Wednesday, April 11, 2018

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිනවා ස්වාමිනි!



අධිකරණයේ පෙනී සිටිනා / නොසිටින විත්තිය/විත්තිකරු/විත්තිකාරිය වෙනුවෙන් මා පෙනී සිටිනවා ස්වාමිනි!

එසේ කියා හෝ මුමුණා ගාස්තුවක් ගෙන හෝ ඇතැම් අවස්තාවක නොගෙන වුව පෙනී සිට තම සේවාදායකයා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන්නට යන විටදී ඒ නඩුව සැලකිය යුතු මහජන අවධානයක් දිනා සිටි නඩුවක් වූවා නැතා සහ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද සැලකිය යුතු නමක් දරනා ප්‍රසිද්ධියට පත් අයකු වුවා නැතා ඇතැමුන් කියනා කතාවක් නම් නීතිඥවරුන් අපරාධකරුවන් වෙනුවෙන් ( සල්ලි වලට ) පෙනී සිටිනවා යන්නයි ...

යම් හෙයකින් පෙර කි විත්තිකරු වූ අය නිදහස් / නිදොස් කොට නිදහස් වුවහොත් එවිට කියන්නේ සල්ලි වලට අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් මුදා ගන්නවා ලෙසිනි ...

ඒ එක්කෝ එලෙස කියන්නවුන්ගේ නිතිය නොදන්නා කමේ තරම හෝ දැනගෙන එයින් සිය වාසියට පුවතක් මැවීමේ අවශ්‍යතාවය ය ...

එහෙත් එවන්නවුන් යම් දිනෙක විත්තිකරුවෙකු වූ කල්හි දත කට පුට්ටු වී කට උත්තර නැතිව වෙව්ල වෙව්ලා "අනේ සර් / අනේ මැඩම් මගේ නඩුවක් තියෙනව" කියමින් නීතිඥවරයකු සොයා දිව යනු නියතය ...

තමා ඉදිරියේ "වරදක්" කලද එය නීතියේ නිසි කාර්ය පටිපාටිය අනුව ඔප්පු කරන තුරු ඒ අය නීතියට අනුව නිර්දෝෂී තැනැත්තෙකි ... එය නිතිය දන්නෝ නම් දනිති ... ලිව්වේ නොදන්නා අයකු වේ නම් දැනගැනීම පිණිසය.

එම තැනැත්තාට අවැසි නම් නීතිඥවරයෙකු ගේ සහය ගැනීමට අවස්තාව ද ඇත. නීතිඥවරයෙකු කරලියට එන්නේ එලෙසිනි. එලෙස එන්නේ අධිකරණයට ආරවුල විසදීමට සහය දීමට අධිකරණ නිලධාරියෙකු වශයෙන් සහ සිය සේවාදායකයාගේ උපරිම යහපත වෙනුවෙන් පෙනී සිටීමේ බැදීමක් සහිත නියෝජිතයෙක් ලෙසින් මිස ඇතැමුන් සිතනවාක් මෙන් අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටීමක් වශයෙන් නොවේ ... මන්ද තවම හෙතෙම අපරාධකරුවකුද නැද්ද යන්න තීන්දු කර නැති නිසාවෙනි ... ඔය කියනා සල්ලි හෙවත් ගාස්තුව මනස වෙහෙසවිමට තුලින් සිදුවන්නේ සේවාදායකයා කෙරේ වන බැදීමේ නෛතික පදනම තවත් ශක්තිමත් වීම පමණි.

මෙහිදී දැක්විය යුතු තවත් කාරණයක් නම් නීතිඥවරයෙකු තබා නීති අධ්‍යාපනයට පවා යොමු නොවී සිටිනාවූ සමහරක් ඇත්තන් නීතිඥවරුන්ගේ වැටුප් ගැන අතන මෙතන කතා කිරීම හා ප්‍රශ්න කිරීමය ... එය හාස්‍ය ජනකය ... එමෙන්ම එයට ඔවුන්ට නෛතික පදනමක් නම් ඇත්තෙම නැත ...

තමාගේ වෘත්තීය දිවියේ ජෙෂ්ඨත්වය, නඩු කටයුත්තට තමාගේ කැපකිරීම, ජේෂ්ඨ නීතිඥවරයෙකු නම් සිය කනිෂ්ඨ නීතිඥවරුන්ගේ නඩත්තුව, කාර්ය මණ්ඩලයේ, කාර්යාල නඩත්තුව ආදී වවිධ හේතු මත ගාස්තුව තීරණය වනවා ඇත ...

අය කරනා ගාස්තුවට සරිලන සේවය සපයා දෙන්නේ නම් එච්චරය ... එසේ නොවේ නම් හෝ ගන්නාවූ ගාස්තුවට අදාලව / ගාස්තු නොගෙන හෝ සේවය නිසි පරිදි ඉටු නොකළේ නම් කල යුත්තේ අතන මෙතන විවේචනය කිරීම නොව නෛතික පියවර කරා යොමු වීමය ...

අනෙක් අතින් සේවය හොද වුවත් ගාස්තු අධික නම් ( එය බැලිය යුත්තේ සාමාන්‍ය ජනතාවගේ ගෙවීමේ හැකියාවත් සමග ක්ෂේත්‍රයේ ඒ අවස්ථාවේ නිරත අයගේ ඇසිනි ... ) කල යුත්තේ එතරම් ගාස්තු අය නොකරන එහෙත් සේවය එපරිද්දෙන්ම ලබා දිය හැකි ස්ථානයක් කරා යොමු වීම මිසක අර්ථ සාධනීය නොවෙන මට්ටමින් අතන මෙතන විවේචනය කිරිම නොවේ ...

අනෙක් කාරණය නම් සහෝදර වෘත්තිකයන්ගේ ගාස්තු ගැන විවේචනයක් නීතිඥවරුන්ද නොකරණ තරමට හොද බවය ... එකම වෘත්තීය කටයුත්තට විවිධ ගාස්තු යම් සාධාරණ හේතු මත අය කරන්නේ නම් එය වෘත්තිකයන්ටම ගැටළුවක් කරගන්නට සාධාරණ පදනමක් නැති කාරණයකි.

නෛතික රාමුවේ සිටිමින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරනා චෝදනාවට / චෝදනා වල නිරවද්‍යතාවය පරික්ෂා කිරීමට සහ වරදක් වේ නම් එය නිවැරදි කොට ගරු අධිකරණයේ අවධානයට යොමු කරන්නට කාලය දින ගණන් සති ගණන් බාගේදා මාස අවුරුදු ගණන් ඇත කරනා විත්තියේ නීතිඥවරයෙකු/වරුන් දරනා මහන්සිය හරියටම අත්දැකීමෙන් දැනගනු ඇත්තේ නම් අවම වශයෙන් එතනට ලගාවූ / එවැනි නීතිඥවරයෙක්ම මිසක සල්ලි වලට අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිට ඔවුන් මුදා ගන්නවා කියනාවූ සහ එයින් තවත් ඉදිරියට ගොස් දැනට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ලබා සිටිනා පුද්ගලයෙකුගේ ප්‍රකාශ බදු ප්‍රකාශ කරනා තැනැත්තන් නොවේ ...

එළියේ කොතරම් සුර වීර ප්‍රකාශ කලද එවැන්නවුන් අධිකරණ ශාලාවේ සිටින්නේ වෙව්ලමිනි ... එය ඔවුන් දන්නේ නැත ... එය පෙන්නේ ඔවුන් දෙස බලා සිටිනා වූ අපට ය ...

මාළුවා නහින්නේ කට නිසා යැයි කියනා ලෙසින්ම අධිකරණයට අපහාස කර ඇත්නම් දඩුවම් ලබනු ඇත්තේද පාලනයක් නැති කට නිසාම ය ...

තමා ට අවශ්‍යතාවය මතු වන තුරු වෘත්තියක වැදගත්කම මතුවන්නේ නැත ...

උදාහරණයක් ගත් කල්හි වෛද්‍යවරයකුගේ සේවය අවැසි කල හෙතෙම දෙවියෙකි ... ඒ වනතාක් කල් විවිධ පැතිකඩ ඔස්සේ අර්තසාධනිය නොවෙන මට්ටමට යමින් වුව විවේචනයට ලක්විය හැකිය ...

නීතිඥවරයාද එසේම ය ... ඒ ඇතැමුන්ගේ හැටිය ...

ඒ අනුව කල යුත්තේ එවැන්නෙකුට වුව සේවය අවැසිව අඩාගෙන දත කට පුට්ටු වී පැමිණි කල නිසි උද්යෝගය තිබේ නම් සේවය සැපයීමය. ඔවුන්ගේ දැක්ම ඒ සේවය ලබාදෙන / සේවයට වූ බැදීම අවසන්ව "යන්නම් සෑර් / මැඩම්" කියනා තුරාවට හෝ වෙනස් ව ධනාත්මකව පවතිනු නියතය ...

No comments:

Post a Comment