Tuesday, December 18, 2018

අගමැතිධුරය හිස් වීම

19 වන සංශෝධනයට පසුව අගමැතිවරයා ධූරය දැරීම අවසන් වන්නේ,

1. මියයෑම.
2. ජනාධිපතිවරයා වෙත ලියනා ලිපියකින් ධුරයෙන් ඉල්ලා අස්වීම.
3. අමාත්‍ය මණ්ඩලය ධූර දැරීම නතර වීම.
4. පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අවසන් වීම.
5. අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීම.
6. තව දුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නොවීම.
7. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම.
8. විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප කිරීම.


ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝණය කලේද ?

පාර්ලිමේන්තුව විසුරුවා සම්බන්ධ නඩු තීන්දු වේ වසර හතර හමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව තිබෙන බව සැබෑය.

එහෙත් ඊයේ ගරු ජනාධිපතිතුමා පැවසූ පරිද්දෙන් ( එසේ විශේෂයෙන් නොපැවසුවත් ) එතුමා පාර්ලිමේන්තුව විසුරුවාලීමට අදාළ තීරණය ගත්තේ බෞද්ධයාට ශ්‍රී දළදා මාළිගාව වාගේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රවාදයේ සංකේතය ලෙස ඇතැමුන් හඳුන්වා ගන්නා පාර්ලිමේන්තුවේ පැවති අර්බුදකාරී තත්වයත්, එය සමනය කර ගැනීම සඳහා හොඳම විදිය ජනතාව ඉදිරියට ඒ ගැටලුව ඉදිරිපත් කිරීමත් යන්න අනුවය.

එහෙත් 19 වන සංශෝධනය අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට ක්‍රියාත්මක විය හැකි ආකාරය පිළිබඳ වූ ප්‍රබල නීතිමය මත ගැටුමට විසඳුමක් ඒ වන වනවිට ලැබී නොතිබුණි. එනම් එම සංශෝධනයේ ඇති අපැහැදිලිතාවය මත වසර හතර හමාරකට පළමුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තමාට නෛතික හැකියාවක් ඇතැයි ජනාධිපතිවරයාට සත්භාවයෙන් මතයක් ගත හැකිය. ( පක්ෂ භේදයෙන් තොරව මා ගත්තේද ඒ මතයය ) එතුමා ගත්තේ ඒ මත යය. ක්‍රියාත්මක වූයේ ඒ අනුවය. ඒ අනුව එවන් අවිනිශ්චිත අවස්ථාවකදී තමාට නීතියෙන් කිසියම් වූ බලයක් ඇතැයි සද්භාවයෙන් විශ්වාස කොට යම් කිසි තැනැත්තෙකු ක්‍රියාත්මක වන යම් ආකාරයක් යුක්තිසහගතය. එහිදී කිසියම් වූ වරදක් වූයේ නම් එයට "සිද්ධිය වැරදීම" ( Mistake of Facts ) නම් විත්තිවාචකයක් ඇත. ඒ අර්ථයෙන් ගත් කල ගරු ජනාධිපතිතුමා විසින් චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් හෝ ස්වකීය ධූරයේ බලතල අයුතු අන්දමින් පාවිච්චි කිරීමක් ඒ සම්බන්ධ විෂමාචාරයක් හෝ දූෂණයක් සිදුකර නොමැත !!!

මේ තත්වය ඉතා පැහැදිලි තත්වයකි. පක්ෂ දේශපාලනයෙන් තොරව වුවද පිළිගත හැකි වන මට්ටමට ම පැහැදිලි තත්වයකි.

ඒ අනුව එවැන්නක් හෝ පිළිගන්නේ නැත්නම් ජනාධිපතිවරයාගේ මනසේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීමට පළමුව එවන් තැනැත්තෙකුගේ මනසේ ක්‍රියාකාරීත්වය දිසා අධිකරණයක් මගින් පරීක්ෂාවට ලක් කිරීම සුදුසුය!!!

දරුවන් යහපත් පුරවැසියන් කරගන්නට ...

කුඩා ළමුන් තමුන්ට පෙනෙන ඇහෙන දේවල් හොඳින් ධාරණය කර තබා ගන්නා බවත් ඒවා එවන් අවස්ථාවක් උදා වූ කළ අනුගමනය කරන්නට ද / යම් ආකාරයකින් ප්‍රකාශ කරන්නට පෙළඹෙනවා යන්නට තවත් කදිම උදාහරණයකි ...

එසේ නම් ඔවුන් යහපත් පුරවැසියන් කරගැනීමට අවශ්‍ය නම් විශේෂයෙන්ම කුඩාකල ඔවුන්ට අහන්නට දකින්නට ලැබෙන දේවල් යහපත් දේවල් ම කළ යුතු වේ ...

මෙහිදී වගකීම පැවරිය යුත්තේ කාට ද ...
මෙහි දෙපැත්තක් ඇත ...

හුදෙක් වගකීම සියට සියයක් මාධ්‍යයට පැවරිය නොහැකිය ... ( එසේ වගකීමක් පැවරීම අවශ්‍ය ද නැත ) පොඩි ළමයින්ට පෙන්වීමට ඉඩ හැරිය යුත්තේ මොනවා ද වැලැක්විය යුත්තේ මොනවාද යන්න තීරණය කරගෙන එසේ කටයුතු කිරීම වැඩිහිටියන්ගේ හෙවත් මහ උන්ගෙන් විය යුත්තකි ...

එසේ නොවුන හොත් උදා වනු ඇත්තේ කවර අන්දමේ ප්‍රතිඵලයක් ද යන්න අමුතුවෙන් ලිවිය යුතුද නොවේ.


Wednesday, December 5, 2018

ගරු අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇත්තේ අතුරු තහනම් නියෝගයකි

ගරු අභියාචනාධිකරණය විසින් නිකුත් කර ඇත්තේ අතුරු තහනම් නියෝගයකි. ඒ අනුව පෙත්සම්කරුවන් විසින් කියනා කාරණා සහ ඊට ඇති විරෝධතාද සලකමින් පෙත්සම් විභාග කොට අවසන් වනතුරු ධූරයන් දැරීම තාවකලිකව අත්හිටු විමක් පමණක් සිදුව ඇත. ඒ මිස අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය ධූරය දැරීම නීති විරෝධී යැයි උසාවිය තීන්දු කර නම් නැත.

මේ කාරණයද ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි ගැසට් පත්‍රය දැන් ඇති තැනමය. එනම් අත් හිටුවිමට ලක්වය.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට අගමැතිවරයාව / ඇමතිවරුන්ව පෙරදී මෙන් ලිපියකින් ඉවත් කිරීමද කල නොහැකි ය.

අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ ඉල්ලා අස්වීමක් මගින් හෝ අන් ආකරයකින් ධූර හිස් කිරීමක් සිදු කර නැති නිසා සහ ධූර දැරීම අධිකරණයේ අභියෝග කිරිමක් පමණක් සිදුව ඇති නිසා මේ කාලය තුල එම ධූරයන් හිස් වීමක් ද සිදුව නැත.

ධූර පුරප්පාඩු නොවී ඒවා පිරවිය නොහැකි ය.

අනෙක් අතට අතුරු තහනම් නියෝගට අදාල විෂය වස්තුව එනම් අගමැති ඇතුලු කැබිනට් මණ්ඩලය අතුරු තහනම් නියෝගය දෙන අවස්ථාවේ පැවැති තත්වයේ වෙනසක් නොකල යුතු බවද පිලිගත් අදහසයි.
ඒ අනුව කරුණු කාරණා එසේ වෙද්දී නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට හැකියාව ඇතිද යන ව්‍යවස්ථානුකූල ප්‍රශ්නය එයට දිය හැකි යුක්තිසහගත පිළිතුරද සමගින් මතුව ඇත!

ජනතා ඡන්දයෙන් පත් වූ විධායකයේ ප්‍රධානියා වන ජනාධිපතිවරයාගේ පැවැත්ම ස්ථාවර වන බැවින් විධායකයේ අඛණ්ඩ පැවැත්මට අගමැතිවරයා හා අමාත්‍ය මණ්ඩලය තාවකාලිකව ක්‍රියාකාරී නොවෙන තැනට පත්විමෙන් කිසිදු බාධාවක් වී නොමැත.

සරලව කියන්නේ නම් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ පැවැත්ම උසාවියේ අභියෝග වුව ද එය භාවිතාකොට යම් පිරිසක් විසින් රාජ්‍ය බලය නීතියට මුවා වෙමින් උදුරා ගැනීමකට හෝ රාජ්‍ය පාලනය අකර්මන්‍ය වීමකට සංවරණ තුලනය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල ඉඩක් තබා නැත.
එයද ජනතා පරමාධිපත්‍යය ඉස්මතු වන අවස්ථාවක් ලෙසින් සදහන් කිරීමේ වරදක් නැත!

අධිකරණ තීන්දුවක් ලැබුණු කල ...

තමා ඉදිරියට පැමිණෙන නඩුවක් ඉදිරියට විභාග කරගෙන යාමට තීරණය කළ විටදී ඉල්ලුම්කරුවන් මූලික සහනයක් ලෙස යම් ක්‍රියාවක් අත්හිටුවන ලෙස ඉල්ලා ඇති විටෙක දී එය ලබාදීමට හැකියාවක් ඇතැයි අධිකරණය විශ්වාස කරන්නේ නම් එය ලබාදීම ගරු අධිකරණයෙන් සිදුවෙයි ...
ගරු අභියාචනාධිකරණය සිදුකර ඇත්තේ එවැන්නකි.

එය ඔබ විසින් ඔබගේ නඩුවකදී එම අධිකරණයෙන් මුූලික සහනයක් ලෙස ඉල්ලා සිටියා නම් ඔබගේ ඉල්ලීම විභාග කිරීමට තීරණය කළ හොත් ලබා දිය හැකි හෝ යුතු එකක් නම් ඔබ වෙනුවෙන් ද එය ලබාදෙනු ඇත.

ඒ අනුව අධිකරණයක අධිකරණ බලය පිළිබඳ හෝ ඉල්ලා ඇති කිසියම් වූ සහනයක් මූලික අවස්ථාවේ ලබාදීම පිළිබඳව විවේචනවල ඵලයක් නැත. මන්ද එය උසාවියේ කාර්ය පටිපාටියට අයත් දෙයක් වන බැවිනි.
ලබාදුන් කිසියම් නියෝගයකට අකමැති නම් කළ නීතියට අනුව අවස්ථාව තිබේ නම් ඉහළ අධිකරණය වෙත අභියාචනය හෝ ප්‍රතිශෝධනය කිරීම ය!

ක්වෝ වොරොන්ටෝ රිට් ආඥවක් ඉල්ලා සිටීම මගින්ද නිගමනය වන්නේ

සම්මත වූවා යැයි කියනා විශ්වාසභංගය සැලකීමේදී එමගින් එක් කාරණාවක් ඉතාම පැහැදිලි වේ.
එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් විසින් 2018.10.26 දින කරනු ලැබුවාවූ මහින්ද රාජපක්ෂ නව අගමැතිතුමන් පත්කිරීම හා එතැන් පටන් ධූර දැරීම නීත්‍යානුකූල බව එය එසේ නැතැයි කියනා අයම විසින් පිලිගැනීමය. මන්ද එසේ පිලිනොගෙන අගමැතිවරයාට එරෙහිව යෝජනාවක් ගෙන ආ නොහැකි නිසාවෙනි. ඒ අනුව අභියෝග වන්නේ බහුතරය නැතැයි කියනා කාරණය පමණි.

එහෙත් බහුතරය නැති වු පමණින් ආණ්ඩුවකට බලයේ සිටීමට හැකියාක් මතු නොවේ යැයි නීති පොතේ දක්වා ද නැත. එනම් එසේ තිබියදී බලයේ සිටීම නීති විරෝධීබවක් අදහස් නොවේ.

ගරු අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරොන්ටෝ රිට් ආඥවක් ඉල්ලා සිටීම මගින්ද නිගමනය වන්නේ ජනාධිපතිවරයා විසින් 2018.10.26 දින කරනු ලැබුවාවූ නව අගමැතිවරයා පත්කිරීම හා ධූර දැරීම නීත්‍යානුකූල බව පිලිගැනීම ය. මන්ද විශ්වාශභංගයක් සම්මත වන්නට නම් පලමුව අගමැතිවරයකු ධූරය දරමින් සිටිය යුතුබව පිලිගත යුතු වන නිසාවෙනි.

ඒ අනුව පක්ෂ නායකයින් / නියෝජිතයින් මැතිවරණය ඉලක්ක ගතකර මීට වෙනස් කාරණාවක් /කාරණාවන් ප්‍රකාශ කල හැකි වුවත් නීතියට අනුව තත්වය ඕකය. එනම් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා පත්ව ඇත්තේ සහ මේ තාක් ධූර දරා ඇත්තේ පැහැදිලිවම නීතියට අනුවය!!!

විශ්වාසභංයෙන් පසුව අගමැතිවරයා ධූර දැරීම අභියෝගයට ලක් කිරීමෙන් අපට ලබා ගත හැකි පැහැදිලි කාරණය නම් පාර්ලිමේන්තුවේ සම්මත කලා යැයි කියනා ( විශේෂයෙන් හඩ අනුව ) විශ්වාසභංයේ නීතියානුකූලභාවය ඔවුන් විසින්ම උසාවිය මගින් පරීක්ෂාවට ලක් කිරීම පිණිස යොමු කර ඇති බවය !!!

ජනතාවට වග කීමේ වැදගත්කම සමග ජනතා අයිතීන් පුළුල් කිරීම

ජනතා ඡන්දයෙන් පත්වන ඒ නිසා ජනතාවට වග කියන සහ රටේ ආරක්ෂාව භාර කොට ඇති ජනාධිපතිවරයාගේ භූමිකාව අන් කවරදාටත් වඩා මේ වෙද්දි පැහැදිලිව ඉස්මතු වී ඇත. එය නීතිය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති නීති ශිෂ්‍යයකුට නම් ඒ ක්ෂේත්‍රය හදාරා නැති අයකුට සාපේක්ෂ ව වඩා පහසුවෙන් අවබෝධ කරගත හැකි මට්ටමේ එකකි.

එනම් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය අධිකරණ නියෝගය අනුව තාවකාලිකව ධූර දැරීමෙන් බැහැරව ඇති කළ ජනාධිපතිවරයා අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය සේවය හරහා විධායකයේ කාර්යයන් එනම් නීති ක්‍රියාත්මක කරවීම ( පාර්ලිමේන්තුවෙන් හෝ වෙනත් ආකාරයක අනවශ්‍ය මට්ටමේ බලපෑමකින් තොරව ) තුළින් රජයේ දෛනික ක්‍රියාකාරකම් අඛණ්ඩව පවත්වාගෙන පවත්වා ගෙන යාමට සමත්ව ඇත.
කවුරුන් කෙසේ මොනවා කීවත් ඒ ස්ථාවරත්වය වැදගත්ය. එය ඇති වූයේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ආයතන කෙරෙහි සංවරණ තුලන මනා ව පවත්වන ලෙස සකසා ඇති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හේතුවෙනි.

ඒ අනුව ජනතා පරමාධිපත්‍යයට අයත් විධායක බලය හෙවත් නීති ක්‍රියාත්මක කරවීමේ බලය ඒ ආකාරයෙන් තිබීමේ වැදගත්කම ඉස්මතු වේ.

එකී බලය / හැකියාව කෙරෙහි සංවරණ තුලන පවත්වාගැනීම මිසක එකී බලය / හැකියාව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නම් ලේබලය ගසා ගෙන පාර්ලිමේන්තුවට යට කළ යුතු නැත !!!

ජනතා විමුක්ති පෙරමුණ හෝ එක්සත් ජාතික පක්ෂය හෝ ඔවුන් හා එක්ව ක්‍රියා කරන බව පෙනෙනා වෙනත් පක්ෂයක් ඔය තරම්ම ජනතාව ගැන හිතනවා කියන්නේ නම් / ජනතා පරමාධිපත්‍යය ගැන කතා කරන්නේ නම් එහිදී කල යුත්තේ විධායකයේ බලය අනවශ්‍ය ලෙස පාර්ලිමේන්තුවට යට කරන්නා වූ යෝජනා ගෙන ඒම නොව, පරමාධිපත්‍යයේ වැදගත්ම අංගයක් ලෙස සලකන ඡන්ද බලයට හැකි ඉක්මණින් ම වටිනාකමක් ලබාදීමට ගත හැකි සියලු පියවර පලමුව ගැනීමත්, පසුව හෝ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ලා අවසාන වශයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව දරන අධිකරණයට විශේෂයෙන් දැනට වඩා පාර්ලිමේන්තුවේ කටයුතු කෙරේ අධිකරණ විමර්ශනය පැවැත් වීමට හැකි වන ලෙස යෝජනා ගෙන ඒමය !!!
එහෙත් කණගාටුවට කරුණ නම් එවැනි සාධනීය යෝජනාවක් / ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් දකින්නට නොලැබීම ය !!!

ඒ අනුව ඔවුන් කියනා ප්‍රජාතන්ත්‍රවාදය, ජනතා අයිතීන් යන්න ලේබලයට පමණක්ම සීමා වී ඇති දැයි සිතේ ...