න මතම නඩු පැවරිය හැකි බව. එය වැදගත් එක් සන්ධිස්ථානයකි (Negligence in tort law issue settled)

✳️ පාරිභෝගිකයෙකු වෙත ළඟා වන නිෂ්පාදකයකු ගේ භාණ්ඩ භාවිතා කිරීමේදී පාරිභෝගිකයාට හානියක් සිදු නොවී තිබිමට වගබලා ගැනීමේ නෛතික යුතුකමක් නිශ්පාදකයා සතු බව ( Duty of Care )

✳️ අසල්වැසියා සම්බන්ධ මූලධර්මය (Neighbour principle)

අසල්වැසියාට ප්‍රේම කිරීම හෝ නොකිරීම පිළිබඳව තෝරාගැනීමක් යම් අයෙකුට තිබිය හැකි වුවත් තමන්ගේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් අසල්වැසියාට හානියක් සිට නොවීමට වග බලා ගැනීමට නම් ඇත්තේ නෛතික යුතුකමක් නිසා එය අනිවාර්යයෙන්ම කළ යුත්තකි. 

Neighbour Principle - The rule that you are to love your neighbour becomes in law, you must not injure your neighbour

🔷මෙහිදී අසල්වැසියා යනු යම් තැනැත්තෙකුගේ නිවසට යාබදව පදිංචිව සිටින අය පමණක්ම නොවේ. යම්කිසි තැනැත්තකු සිටින්නේ කවර ස්ථානයකද ඔහු හෝ ඇය අසල සිටින තමන්ගේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් හානියකට පත් විය හැකි සෑම දෙනාම නීතියට අනුව අසල්වැසියන් වේ. 

🔷මේ අනුව නොසැලකිලිමත් ක්‍රියාවකින් හානි සිදුව එයට නීතියෙන් ප්‍රතිකර්ම ලබා දුන් එක් අවස්ථාවක් පමණක්ම නොව තවත් කාරණා අතින් Donoghue v Stevenson නඩුව නීති ක්ෂේත්‍රයේ වැදගත් නඩුවක්ද වේ. 

✍️ නීතිඥ දිලිප් ප්‍රසාද්

No comments:

Post a Comment